Pages

Monday, 27 October 2014

විශ්වවිද්‍යාලයට බහිරව සංස්කෘතියක් ගෙනෙන එස්.බී. නම් බහිරවයා.....


අතීතයේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයෙකු වූ සෙම බණ්ඩා (එස්.බී.) ගේ රිලා නැටුම් වලින් විනාශ වන ශිෂ්‍ය පරම්පරාව වෙනුවෙනි.





  • බරගමුව විශ්වවිද්‍යාලය ආරම්භයේ සිටම කි‍්‍රයාත්මක වූයේ අවම පහසුකම් මධ්‍යයේය. ශිෂ්‍යයන් දිගින් දිගටම එම අඩුපාඩු පෙන්වමින් විශ්වවිද්‍යාලයීය පරිපාලනයට බලපෑම් කළ අතර එම ශිෂ්‍යයන් මර්දනය කිරීම සඳහා දෙවතාවක්ම ශිෂ්‍ය සංගම් අහෝසි කර තර්ජනය කිරීම්, අත්අඩංගුවට ගැනීම් සිසුන්ගේ නිවෙස්වලට ආරක්ෂක අංශවලින් තර්ජනය කිරීම් මෙන්ම සිසුන් බියගැන්වීම සඳහා වෙඩි තැබීම් ද සිදුවී ඇත. මේ වනවිට සබරගමුවේ ශිෂ්‍ය සංගම් අහෝසි කර දින 520 කි. ශිෂ්‍ය සංගම් යළි පිහිටුවන ලෙස මානව හිමිකම් කොමිසම නිර්දේශයක් ලබා දී දින 200කි. මානව හිමිකම් තීන්දුව සබරගමුවේ උපකුලපතිවරයා විසින් ඉරා දමා ප‍්‍රතික්ෂේප කර ඇති අතර ශිෂ්‍යයන්ගේ කලා කටයුතු පවා වාරණයට ලක් වී තිබේ. සන්දිර් කුමාර් සුදර්ශන් නමැති දෙමළ ශිෂ්‍යයාව ත‍්‍රස්ත විමර්ශන ඒකකයෙන් පැහැරගෙන ගොස් මාස ගණනක් තිස්සේ තවමත් නිදහස් කර නොමැත. මීට අමතරව මොනරාගල නගරයේ සිසුන් විසින් කරන ලද ජනතාව දැනුවත් කිරීමකට නිදහස් පක්ෂ ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයෙක් කඩාපැන සිසුන්ට තර්ජනය කොට පහර දීමක් ද සිදුව ඇත. මෙසේ සබරගමුවේ ආයතනගතව කි‍්‍රයාත්මක වූ ශිෂ්‍ය මර්දනය හේතුවෙන් ආරම්භ වූ සත්‍යග‍්‍රහයට එස්.බී තර්ජනය කිරීමත් ඉන්දික නමැති ඔහුගේ සහචරයා එම අට්ටාලය කඩා සිසුන්ට පහර දීමත් එයින් පරාජය නොවී සිසුන් විසින් නැවත ගොඩනගන ලද අට්ටාලය පොලිසිය යොදා කඩා දැමීමත් මෙම ශිෂ්‍ය මර්දනයේ අවසාන ජවනිකා කිහිපය ලෙස පෙන්විය හැකිය.

  • නේවාසිකාගාරය

  • එස්.බී දිසානායක ඇමතිවරයා සබරගමුව විශ්වවිද්‍යාලයට යන්නේ නේවාසිකාගාරයක් විවෘත කිරීමටය. සිසුන් පවසන්නේ එය නිසි ප‍්‍රමිතියට ඉදිකර නොමැති බවයි. එස්.බී දිසානායක පම්පෝරි ගසන්නේ එය ප‍්‍රමිතියෙන් යුතු බව පමණක් නොව තරු තුනේ හෝටලයක් තරම් පහසුකම් පවතින බවයි. එදිනම මුල්ගල් තබන ලද මීළඟ නේවාසිකාගාරය විශ්වවිද්‍යාලයෙන් දුර බැහැර හමුදා කඳවුරක් අසල තිබීමත් එයට ජලවිදුලි පහසුකම් ලබා ගැනීම අපහසු වීමත් ශිෂ්‍යයන්ගේ විරෝධයට තවත් හේතුය.

  • විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවන්ට ලබා දුන් නව නේවාසිකාගාරය ඔවුන් වර්ජනය කරන්නේද ඒ විරෝධය නිසාය.

  • පහරදීම

  • එස්.බී දිසානායක ඇමතිවරයා සිසුන්ට තර්ජනය කළ දිනයේම උපකුලපතිවරයා විසින් විශ්වවිද්‍යාලය හදිසියේ වසා දමන ලද අතර හවස 4.30ට පමණ සිසුන්ට විශ්ව විද්‍යාලයෙන් පිටව යන ලෙස නියෝග කෙරිණි. එහෙත් ශිෂ්‍යයෝ විශ්වවිද්‍යාලයෙන් පිටව නොයා අඛණ්ඩව රැඳී සිටිමින් සත්‍යග‍්‍රහයද අඛණ්ඩව කි‍්‍රයාත්මක කළහ.

