Pages

Thursday, 22 May 2025

සැබෑ නිදහස අමතක කොට ව්‍යාජ නිදහස සැමරීම

 බ්‍රිතාන්‍ය කිරීටයෙන් සම්පූර්ණයෙන් නිදසහ ලබා අර්ධ යටත් විජිතයක්ව පැවති ලංකාව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය බවට පත් වූයේ 1972 මැයි 22 දා, අදින් වසර 53 ට පෙරදීය.



ඉහත සේයාරුවේ දැක්වෙන්නේ ඒ සඳහා මුල් වූ එවකට අග්‍රාමාත්‍ය සිරිමා බණ්ඩාරනායක මැතිනිය නව ව්‍යවස්ථාව යටතේ එතෙක් පැවැති රැජනගේ නියෝජිතයා වූ ආණ්ඩුකාරවරයා වෙනුවට නාමික ජනාධිපති ලෙස විලියම් ගොපල්ලව මැතිතුමා පත් කළ අවස්ථාවයි.

ජනරජයක් වීමට පෙර හා පසු රාජ්‍ය ලාංඡනද පහත දැක්වේ.




හරි නම් ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජවාදය පිළිගන්නා ජනතා විමුක්ති පෙරමුණ රජයක් බිහි වූ පසු අද එළැඹුණ ජනරජ දිනය සමරා එය නිවාඩු දිනයක් කළ යුතුව තිබිණ. 1972 දී ඇති කළ ජනරජ නිවාඩු දිනය 1977 බලයට ආ යැංකි ඩිකී හෙවත් ජේ. ආර්. ජයවර්ධන අහෝසි කළේය.

එය ආදර්ශයට ගෙන මේ ආණ්ඩුව කරන්නේද සැබෑ නිදහස ලැබූ ජනරජ දිනය අහෝසි කොට ඩොමිනියන් අර්ධ නිදහස ලැබූ පෙබරවාරි 04 නිදහස් දිනය සැමරීමයි.

-සිතන්නා


Friday, 2 May 2025

සාජි එන්. කරූන් දිවි සිනමාවෙන් සමු ගනී

 විශිෂ්ට ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂ සාජි එන්. කරූන් දිවි සිනමාවෙන් සමු ගනී..


මේ සමඟ පළ වෙන්නේ 90 දශකයේදී ගත් පිංතූරයක්. මා සම්මාන සහතිකයක් ලබා ගන්නේ ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂ සාජි එන්. කරූන් අතින්.
පසෙකින් සිටින්නේ ආසියානු සිනමා කේන්ද්‍රයේ ප්‍රධානී ඈෂ්ලි රත්නවිභූෂණ හා එම කේන්ද්‍රයේ අධ්‍යක්ෂිකා රංජනී රත්නවිභූෂණ.

එකල ආසියානු සිනමා කේන්ද්‍ර සිංහල සිනමාවේ ප්‍රවර්ධනය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළා. නොකඩවා මාසිකව පළ කළ, ඉතා වටිනා තොරතුරු හා ලිපි රැගත් "සිනෙසිත්" සඟරාව වගේම සංවිධානය කළ චිත්‍රපට උලෙළ, සිනමා පඨමාලා, හමුවීම්, සාකච්ඡා යනාදී බොහෝ වැඩ ඒ අතර වුණා.

"පිරවි" නමින් අති විශිෂ්ට චිත්‍රපටයක් නිර්මාණය කළ සාජි එන්. කරූන් චිත්‍රපට අධ්‍යක්ෂණය පිළිබඳ කළ වැඩමුළුව අවසානයේ තමයි මේ සහතික පත්‍රය ලබා දුන්නේ. මේ කාලයේම "පිරවි" කැමරාකරණය කළ සනී ජෝශප් මූලිකත්වය ගත් සිනෙ කැමරා අධ්‍යක්ෂණය පිළිබඳ වැඩමුළුවටත් මා සහභාගී වුණා.
===================
මා එදා සාජි එන්. කරූන්ගේ සිනමා දැනුමෙන් ලද පෝෂණය ඉමහත්.
එතුමන් සිනමාව පිළිබඳ පුළුල් පරාසයක දැනුමකින් පිරිපුන් විද්‍යාර්ථියෙක්.
සාජි....වරෙක මගේ ගුරුතුමාට..
සුවබර දිගු නින්දක් පතමි.

- සිතන්නා