Pages

Thursday, 25 July 2024

බාහු සර්....බාහු සහෝදරයා...!! සුබ රාත්‍රියක්.....!!!

 සහෝදරයා කියා ඇමතූ මගේ එකම ගුරුවරයා....

ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න කාලවකවානු තුනකදී මට මුණ ගැසී ඇති අයුරු සිහිපත් වුණා.
පළමුව ආචාර්යවරයෙකු ලෙස පේරාදෙනිය විශ්වවිද්‍යාලයේදී.
දෙවනුව වාර්තා විචිත්‍රාංගයක් සඳහා එතුමන්ගේ සම්මුඛ සාකච්ඡාවක් ලබා ගැනීමට නිවහනට ගිය විට.
තෙවනුව කොළඹ මහවැලි කේන්ද්‍ද්‍ර පැවැති පොතක් එළිදැක්වීමේ අවස්ථාවකදී.

අප විශ්වවිද්‍යාලයට යන විට එතුමන්ගේ වැඩ තහනම් කොට තිබුණා. ඒ එවකට ජනාධිපති ජේ.ආර්. බලහත්කාරයෙන් ජනාධිපති ලෙස පත්වීමට විරුද්ධව විශ්වවිද්‍යාලයේ හා ඉන් පිටත කළු කොඩි දැමීමට මූලික වීම නිසා. ඒත් සති කිහිපයකට තහනම ඉවත් කළ බැවින් අපට එතුමන්ගේ දේශන කීපයකට සහභාගි වෙන්න ලැබුණා. ප්‍රතාපවත්, හැන්ඩ්සම් ගුරුවරයා අපේ සිත් ගත්තා. ඇරත් ඔහු දුෂ්ඨ පාලකයෙකුට අභියෝග කළ වීරයෙක්.
වික්‍රමබාහු කරුණාරත්න පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිය ලබා බ්‍රිතාන්‍යයේ කේම්බ්‍බ්‍රි විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගත් අයෙක්. එතුමන් පූර්ණකාලීන දේශපාලනයේ නොයෙදී විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස සේවය කළේ නම් වඩාත් ඉහළ සේවයක් ඉටු වන්නට තිබුණා නොවේදැයි මා ප්‍රශ්න කළොත්, ඒ ප්‍රශ්නය විවාදසම්පන්න විය හැකියි.
පේරාදෙනිය ඉංජිනේරු පීඨයේ කීර්තිමත් මහාචාර්ය මුණිදාස පී. රණවීර ගුරුතුමා පිළිබඳ 2009 වසරේදී මා අධ්‍යක්ෂණය කළ වාර්තා විචිත්‍රාංගයකට, එතුමන් සමඟ එකට අධ්‍යාපනය හැදෑරූ ආචාර්ය වික්‍්‍රමබාහු කරුණාරත්නගේ සම්මුඛ සාකච්ඡාවක් රූ ගත කිරීමට මා "බාහු" ගේ නිවහනට,"වලව්වට" ගිය අවස්ථාවේදී තමයි මට එතුමන් හා සමීපව බොහෝ දේ කතාබහ කරන්නට ඉඩ ලැබුණේ.
බාහු හරිම නිරහංකාරයි. ඒ වගේම දැඩි මතධාරියෙක්. ඒ එතුමන්ගේ හැටි. බාහුගේ දේශපාලනය හා මගේ එකඟතා, නො එකඟතා වෙතත් එතුමන් වෙත මා තුළ කවදත් ගෞරවයක් තියෙනවා.
අපි එතුමන් හැඳිවූයේ බාහු කියා නිසා මාත් බාහුම කියන්නම්. බාහු අපට සහෝදරයා කියා අමතද්දී සාමාන්‍යයෙන් "සර්" යනුවෙන් අමතන සරසවි ඇදුරාට මාත් සහෝදරයා කිව්වා. ඒ තමයි "සහෝදරයා" වූ මගේ එකම ගුරුතුමා.
මට බාහු අවසන් වරට සම්මුඛ වූයේ දැනට වසර කීපයකට පෙර ජවිපෙ හිටපු ලේකම් ලයනල් බෝපගේ සහෝදරයාගේ පොතක් එළිදක්වන අවස්ථාවේදී.
මේ සමඟ පළවන ලාල්කාන්ත, පුබුදු ජයගොඩ සහෝදරයින් එක්ක බාහු සහෝදරයා පෙනී ඉන්න සේයාරුවත් ඓතිහාසිකයි. ඒ දේශපාලනිකව වෙනස් මඟ යන තුන්දෙනා එකට පෙනී සිටින නිසයි.
වික්‍රමබාහු කරුණාරත්න "සර්..",
බාහු "සහෝදරයා"
ඔබතුමන්ට මගේ ආචාරය...!
මේ වීඩියෝව වාර්තා විචිත්‍රාංගයෙන් උපුටා ගත්තක්.