  • විශ්වවිද්‍යාලය වසා දමා ශිෂ්‍ය විරෝධතා නැවැත්විය නොහැකි වූ විට මීළඟ පියවර වූයේ සත්‍යග‍්‍රහ මැරයන් ලවා එය නතර කිරීමය. ඒ අනුව ඔක්තෝබර් 9 වැනිදා ඉන්දික නමැති ප‍්‍රාදේශීය මන්තී‍්‍රවරයා විශ්වවිද්‍යාලයට ගොස් උපකුලපතිවරයාව හමුවී ඇත. එදිනම පැමිණ හවස හයට පමණ අට්ටාලය ඉවත් කර ගන්නා ලෙස සිසුන්ට තර්ජනය කර ඇත. පහරදීම සිදුවන්නේ ඉන් පසු දිනයේ රාතී‍්‍ර 10ට පමණය.

  • බීමත් පොලිසිය

  • මෙම සිදුවීම්වලදීද පොලිසියේ පක්ෂපාතීත්වය තහවුරු වන්නේය. සිසුන්ට පහරදුන් අවස්ථාවේ පොලිස් නිලධාරීන් පැමිණ ඇත්තේ බීමතින්ය. පහරදීම සිදුවන අවස්ථාවේදීම 119 හදිසි ඇමතුම් අංශයට ද අසල තිබෙන පොලිස් ස්ථානවලට ද දැනුම් දීමට සිසුන් කටයුතු කර ඇතත් පඹහින්න පොලිස් මුරපොළේ නිලධාරීන් පැමිණ ඇත්තේ විනාඩි 4 ක් ගතවූ පසුය. එහෙත් එම පොලිස් මුරපොළ පිහිටා ඇත්තේ මීටර් 700ක් වැනි වැඩිම වුවහොත් විනාඩි 10ක් ගතවන දුරකිනි.

  • ඇසින් දුටු සාක්ෂි තිබියදී මෙම සිදුවීමට සම්බන්ධ සැකකරුවන් පැමිණ භාර වෙනතුරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය අසමත් විය. එහෙත් එස්.බී ඇමතිවරයාට සිසුන් 600ක් පමණ බාධා කිරීම සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීමට සිසුන් 13 දෙනෙක් පොලිසියට කැඳවා තිබුණි.

  • ආචාර්යවරුන්ගේ මැදිහත් වීම

  • පාලනාධිකාරිය සමග දීර්ඝ සාකච්ඡාවකින් පසු ශිෂ්‍යයන්ගේ ඉල්ලීම වන ශිෂ්‍ය සංගම් යළි පිහිටුවීම, ශිෂ්‍යභාවය අහෝසි කිරීම, ඉවත් කිරීම, විශ්වවිද්‍යාලය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීම යන කරුණුවලට පාලනාධිකාරිය එකඟ කරවා ගැනීමට ආචාර්ය සංගමය සමත් වන්නේය. එහෙත් එම එකඟතාවන් සමග එන කොන්දේසි දෙකකට ශිෂ්‍යයෝ විරුද්ධ වූහ. ඒ ශිෂ්‍ය සංගම්වල නිලවරණයේදී 50%ක් ඡන්දය ප‍්‍රකාශ නොවුණහොත් ශිෂ්‍ය සංගම් පිහිටු විය නොහැක්කේය. විරෝධතාවන්වලදී සිදුවූ විනය කැඞීම, අලාභ හානි හා නොසලකා හැරීම පිළිබඳව සොයා බැලීමට විමර්ශන කමිටුවක් පත් කළ යුතුය යන කොන්දේසි වලටය.

  • සිසුන් එකඟ නොවීම නිසා ආචාර්යවරුන් මැදිහත් භූමිකාවෙන් ඉවත් වූහ.

  • කෙසේවෙතත් විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සංගමය සිසුන් වෙනුවෙන් යළිත් පාලනාධිකාරිය සමග සාකච්ඡා කොට එම කොන්දේසි දෙකද ඉවත් කර ගැනීමට සමත්ව ඇත. ඔක්තෝබර් 24 හෝ 27 වැනිදා විශ්වවිද්‍යාලයීය පාලනාධිකාරිය රැස්ව විශ්වවිද්‍යාලය විවෘත කරන දිනය තීරණය කිරීමට නියමිතය.

  • බහිරව සංස්කෘතිය

  • එස්.බී ඇමතිවරයා සහ ආණ්ඩුවේ පාර්ශ්වයත් කියන ආකාරයට මේවා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ පිරිසක් ඇති කරන ගැටලූ වන අතර ඒවා විසඳිය යුතු නැත. ගණන් ගැනීමට තරම්වත් නොවටී. එහෙත් විශ්වවිද්‍යාල සිසුන් දහස් ගණනක් පාර්ලිමේන්තුව ඉදිරිපිටට පැමිණ සරසවිවල ගැටලූ විසඳන ලෙස උද්ඝෝෂණය කරන්නේ නම් පෙරටුගාමින් වුවත් නොවුවත් සිසුන්ගේ හඬට සවන් දීමේ යුතුකමක් ආණ්ඩුවට තිබේ. එතෙක් මෙතෙක් කල් කරගෙන ආ ආකාරයටම ආණ්ඩුව කරන්නේ තම බහිරව සංස්කෘතියට අනුව විශ්වවිද්‍යාල පාලනය කිරීමයි.
  • උපකුලපතිවරුන් දේශපාලන විවාදවල අත්පුඩි ගසන්නට යන්නේ ඒ බහිරව සංස්කෘතියේ ප‍්‍රතිඵලයක් ලෙසය.


