හොරු ගැන හොරෙකුගෙන් .....ගී පදමාලා, සාහිත්‍ය කෘති හොරු ගැන ෆේස්බුක් පෝස්ට් දෙකක් දැම්මම නොහිතපු හොරු එළියට ආවා. ඒ වගේම සමහරු හොරකම වහන්න උත්සහ කළා. නිකං වෙන්න බෑ ..ඔය කිව්වට ෂුවර් නෑ වගේ අදහස් තිබුණා.
මේ ලියන්නෙ ඒ ගැන නොවෙයි. ඒ එක්කම හිතේ මතු වුණු කාලාන්තරයක් තිස්සේ තියෙන අදහසක්.
ඉහත සඳහන් නිර්මාණ හොරු ඉන්නවා. ඒ වගේම ශිෂ්‍යයින්ගේ පර්යේෂණ මංකොල්ල කාලා තම නම යොදා ප්‍රකාශන එළිදක්වන ආචාර්ය මහාචාර්යවරුන් ඉන්නවා.
ඊටත් එහා කියන්නෙ මා ඇතුළු සමස්ථ සමාජයේ වැඩිදෙනා කිසියම් හොරකමක්, හොර වැඩක් කරලා තියෙනවා. එහෙම නොවෙන කෙනෙක් ඉන්නව නං කලාතුරකින්.
මං ප්‍රසිද්ධ හොරෙක්.
පොත් හොරකම් කරලා තියෙනවා.
බස්, කෝච්චි වල හොරෙන් ගිහිං තියෙනවා. චාන්ස් එකක් ආවොත් තවමත් යනවා.
මාර්ග නීති කඩලා පොලිස්කාරයින්ට පගාව දීලා හොරකමට උදව් කරනවා.
පුතාව තර්ස්ටන් එකට දාන්න හොර ඇඩ්රස් හැදුවා. ඉස්කෝලෙට පගාව දුන්නා.
පස්සෙ කාලෙක මං ඡන්ද නාම ලේඛනයේ ලියාපදිංචි වෙලා නොතිබුණ නිසා පුතාට පුරවැසි හැඳුනුම්පත ගන්න ග්‍රාමසේවකට පගාව දීලා ඒක කර ගත්තා.
මෙතන ලියන්න බැරි හොර උප්පැන්න සහතික හැදීම, පෞද්ගලික වාසියක් සඳහා මගේ පෞද්ගලික තොරතුරු රැගත් කාර්යාල ලිපි ගොනුවක් හොරකම් කිරීම් වගේ හොරකම් කරලා තියෙනවා.
ඇයි හොර අත්සන්. ඉස්කෝලෙ යද්දි තාත්තගෙ අත්සනෙන් පටන් අරං විවිධ අත්සන්. මං පට්ට හොරෙක් කියන්න ඔය මදෑ..
ගොඩක් අය දරුව පාසලට දාන්න හොර වැඩ කරනවා.
ආණ්ඩුවේ කන්තෝරුවල පහළම පියන්ගේ ඉඳන් හොරකම් කරනවා.
ෆයිල් එකක් යට ගහන්න, යට තියෙන එකක් උඩට ගන්න සල්ලි ගන්නවා.
ලිපිකරුවා ඉක්මනින් වැඩක් කරන්න සල්ලි ගන්නවා.
ආර්.එම්.වී, අයිඩෙන්ටිටි කාඩ්, පාස්පෝට් කාර්යාල වගේ තැන්වල
ප්‍්‍රසිද්ධියේ හොරකම් කරනවා. මේ ළඟදි ඕස්ට්රේලියාවේ ඉඳං ආව මගෙ මිතුරෙක් මගේ උපදෙස් මත පෝලිමේ ගිහිං පාස්පෝට් කීපයක් අලුත් කරගන්න යද්දි නිලධාරියා ළඟට ඇවිත් කිව්වේ රු. 4000/- දෙන්න. දවල් 2 වෙද්දි වැඩේ කරල දෙන්නම් කියලා. රෑ 9 ට දෙනව කිව්ව පාස්පෝට් දවල් 2 ට ගත්තා.
එතනින් එහාට කොන්ත්‍ත්‍රාත්කාරයා හොරකම් කරනවා. කරපු වැඩවලට චෙක් එක ගන්න නිලධාරීන්ට සල්ලි දෙන්න ඕනෑ. ඩ්‍රැයිවර්ලා තෙල් අදිනවා. හොර රනින් චාට් ලියනවා.
ඇයි ඇඟිලි සලකුණු යන්ත්‍්‍රයක් නැත්තං පැමිණීමේ රෙජිස්ටරයේ බොරු වෙලාව දාලා අත්සන් කරනවා.
බස් කොන්දොස්තරලා මාටියා ගහනවා.
රස්සාව ගන්න දොළපිදේණි දෙනවා. උසස්වීම් ගන්න ඇඟ දෙනවා. ටෙලිනාට්‍ය පෙන්නගන්න අනුමත කරන්නාට ලොකු ගාණක් දෙන්නෝනෑ. හැම රූපවාහිනී චැනල් එකකම. පත්තරේ කවියක්, ලිපියක් දාගන්න දොළපිදේණි දෙන අවස්ථා තියෙනවා.
වාසි ලබාගන්න කිරිමුට්ටි ලොක්කගේ ගෙදරට අදිනවා.
ගීත, චිත්‍රපට හොරකම් කරනවා. ඔරිජිනල් එක නැතිව පයිරේට් කොපි විකුණනවා. ප්‍රකාශකයින් කර්තෘට හොරෙන් නැවත මුද්‍රණ ගහනවා. පොත් කඩකාරයෝ පොත් විකුණලා සල්ලි නොදී හොරකම් කරනවා. ඒවා මටත් වෙලා තියෙනවා. කර්තෘට කර්තෘභාගය දෙන්න ඕනෙ
ප්‍රකාශකයෝ කර්තෘගෙන් සල්ලි අරං පොත් ගහනවා.
හොර වෙද්දු ඉන්නවා. හොර බේත් දෙනවා. බේත් වලින් හොරකම් කරනවා.
පාරක තොටක යන්න බෑ මාළ කඩනවා.
පාරෙ නවත්තලා ගිය වාහන ඇරලා සුද්ධ කරනවා. වාහනත් හොරකම් කරනවා.
විභාග ප්‍රශ්න පත්ර හොරකම් කරලා විකුණනවා. හොරට වෙන කෙනෙක් දාලා විභාග ලියනවා. අඩුම තරමෙ හොරාට කොපි කරනවා.
කඩෙන් ඇඳුම් හොරකම් කරනවා. කඩෙන් බඩු උස්සනවා.
මේ අල්පයයි. ඒකයි කිව්වෙ සමස්ථ සමාජයෙන් වැඩිදෙනා හොරු. ජීවිත කාලයේ කිසිදු හොරවැඩක් නොකරපු කෙනෙක් හොයන එක නොමළ ගෙයකින් අබ ඇටයක් හොයනවා වගේ.
හොරට ඡන්දෙ දානවා. ඡන්දෙන් හොරු පත්කරගන්නවා. ඡන්ද නාම යෝජනාත් හොරට ටිපෙක්ස් කරනවා.
ඊට පස්සෙ 225 ම හොරු කියනවා. හොරු එළවමු කියනවා. එළෙව්වත් පත්කරගන්න වෙන්නෙත් හොරුම තමයි. සමාජයේ ඉන්න දෙකෝටියක්ම හොරු. ඒ හොරුන්ගෙ නියෝජිතයොත් හොරු.
-සිතන්නා...