Pages

Thursday 25 July 2024

බාහු සර්....බාහු සහෝදරයා...!! සුබ රාත්‍රියක්.....!!!

 සහෝදරයා කියා ඇමතූ මගේ එකම ගුරුවරයා....

ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න කාලවකවානු තුනකදී මට මුණ ගැසී ඇති අයුරු සිහිපත් වුණා.
පළමුව ආචාර්යවරයෙකු ලෙස පේරාදෙනිය විශ්වවිද්‍යාලයේදී.
දෙවනුව වාර්තා විචිත්‍රාංගයක් සඳහා එතුමන්ගේ සම්මුඛ සාකච්ඡාවක් ලබා ගැනීමට නිවහනට ගිය විට.
තෙවනුව කොළඹ මහවැලි කේන්ද්‍ද්‍ර පැවැති පොතක් එළිදැක්වීමේ අවස්ථාවකදී.

අප විශ්වවිද්‍යාලයට යන විට එතුමන්ගේ වැඩ තහනම් කොට තිබුණා. ඒ එවකට ජනාධිපති ජේ.ආර්. බලහත්කාරයෙන් ජනාධිපති ලෙස පත්වීමට විරුද්ධව විශ්වවිද්‍යාලයේ හා ඉන් පිටත කළු කොඩි දැමීමට මූලික වීම නිසා. ඒත් සති කිහිපයකට තහනම ඉවත් කළ බැවින් අපට එතුමන්ගේ දේශන කීපයකට සහභාගි වෙන්න ලැබුණා. ප්‍රතාපවත්, හැන්ඩ්සම් ගුරුවරයා අපේ සිත් ගත්තා. ඇරත් ඔහු දුෂ්ඨ පාලකයෙකුට අභියෝග කළ වීරයෙක්.
වික්‍රමබාහු කරුණාරත්න පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිය ලබා බ්‍රිතාන්‍යයේ කේම්බ්‍බ්‍රි විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගත් අයෙක්. එතුමන් පූර්ණකාලීන දේශපාලනයේ නොයෙදී විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස සේවය කළේ නම් වඩාත් ඉහළ සේවයක් ඉටු වන්නට තිබුණා නොවේදැයි මා ප්‍රශ්න කළොත්, ඒ ප්‍රශ්නය විවාදසම්පන්න විය හැකියි.
පේරාදෙනිය ඉංජිනේරු පීඨයේ කීර්තිමත් මහාචාර්ය මුණිදාස පී. රණවීර ගුරුතුමා පිළිබඳ 2009 වසරේදී මා අධ්‍යක්ෂණය කළ වාර්තා විචිත්‍රාංගයකට, එතුමන් සමඟ එකට අධ්‍යාපනය හැදෑරූ ආචාර්ය වික්‍්‍රමබාහු කරුණාරත්නගේ සම්මුඛ සාකච්ඡාවක් රූ ගත කිරීමට මා "බාහු" ගේ නිවහනට,"වලව්වට" ගිය අවස්ථාවේදී තමයි මට එතුමන් හා සමීපව බොහෝ දේ කතාබහ කරන්නට ඉඩ ලැබුණේ.
බාහු හරිම නිරහංකාරයි. ඒ වගේම දැඩි මතධාරියෙක්. ඒ එතුමන්ගේ හැටි. බාහුගේ දේශපාලනය හා මගේ එකඟතා, නො එකඟතා වෙතත් එතුමන් වෙත මා තුළ කවදත් ගෞරවයක් තියෙනවා.
අපි එතුමන් හැඳිවූයේ බාහු කියා නිසා මාත් බාහුම කියන්නම්. බාහු අපට සහෝදරයා කියා අමතද්දී සාමාන්‍යයෙන් "සර්" යනුවෙන් අමතන සරසවි ඇදුරාට මාත් සහෝදරයා කිව්වා. ඒ තමයි "සහෝදරයා" වූ මගේ එකම ගුරුතුමා.
මට බාහු අවසන් වරට සම්මුඛ වූයේ දැනට වසර කීපයකට පෙර ජවිපෙ හිටපු ලේකම් ලයනල් බෝපගේ සහෝදරයාගේ පොතක් එළිදක්වන අවස්ථාවේදී.
මේ සමඟ පළවන ලාල්කාන්ත, පුබුදු ජයගොඩ සහෝදරයින් එක්ක බාහු සහෝදරයා පෙනී ඉන්න සේයාරුවත් ඓතිහාසිකයි. ඒ දේශපාලනිකව වෙනස් මඟ යන තුන්දෙනා එකට පෙනී සිටින නිසයි.
වික්‍රමබාහු කරුණාරත්න "සර්..",
බාහු "සහෝදරයා"
ඔබතුමන්ට මගේ ආචාරය...!
මේ වීඩියෝව වාර්තා විචිත්‍රාංගයෙන් උපුටා ගත්තක්.

-සිතන්නා-

No comments:

Post a Comment