  • තරිඳු උඩුවරගෙදර රාවයට ලියූ කාලීන වටිනාකමක් ඇති ලිපියකි.

සෙස්ස පස්සට ෴

- සෙරන්ඩිබ් ඔටුවා



Friday, 10 October 2014

හිංගල සිනමාව කම්මුතු වෙන්න යන එක ගැන කාලකණ්ණි සතුටක්.....

සිරිලංකා සිනමාව යනු සිංහල සිනමාව වන තරමට මේ දීපේ හැදෙන්නේ සිංහල භාෂිත චිත්‍රපටිය.

ඉඳහිට එහෙන් මෙහෙන් දමිළ හා ඉංගිරිසි චිත්‍රපට ප්‍රදර්ශනය වුවද වැඩිමනත් පෙන්නන්නේ සිංහල බයස්කෝප්ය.

මුලින්ම ආවේ අල්ලපු රටේ පට්ට ගහන වට්ටෝරුය.
කොල්ලා, කෙල්ල, දුෂ්ටයා ඉන්නා ෆයිට්, සිංදු, කෝලම් මේවායේ අඩුවක් නොවීය. ඒ එක්කම රජකතාද ආවේය. බොහෝ ඒවා හැදුවේද අල්ලපු රටෙන් ආ අද්යක්ෂලාය. රූපගත කළේද චිත්‍රාගාර ඇතුළේමය.



කඩවුණු පොරොන්දු සමග ශ්‍රී වික්‍රම, සීගිරි කාශ්‍යපලා ඒ කාලේ වැහි වැස්සේය.
බොහොමයක් ඒවා අමුම අමු කොපි වූයේය. සිංදුම දහඅටක් විස්සක්, ෆයිට්ම දහයක් පහළොවක්, කොමික්ම හත අටක් මේවායේ තිබුණා පමණක් නොව පොරචාරය කොළේද ඒ මළකෝලං බලන්න එන්න කියාය. ප්‍රේක්ෂක ජනතාව වැල නොකැඩී මේ බයස්කෝප් බලන්න ගියෝය.

ඒ අස්සේ සැඟවුනු පිළිතුර, උමතු විශ්වාසය, කැලෑ හඳ, අයිරාංගනී, දේව විපාකය, හදිසි විවාහය, මෙන්ම කවට අන්දරේලාද වැහිවැස්සේය. කපටි ආරක්ෂකයා එක්ක බංඩා නගරයට ආවේත් මේ කාලේය.


ඊළඟට මාර කඩාකප්පල්කාරයෙක් සිංහල සිනමාවට කඩං පාත් වුණේය.
නම සිංහල නොවුණත් වැඩ පෙන්නන්න පටන් ගත්තේ කැමරාව චිත්‍රාගාරයෙන් එළියට අරගෙනය.


රේඛාවෙන් පටන්ගෙන ගම්පෙරළිය ගෙනෙමින් සිංහල සිනමාවේ පෙරළිකාරයෙක් වුණේය. ඒ පසුපසුසේ කුරුළු බැද්ද, සිකුරු තරුව, සත්සමුදුර ගොඩ ගැලුවේය. තුං මං හන්දිය ආවේය. හන්තානේ කතාව පෙන්නුවේය. ගොලු හදවත, රන් සළු, වෙස්ගත්තෝ, නිම් වළල්ල, වැලිකතර, හාර ලක්ෂෙ මෙන්ම එදා මෙදාතුර සිංහල සිනමාවේ අංක එකට එන නිධානයද දායාද වුණේය.


සිංහල සිනමාවේ දෙවෙනි කඩාකප්පල්කාරයා කඩං පාත් වුණේ එය අව්අස්සේය.


මේ යෝධයා අහස් ගව්ව ගෙනැවිත් සිනමාව පමණක් නොව ප්‍රේක්ෂකයාද හොල්මන් කර දැම්මේය. අන්දමන්ද කළේය. වැඩේ නම් මාරම මාරය.

මේ හාදයා  එයා දැන් ලොකු මේ හාදයා එයා දැන් ලොකු ළමයෙක්, බඹරු ඇවිත්, සොල්දාදු උන්නැහේ එක්ක පාරදිගේ පෙන්නා බයස්කෝප්කාරයන්ව පාරටම ඇද දැම්මේය.

මේ අව්අස්සේ වෙනින් කවුරුත්ලාද බයස්කෝප් හදන එක නැවැත්තුවේ නං නැත. වට්ටෝරුව පත අට එකට සිඳ ප්‍රේක්ෂක ජනයාගේ පොකැට්ටුවට තට්ටු කරන වැඩේ ජයටම කරගෙන ගියෝය.

අපරාදෙ කියන්න බෑ... එහෙම නොවන අධ්‍යක්ෂලාත් ඉඳහිට හරි මතු වුණේය.