-සිතන්නා-

Wednesday, 17 July 2024

කොටි ප්‍රහාරවලට මැදිව

 

පිට පළමු පුහුණුව සඳහා යන්නට සිදු වූයේ ත්‍රිකුණාමලය නාවික තටාකාංගනය නුදුරේ පිහිටි කැලෑ දූපතකටයි. දවසක් කැලේ ගත කරන්නට සිදුවන හෙයින් අවශ්‍ය වතුර සහ කෑම අප රැගෙන ගියා. අපිට ලැබුණේ වතුර බෝතලයක් සහ බිස්කට් පැකට් එකක් පමණයි. කැ හමුදා ක්‍රියාන්විතයකට අවශ්‍ය හමුදා ඇඳුම් ඇඟලාගෙන, හැවර්සැක් (haversack) එකේ උණ්ඩ පිරවූ මැගසින් (magazine) රඳවාගෙන, ටී-56 ස්වයංක්‍රිය ගිනි අවියක් කරේ එල්ලා ගෙන තටාකාංගනයේ ජැටියකින් අපි බෝට්ටු වලට නැංගා. කණ්ඩායම් කිහිපයක් ලෙස බෝට්ටු කිහිපයකින් රැගෙන ගිය අපව එම කැලෑ දූපත අද්දර නොගැඹුරු මුහුදේ තැන් තැන් වල අත හරිනු ලැබුවා. මාලිමා යන්ත්‍රය මගින් නිශ්චිත ස්ථානයක් සොයාගෙන පැමිණීම අපගේ ඉලක්කය වුණා. | +++++++++++++++++++++++++++++++ 
අපි සියලු දෙනාම පටවාගත් නාවික හමුදා ට්‍රක් රථ ත්‍රිකුණාමලය හබරණ පාරේ තඹලගමුව ආසන්නයේදී නැවැත්තුවා. කැලෑ පුහුණුවට අවශ්‍ය වන පරිදි බොඩි ආමර් යෙදූ හමුදා ඇඳුම් ඇඟලාගෙන, හැවර්සැක් (haversack) එකේ උණ්ඩ පිරවූ මැගසින් (magazine) දෙක බැගින් රඳවාගෙන, ටී-56 ස්වයංක්‍රිය ගිනි අවිය කරේ එල්ලාගෙන, බිස්කට් වැනි කෑම බීම වතුර බෝතල් රඳවා ගත් පැසක් එල්ලාගෙන තඹලගමුවෙන් උතුරු ප්‍රදේශයේ කැලෑවක් බලා අප පිටත් වුණේ සැබෑ මෙහෙයුමක යෙදෙන සෙබළුන් ආකාරයටයි. මේ ප්‍රදේශයේ විටින් විට කොටි සංවිධානය සහ හමුදාව අතර ගැටුම් ඇති වූ නිසා අපට තරමක් දුරට කල්පනාකාරීව ගමන් ගන්නට සිදු වුණා. ලුතිනන් කොමාන්ඩර් අබේසේන නිතරම අපට පැවසුවේ 
be vigilant කියායි. එකිනෙකා පසුපස එකිනෙකා වන්නට අප කැලෑව මැදින්‍ ගමන් කරද්දී පුහුණු වන සෙබළියන් පසුපසින් ඇදුණා. නියෝගයක් නොමැතිව ටී 56 ස්වයංක්‍රීය අවිය භාවිතා කිරීමට අවසර නැති වුවත්, ඒ වන විට අපට වෙඩි තැබීමේ පුහුණුව ලබාදී අවසන්. මැගසින් (magazine) එක ලෝඩ් කර, ඉලක්කය