පළගැටියෝ, හංසවිලක්, දුහුළු මලක්, තුන්වෙනි යාමය, සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා, විරාගය, රිදී නිම්නය, මල්දෙනියේ සිමියොන්, සුද්දිලගෙ කතාව මෙන්ම කෙළි මඬළද කරළියට ආවේය.

සිසිල ගිනි ගත්තේ මේ කාලයේය. දඩයම, චන්ද කින්නරී, අනන්ත රාත්‍රිය, බවදුක, බවකර්ම, එක්කම මැදමාවතේ යැයි හැඳින්වූ සිකුරුලියා, මංගල තෑග්ග, පරිත්‍යාග, අපේක්ෂා, පාලම යටද ජයකෙහෙළි නංවන්නට පටන් ගත්තේය.


සිංහල සිනමාවේ තුන්වෙනි කඩාකප්පල්කාරයා කඩං පාත් වෙමින් මේ මගේ සඳයි පෙන්නූ විට සමස්ථ සිංහල සිනමාවම උඩුයටිකුරු වී ගියේය.


මේ හාදයා දිගින් දිගටම කඩාකප්පල්කාරී වැඩම කරන්නට විය. සඳ දඩයම, තනි තටුවෙන් පියාඹන්න හදා අක්ෂරයෙන් කෙළවා ගත්තේය. අක්ෂරය නං පෙන්නන්න දුන්නේම නැත. පෙන්නන්න දෙන්නේම නැතැයි පරසක්වළ ගැසූ ගොබිලන් මේ හාදයාව හිරේ විලංගුවේ දාන්නත් වළි කෑවේ උසස් සිනමාවට කෙළවන්නටය.

සිසිල ගිනි ගනී හදා සිය සිනමා ප්‍රවේශය තහවුරු කරගත් අධ්‍යක්ෂවරයා පුරහඳ කළුවර, ඉර මැදියම, ආකාස කුසුම් හදද්දී සිහින දේශයෙන්,  ගරිල්ලා මාර්කටිං, සුදු කළු සහ අළු, සුලං කිරිල්ලී වැනි චිත්‍රපටද ඒ එක්කම සුළඟ එනු පිණිසද හමා ආවේය.


මේ අව් අස්සේ සූරිය අරණ, සමනල තටු පාවී ඇවිත් නිදා උන් ප්‍රේක්ෂකයා කිති කවන්නට පටන් ගත්තේය.

මේ අතරට කාම සිනමාවද ආවේය. මස් කඩ පෙන්නන විට ප්‍රාථමික මනස් ඇති ප්‍රේක්ෂකයා වැල නොකැඩී වැල පසුපස්සේ දිව්වේය.

ඔන්න යුද්දෙත් අවේය. ඇවිත් පැල් බැඳ ගත්තේය. යන්නත් ගියේය.

 ඔන්න ඉතිං කට්ටිය යුද්දෙත් වවන් කන්න පටන් ගත්තේය. ගාමණීලා, ප්‍රභාකරන්ලා, සෙල්වම්ලා, විතරක් නං මදැයි මාතාලාද තිරයේ ගිනිවිජ්ජුම්බර පෙන්නනන්නට පටන් ගත්තෝය.

ඔන්න රජතුමා සිංහාසනාරූඪ වන්නාහ.

දැන් රජ පෙරහැරය. ධර්ම පෙරහැරය.

අබාය.
කුස පබාය.
මහින්දාගමනයය.
කුවේණිය.
උප්පලවන්නාය.
සිරි දළදාගමනයය.
ගෞතම සිද්ධාර්ථය.
සිරිපැරකුම්ය.
ඇහැලේපොළ කුමාරිහාමිය.
ඒ සේරම මදිවාට අනාගාරික ධර්මපාලය.

හපෝයී...... මේව නං බලා ඉන්න බැරුවාය.
නිකං මොන්ටිසෝරි නාට්‍ය වාගේය.
පමණක් ඒවා ඊටත් පල්ලෙහාය.
අමුම අමු ගොංපාට්ය.

මාළිගාවල පසුතල වල ගෝනි කෑලි පේනවාය. සටනට හේවායෝ එන නෞකා පපඩං බෝට්ටු වාගේය. රහතුන් වහන්සේලා අහසේ අලවලා වාගේය.

මේවාටත් චිත්‍රපටි කියනවා නං චිත්‍රපටිවලට මොනවා කියා කියන්දැයි හිතා ගන්නවත් බැරුවාය. බයස්කෝප් කලාවටත් මේ බහුරූ කෝලං අපහාස කරනවාය.

හැබැයි සැබෑ සිනමාවට බෙහෙවින් ඇලුම් කරන සෙරන්ඩිබ් ඔටුවාට ඉහේ මල් පිපෙන ආරංචියක් ලැබුණේය.
ලැබුණෙත් එසේ මේසේ පොරකගෙන් නොව සිංහල සිනමාව දිග්විජය කළ ඔබ නැතුව ඔබ එක්ක එන සම්මානනීය අධ්‍යක්ෂවරයෙකුගෙන්ය.

අර රජකතා, ධර්ම කතා දවසින් දවස ලොස් වෙනවාලුය. පාඩු පිට දුවනවාලුය. ලැජ්ජාවට ගලවන්නේ නැතිව එල්ලං ඉන්නවාලුය.
මේවා හදන නිෂ්පාදකයෝ පමණක් නොව අද්යක්ෂලාද එලොව පොල් පෙනි පෙනි ඉන්නවාලුය. චිත්‍රපටි හැදීමේ කරුමාන්තයෙන් අයින් වෙනවා කියා මේ හාදයින් පාරම්බානවාලුය.

මාරය....මාරම මාරය.
ඔටුවාට කාලකණ්ණි සතුටක් දැනෙවාය.

සිංහල සිනමාව හිංගල කෝලම් මඩු කරනා, කාබාසිනියා කරනා මේ හැතිකරේ නැතිභංගස්ථාන වී යනවා නං ආයෙම වතාවක් හැබෑ  දේශීය සිනමාවක් ගොඩ නගාගන්නට ඉඩක් මතුවෙනවා ඇත.

හැම අඳුරු වළාවකම රිදී රේඛාවක් ඇතැයි කියන්නේ මේ හංදා වෙන්න ඕනෑය.

(වාලුකා කාන්තාරේ ඉඳන් ඔටුකතා ලියන හෙයින් පෙරලා බලන්නට පොත්පත් හිඟ හංදා චිත්රපටිවල නං වාසගං මතකෙන් ලියු නිසා සඳහන් කළ යුතුම සමහර ඒවා මගහැරී තියෙන්න ඉඩ ඇත්තේය. ඒ ගැන සමාව බජනය කොරන්න කැමතිය.)