ගෙන ට්‍රිගරයට ඇඟිල්ල තබා උණ්ඩ වර්ෂාවක් නිකුත් කරන ආකාරය අපට පුහුණු කොට තිබුණා. මේ පුහුණුවේ විශේෂම අංගය වූයේ ප්‍රහාර එල්ල කිරීම නොව කැලෑව හරහා ගමන් කිරීමේදී ඇතිවන දුෂ්කරතා ජය ගනිමින් කෑම්ප් ගැසීමට පුරුදු කිරීමයි. ටෙන්ට් අටවාගෙන, ගිනිමැල ගසා ගෙන, නිදි වර්ජිතව මුර සේවා පවත්වා ගෙන යමින් ආරක්ෂාකාරී වෙමින් රාත්‍රිය ගත කිරීම සඳහා විශේෂ පුහුණුවක් අවශ්‍ය වුණා. ඒ සඳහා රාත්‍රිය වන විට ලුතිනන් කොමාණ්ඩර් බහා(ර්)ද පැමිණ සිටියා. +++++++++++++++++++++++++++++++++++++++ 
වෙඩි වරුසා මැද නිවාඩුවට ගමේ ආ අවස්ථා බොහොමයක් වුණත් එකිනෙකට වෙනස් අවස්ථා තුනක් ගැන පමණක් සඳහන් කරන්න හිතුවා. මුහුදු ආවේක්ෂණ කලාපයේ නැව් වලට අනුයුක්ත වී සිටිද්දී නාවික හමුදා නිලධාරියෙකුට නිවාඩු ලබා ගම රට බලා ඒමේ ක්‍රම කිහිපයක් තිබුණා. නිලධාරියෙකුට කියා මා විශේෂයෙන් සඳහන් කළේ නාවික සෙබළෙකුට නැතහොත් නැවියෙකුට සාමාන්‍යයෙන් නිවාඩු එන්නට සිද්ධ වුණේ ත්‍රිකුණාමලය නාවික තටාකාංගයන බලා එන යාත්‍රාවකින් පැමිණ එහි සිට ගොඩබිමින් කොළඹට එන Convoy එකකින් පැමිණීම මගින් නිසයි. කොන්වෝයි එකක ආයුධ සන්නද්ධ ආරක්ෂක සෙබළුන් රැගත් ට්‍රක් හා ජීප් රථ වලින් සමන්විත බස් රථ කිහිපයක් වූවා. නිලධාරීන් වැඩි වශයෙන් කොළඹ බලා පැමිණියේ ගුවන් මගින්. ඒ පලාලි හෝ ත්‍රිකුණාමලය චයින බේ ගුවන් කඳවුරු වල පිහිටි ගුවන් පථ හරහායි. ගුවන් යානයක ආසනයක් වෙන් කර ගන්නට ඉඩක් නොලැබුණු හදිසි අවශ්‍යතා වලදී නිලධාරීන්ටද කොන්වෝයි එකකින් කොළඹට එන්නට සිදු වුණා. කො‍‍හොමත් අප එවකට කණිෂ්ට නිලධාරීන් වූ බැවින් කල් තබා වෙන් කොටගෙන නොතිබුණේ නම් ගුවන් යානයක ඉඩ ලබා ගැනීම පහසු වුණේ නැහැ. ඊට හේතුව යුධ, නාවික හා ගුවන් හමුදා නිලධාරීන් පෞද්ගලික මෙන්ම රාජකාරි අවශ්‍යතා සඳහා නිරන්තරයෙන් කොළඹ බලා පියාසර කළ නිසයි.

තවත් අත්දැකීම් මෙවර කතා කෝච්චියෙන් අහන්න...


- සිතන්නා