-සෙස්ස පස්සට ෴

- සෙරන්ඩිබ් ඔටුවා



Friday, 3 October 2014

‘ජීවිතය පැහැදිලි කිරීම මගේ සිනමාව නොවේ’- කාලෝස් රෙගෙඩාස්






  • සිනමා කෘතියකදී ප‍්‍රධාන වශයෙන්ම සිදුවන්නේ හොඳ කථාවක් කීම බව ලොව පුරා, විශේෂයෙන්ම බටහිර රටවල මුල්බැසගත් කියමනක් බැව් කිවයුතු නොවේ. එකී මතය පිළිගන්නේ නම් සිනමා භාෂාව සතු ශක්‍යතාවන් බොහොමයක් අමතක කිරීමට හෝ නොසලකා හැරීමට ඔබට සිදුවනු නොඅනුමානය. සිනමාව යන්න කතාවක් කීම සඳහා යොදා ගන්නා මෙවලමක්ය යන මතය පිළිගැනීම නිසා රූපය හා ශබ්දය යන්න, එකී කථාව කීමට උපයෝගී කරගන්නා අංගෝපාංග බවට පමණක් පත්වේ.
  • ඈත අතීතයේදි චිත‍්‍ර ශිල්පය භාවිත වූයේද මෙවන් අරමුණක් සඳහායි. විශේෂයෙන්ම ආගමික හා ඓතිහාසික පුරාවෘත්ත නොඑසේ නම් මිථ්‍යා කතා හා යුද්ධ සටන් පිළිබඳව කතාන්දර කීමට එකී මාධ්‍යය යොදාගනු ලැබීය.
  • එහෙත් කාලයාගේ ඇවෑමෙන් චිත‍්‍ර ශිල්පය මෙකී රාමුවෙන් පිට පැන වෙනත් මානයක් කරා යොමුවන්නට විය. විශේෂයෙන්ම ඒ හරහා ජීවිතය පිළිබඳ කිසියම් දෘෂ්ටිවාදයක් ඉස්මතු කිරීමට චිත‍්‍රශිල්පීහු උත්සාහ ගත්හ. ඇතැම් විටෙක, හැඟීම් හා භාවයන් ප‍්‍රකාශකිරීම එහි අරමුණ විය.
  • ඇත්ත වශයෙන්ම මේ වනවිට චිත‍්‍රපට හරහා කිවයුතු සියලූ කතන්දර කියා අවසන්ව ඇතැයි මට සිතේ. අලූත් කථාවක් කීමට කිසිවෙකුට අවකාශයක් නැත. ලෝකයේ අලූත් සිදුවීම් තවදුරටත් කොතෙකුත් සිදුවන බව සත්‍යයකි. එහෙත් පුළුල් අර්ථයෙන් ගත්විට සංකල්පීය වශයෙන් නම් අලූත් කතාවක් කීමට කිසිදු අවකාශයක් දැන් නැත.
  • සිනමාව හා අදාළව බොහෝවිට සිදුව ඇත්තේ එකම කථාව යළි යළිත් කීමක් වැනි දෙයකි. යුද්ධ චිත‍්‍රපටයක්, ආදර කථාවක් හෝ භාවාතිශය කථාවක් තුළද කියැවෙන්නේ එකම දෙයකි. බහුතරයක් චිත‍්‍රපටවලදී චරිත හඳුන්වා දීම පවා සරල යාන්ත‍්‍රික ක‍්‍රමවේදයක් අනුගමනය කරමින් සිදුවන බව පෙනේ. ඒවා බොහෝවිට කර්මාන්ත ශාලාවකින් නිකුත් කෙරෙන භාණ්ඩ බවට පත් වී ඇත.
  • එහෙත් සිනමාව යනු ඔබ ‘දේවල්’ දකින ආකාරය පිළිබිඹු කරන්නක් බැව් මගේ පිළිගැනීමයි. කිසියම් චරිතයක් ජීවිතය දකින ආකාරය, ඔහුගේ හෝ ඇයගේ ආත්මීය ගවේෂණය ඒ හරහා ඉස්මතුවීම වඩා වැදගත් වේ. ඕනෑම කලාවක් අරබයා සිදුවිය යුත්තේ ද එවැන්නකි.
  • සිනමාවේ පරම සංඝටකය කාලයයි. කෘතිය හරහා එකී කාලමානය හැසිරවීම සිනමා කලාවේ ආත්මයයිග සිනමා කෘතියක් තුළ ඇතුළත් සියල්ල කිසියම් ආකාරයකට පරිහරණය කිරීමෙන් ආත්මීය ප‍්‍රකාශනයක් ඇති කළ හැක.
  • සිනමා භාෂාව යනු කුමක්ද? සන්නිවේදනයේදී මිනිසා විසින් කථා කිරීමට හා ලිවීමට භාෂාව භාවිත කරයි. එහෙත් සතුන්ට එවැනි භාෂාවක් නැත. එහෙත් සත්තුද සිය වර්ගයා අතර කිසියම් සන්නිවේදනයක් සිදුකරති. සිනමා භාෂාව ළංවන්නේ එයාකාරවූ භාෂාවකට ය. සිනමාව ශ‍්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයකැයි කරන්නාවූ ප‍්‍රකාශය එක්තරා ආකාරයක තාක්‍ෂණික, එමෙන්ම නීරස ප‍්‍රකාශයකි. දැනට සිදුව ඇත්තේ කැමරාව හා පටිගත කිරීමේ උපකරණ කථාවක් කීම උදෙසා භාවිත කරන්නාවූ උපාංග බවට පත්වීමයි. එහිදී සිදුවන්නේ සිනමාව, සාහිත්‍යයෙන් කෙරෙන්නාවූ කටයුත්ත නැවතත් කිරීමට උත්සාහ කිරීමකි. සිනමාව යන්න වඩා ගැඹුරු එයටම අනන්‍යවූ ප‍්‍රකාශන මාධ්‍යයකි.
  • ජීවත්වීම තුළ පවතින ආශ්චර්යය හා ගුප්ත බව ඒ හරහා පිළිබිඹු කිරීමට එම`ගින් අපට හැකියාව ඇතග හොඳ කථාවක් කීමට වඩාත් සුදුසු මාධ්‍යය වන්නේ සාහිත්‍යයයි. කට වචනය පවා කථාවක් කීමට වඩා සුදුසු මාධ්‍යයකි.
  • හොලිවුඞ් හා බොලිවුඞ් සිනමාව තුළ පමණක් නොව සිනමා ලොවෙහි බහුතරයක් දෙනා සුප‍්‍රසිද්ධ නළු නිළියන් පිරිවරාගෙන කරන්නාවූ කටයුත්තට වඩා වැඩි යමක් සිනමාව හරහා ඉටුකළ හැකිය. මා වත්මනෙහි යෙදී සිටින්නේ එවන් උත්සාහයකයි. ජීවිතය පිළිබඳව අප එකිනෙකාගේ දැක්ම අපටම අනන්‍ය වූවකි. එය අපගේ මරණයත් සමඟම වියැකී යයි. ඒ අනුව අප නිර්මාණය කරන චිත‍්‍රපටය අපටම අනන්‍ය එකකි. එය වෙනත් චිත‍්‍රපටයකට සමකළ නොහැකි වන්නේ එනිසායි. කතන්දර සිනමාව තුළ නිරතුරුවම එකම කථාව විවිධ ස්වරූපයෙන් ප‍්‍රකාශ වුවද, මා කියන්නාවූ සිනමාව තුළ එකම කථාවක් නොකියැවෙන්නේ එබැවිනි.
  • ඇත්ත වශයෙන්ම අප දේවල් දකින ආකාරය, අපගේ සිතුම් පැතුම් යනාදිය අප කටින් කරන්නාවූ ප‍්‍රකාශයන්ට හාත්පසින්ම වෙනස් බවක් පිළිබිඹු කරයි. බොහෝදේ වචනයට පෙරළිය හැකියැයි මම නොසිතමි. එබැවින් මා උත්කර්ෂයට නංවන සිනමාව නිරතුරුවම අලූත් මතයක්, අලූත් අත්දැකීමක් නැතිනම් අලූත් කථාවක් කීමේ හැකියාවකින් යුක්ත වූවකි.
  • මෙය සන්නිවේදන කාර්යයකට වඩා ගැඹුරට යෑමකි. කිසියම් භාව ප‍්‍රකාශනයකි.
  • සිනමාව ඉගෙනීම අනතුරක් නොවූවද, ඇතැම්විට ඔබගේ අධ්‍යාපනය සිනමාවට ප‍්‍රවිෂ්ට වීමේදී ගැටලූ මතුකිරීමට ඉඩ ඇත. මගේ අදහසේ හැටියට හැකිතරම් චිත‍්‍රපට නැරඹීම වඩා සුදුසු ක‍්‍රමවේදයයි. එහෙත් එතරම් චිත‍්‍රපට නොබලන ඇතැම් සිනමාකරුවන් ද ලොව කොතෙකුත් සිටින බව වටහාගත යුතුවේ. 
  • සාම්ප‍්‍රදායික රාමුවෙන් පිට පැනීමට ඔබට ආත්ම ශක්තියක් තිබීම වඩා වැදගත්ය. ලංකාවේ ජීවත්වන ඔබට හොලිවුඞ්, බොලිවුඞ් සිනමාව හෝ රූපවාහිනී ආකෘතියෙන් විනිර්මුක්ත ආකෘතියක් පිළිබඳ සිත යොමු කිරීමට සිදුවනු නොඅනුමානය. මෙවැනි චිත‍්‍රපටවලට හුරුවූ බොහෝ අය මගෙන් නිතර අසන පැනයක් නම් මගේ සිනමාව මෙතරම් මන්දගාමි වී ඇත්තේ ඇයිද යන්නයි. ඇත්ත වශයෙන්ම වේගය යනු සාපේක්‍ෂ ප‍්‍රපංචයකි. සැබෑ ජීවිතයේ පවතින්නාවූ වේගය, හොලිවුඞ්, බොලිවුඞ් සිනමාවට වඩා මන්දගාමී එකක් බැව් මගේ පිළිගැනීමයි. 
  • ලංකාවේදී මා දුටු ඇතැම් ඉන්දියානු චිත‍්‍රපට හා රූපවාහිනියේ විකාශය වන දෙස් විදෙස් ටෙලිනාටක හා වෙළෙඳ දැන්වීම් හොලිවුඞ් චිත‍්‍රපටවලටද වඩා වේගවත් ලයමානයක් සහිතය. එය විස්මයට කරුණකිග හේතුව ඉන්දියාවේ හෝ ලංකාවේ ජන ජීවිතය ඊට වඩා බෙහෙවින්ම මන්දගාමී වීමයි.
  • මම එතරම් චිත‍්‍රපට හෝ රූපවාහිනී වැඩසටහන් නැරඹූ අයෙක් නොවෙමි. මා කුඩා කල අපගේ නිවසේ රූපවාහිනී යන්ත‍්‍රයක් නොවීය. අනතුරුව මම මිතුරන් කිහිප දෙනෙකු සමඟ සුපර්මෑන් වර්ගයේ බටහිර චිත‍්‍රපට කිහිපයක් නැරඹීමි. පසු කලෙක මගේ පියා රූපවාහිනී යන්ත‍්‍රයක් හා පටි ධාවන යන්ත‍්‍රයක් සමග චිත‍්‍රපට 2000ක් පමණ නිවසට රැගෙන ආවේය. ඒ් චිත‍්‍රපට බොහෝමයක් මැක්සිකානු රජය විසින් වාරණයට හසුකරනු ලැබූ, කොටස් කප්පාදු කළ චිත‍්‍රපට විය. එකල මගේ වයස අවුරුදු 16 කි. ඉන් අනතුරුවම මම චිත‍්‍රපට නරඹන්නට පුරුදු වුණෙමි. 
  • මා නැරඹූ එක් චිත‍්‍රපටයක් නම් අන්ද්‍රේ තර්කොව්ස්කිගේ Nostalgia යි. මා එම චිත‍්‍රපටය හෝ එහි නිර්මාතෘ පිළිබඳව හෝ කිසිවක් දැන සිටියේ නැත. ඔහුගේ නම පවා මා දැනගත්තේ එදිනයි. එම චිත‍්‍රපටය මා විස්මයට පත් කළේය. සිනමාව හරහා එවන් දෙයක් කළ හැකියැයි එයට පෙර මා දැන සිටියේ නැත. එහි සෑම කුඩා කොටසක්ම එයටම අනන්‍ය වූ අරුත් සම්භාරයකින් යුත් බවක් මට හැඟී ගියේය.
  • ඉතා දක්‍ෂ සිනමාකරුවකු වන ඇල්ෆ‍්‍රඞ් හිච්කොක්ගේ චිත‍්‍රපටයකදී නම් එවැනි තනි කොටසක් කිසිදු අරුතක් දනවන්නේ නැත. එවැනි චිත‍්‍රපටයක් ඉතා සැලසුම් සහගතව මනා ලෙස නිර්මාණය කර තිබුණද චිත‍්‍රපටයේ මැදින් කිසියම් කොටසක් පමණක් ඉවත් කොට නැරඹීමේ හැකියාවක් නැත. තර්කොව්ස්කිගේ චිත‍්‍රපටය කථාවක් කීමට වඩා ඔබ්බෙන් ගිය නිර්මාණයකි.
  • රොසෙලිනීගේ චිත‍්‍රපටයකදී, සැබෑ පරිශ‍්‍රමයක් තුළ කිසියම් කථාවක් ගොඩනැඟීමට ඔහු උත්සාහ ගනී. එසේම ඉන්දියානු සිනමාකරු රිට්වික් ඝටක් වැන්නකුගේ චිත‍්‍රපට නැරඹූ මට, භාවාතිශය නාටකයක් ආධ්‍යාත්මිකව ස්පර්ශ කළ හැකි ආකාරයෙන් ඉදිරිපත් කොට තිබූ විලාසය දැකගත හැකි විය. මේ සියල්ල තුළින් මා කිසියම් දැනුවත් බවක් හා ඥානයක් උකහා ගත්තායැයි හැඟේ.
  • එහෙත් සිනමාකරුවකු වීමට තාක්‍ෂණික වශයෙන් බොහෝ දේ ඉගෙනීමට ඔබට සිදුවේයැයි මට නොසිතේ. සංගීතඥයෙකු වීමට ඔබ බොහෝ කලක් පුරුදු පුහුණුවී අධ්‍යාපනයක් ලැබිය යුතු වුවද මෙහිදී එය එසේ නොවීම විශේෂත්වයකිග චිත‍්‍රපට තැනීමට, නළු නිළියන් හැසිරවීමට හෝ වෙනත් දේ කිරීම සඳහා සරල සූත‍්‍රයක් හෝ ක‍්‍රමවේදයක් නොවීම එයට හේතුවයි. වඩා වැදගත් වන්නේ සිනමාවට ඔබ සිත තුළ ඇති ලාලසාවයි.
  • සිනමා පාසල් වැදගත් වන්නේ චිත‍්‍රපට බැලීමට, සාකව්ඡුා කිරීමට හා සිනමාකරුවන් හමුවීම සදහා එහිදී කිසියම් වේදිකාවක් සකස් කෙරෙන නිසායි.
  • සිනමා පාසල්වල ඉගෙනුම ලැබූ ඇතැම් අය, චිත‍්‍රපට තැනීමට බියක් දක්වන බව පෙනීයයි. එනිසාම ඔවුනගේ චිත‍්‍රපට අසාර්ථක වන අවස්ථාද ඇත. එයට හේතුව ලොව විශිෂ්ට සිනමාකරුවන් දේවත්වයෙන් ඇදහීමට, අනුකරණය කිරීමට ඔවුන් පෙළඹීම විය හැකියි. සිනමා පාසල් තුළදී බොහෝවිට පරමාදර්ශී චරිත, පරමාදර්ශී චිත‍්‍රපට පිළිබඳ සංකල්පය උත්කර්ෂයට නැංවේ. සිනමා නිර්මාණයක් ඔරලෝසුවක් මෙන් පරමාදර්ශී විය නොහැක. ඔරලෝසුවක තත්පරයක් පවා ඉතා නිවැරදිව සටහන් කළ හැකිය. එහෙත් සිනමා කෘතියකදී එවැන්නක් සිදුවිය නොහැක. ඔබගේ සිතිවිලි, ඔබගේ ප‍්‍රකාශනය, ඔබගේ දැක්ම එයාකාරවූ පරමාදර්ශී එකක් විය හැක්කේ කෙසේද?
  • චිත‍්‍රපටයක් තුළ ප‍්‍රථම විනාඩි 10 තුළදී චරිත හඳුන්වා දිය යුතු බවත්, අහවල් විනාඩියේදී ගැටුමක් ඇතිකළ යුතු බවත් යනාදී වශයෙන් ගොඩනැ`ගී ඇති සූත‍්‍රය පිළිබඳව සැලකිලිමත් විය යුතු නැත. මෙවැනි දේ ඉගෙනගන්නා සිනමා පාසල් ශිෂ්‍යයා චිත‍්‍රපට තැනීම දුෂ්කරක‍්‍රියාවක් ලෙස සලකා බියට පත්වේ. තමාගේ කෘතිය අසාර්ථක වේදෝයි බියෙන් නිරතුරුවම පෙළේ.
  • චිත‍්‍රපටයක් නිර්මාණය කරන ඔබ එහි එන ප‍්‍රකාශනය, රූපරාමු සැකැස්ම හා කාලමානය හරහා පේ‍්‍රක්‍ෂකයා වෙත කිසියම් ආධ්‍යාත්මික ප‍්‍රකම්පනයක් ඇති කිරීමට කටයුතු කරයි. පේ‍්‍රක්‍ෂකයා එය අවශෝෂණය කරන්නේ ඔහුටම අනන්‍යවූ ආකාරයටයි.
  • ඔබ භූමි දර්ශනයක් මිත‍්‍රයෙකුට පෙන්වූ විටෙක ඔහු තමනට අවශ්‍ය වේලාවක් එදෙස බලා සිටීමට පෙළඹේ. ඒ සඳහා එතරම් වේලාවක් ඔහුට නොදී තත්පර කිහිපයකින් මිතුරා එතැනින් ඉවත් කිරීමට උත්සාහ ගන්නේ නම් ඔහු බෙහෙවින්ම කෝප වනු නොඅනුමානය. චිත‍්‍ර ප‍්‍රදර්ශනයකදී, හැකි වේලාවක් චිත‍්‍රයක් දෙස බලා සිටීමට අවස්ථාව ඇත.
  • එහෙත් බොහෝවිට සිදුවන්නේ සිනමාකරුවා, පේ‍්‍රක්‍ෂකයා යමක් දකින ආකාරය පාලනය කිරීමට යෑමයි. හොලිවුඞ් සිනමාව තුළ එවැනි නිදහසක් පේ‍්‍රක්‍ෂකයාට නොලැබේ.
(උපුටා ගැනීම - රාවය)


-සෙස්ස පස්සට ෴

- සෙරන්ඩිබ් ඔටුවා