Pages

Thursday 1 August 2024

සිරි ලංකාවේ පගාව නීතිගත කරනු...!


රියැදුරු බලපත්‍ර අලුත් කරගත්ත වේරහැර මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේදී ලද අත්දැකීමක්.

ප්‍රසිද්ධියේ පගාව ඉල්ලීම, ප්‍රසිද්ධියේ පගාව ගැනීම හා අප වැනි දුරබැහැරින් පැමිණි රියැදුරන්ට කිසිදු රස්තියාදුවක් නැතිව පැය 2 1/2 ක් ඇතුළත නව රියැදුරු බලපත්‍ර කාඩ් ලබා දීම පිළිබඳ අංක 10 කවුන්ටරයේ සේවය කළ පගාලාභී නිලධාරිතුමාට ප්‍රසිද්ධියේ ස්තූති කිරීමට සවිස්තරාත්මකව ලියමි.

අප වැන්නන්ට මේ ක්‍රමවේදය පිළිපැදීමෙන් කිසිදු පෙර කාල වෙන් කිරීමකින් තොරව, පෝලිම් වල නොසිට, අඩුම තරමේ මුදල් කවුන්ටරයට හෝ නොගොස් රියැදුරු බලපත්‍ර කාඩ් එක ලබා ගැනීම ටොයිස් වැඩකි.
අපි දෙන්නාගේම රියැදුරු බලපත්‍ර එක්ස්පයර් වන්න තව ඇත්තේ දින කිහිපයක් නිසා online වේලාවක් වෙන් කොටගෙන නුගේගොඩ ආයතනයට ගොස් වෛද්‍ය සහතික ලබා ගන්නා විට වෙලාව උදෑසන 10 ට පමණ ඇත. එතැන අතරින් පතර පෝලිමෙන් පිට කීපදෙනෙක් ප්‍රසිද්ධියේ වෛද්‍ය පරීක්ෂණයට යොමු කළත් ඉන් අපට බාධාවක් නොවීය. ඒවා අහිංසක පෝලිම් පැනීම්ය. හැරත් ලංකාවේ පෝලිම් පනින්නෙ නැත්තේ කොහිද?
වේරහැර ගොස් බලපත්‍රය අලුත් කරගැනීමට online වේලාවක් වෙන් කරගැනීමේ දුරකථන අංකයක් සඳහන් පුවරුවක් දැක ඇමතුමක් ගත්තෙමි. එය මගින් වේලාවක් වෙන් කරගත හැක්කේ ඇමතුමෙන් එන උපදෙස් අනුව දුරකථනයේ බොත්තම් එබීමෙනි.

එසේ ඉල්ලුම් කිරීමේදී අප දෙදෙනාට ලැබුණේ පසු දින දහවල් 11.30 වේලාවයි.
දැන් කුමක් කරන්නද? ආපසු ගමේ ගොස් තවත් දවසක් නිවාඩු දමා පසුදා එනවාද? බිරිඳට පසුදා නිවාඩු ගත නොහැක. අකුරට වැඩ නිසා අනිවාර්යයෙන් පාසලේ සිටිය යුතුය.

අපි ඇවිදගෙන හයිලෙවල් පාරට ආවේ දෙගිඩියාවෙනි. "කෝකටත් ආපු එකේ වේරහැර ගිහිං බලමුදැ"යි ඇය ඇසුවාය.
එවිටම ත්‍රීවීලර් රියැදුරෙකු අප ඉදිරියේ සිට ගත්තේය.
"සර්...වේරහැරට යනව නං එන්න..."
"අපිට අද ඇපොයින්ට්මන්ට් එකක් නෑ.."
"මොන ඇපොයින්ට්මන්ට්ද සර්...මාත් එක්ක එන්න. පැය තුනෙන් අරං දෙන්නම්
කාඩ් එකම අරං දෙන්නං...යං..."
"ෂුවර්ද...අද ගන්න පුළුවන් ද.."
අයියෝ සර්..ටොයිස් වැඩක්. පොඩි ගාණක් යයි."
වේරහැර ලර්නර්ස් එකකට ඔහු අප රැගෙන ගියේය.
"නංගී..මේ දෙන්නට අදම ලැයිසන් ගන්නෝනෑ.."
ඇය අපට හිඳගන්නැයි කීවාය.
"කීයක් ඕනෙද?"
"එතෙන්ට එකකට 5000/= විතර වෙනවා. දෙකටම විස්සක් දෙන්න...දවල් 3 ට කලිං කාඩ් එක දෙන්නම්. "
"ඔන් ලයින් තියෙන්නෙ 2200/= කියලනෙ.."
මා මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෙබ් පිටුවෙන් දැක තිබුණේ 2200 ලෙසය.
"අයියෝ සර්..දැන් ගාන වැඩි වෙලා. තාම වෙබ් එක update කරල නෑ.."
අපි ත්‍රීවීලර් ගාස්තුව ගෙවා ලර්නර්ස් කඩෙන් පිටතට පැමිණ සාකච්ඡා කළෙමු.
"අපි කෝකටත් කෙලින්ම යන්න පුළුවන් ද බලමුද..මේ ගොල්ලන්ට පගාව 10000/= ක් දෙන්නෙ මොකටද? බැරි වුණොත් වෙන දවසක එමු.
"ඔයාගෙ ලයිසන් එක තව දවස් දෙකයි නේද වලංගු?"
ප්‍රධාන ගේට්ටුව අසල මිනිස් පොදියකි. ඒ අතරින් රිංගා ගෙන ආරක්ෂක දොරටුව වෙත ළඟා වීමු.
"කොහෙද යන්නෙ?" ආරක්ෂක බලධරයා විමසීය.
"ලයිසන් අලුත් කරගන්න..."
"කෝ..ඇපොයින්මන්ට් මෙසේජ් එක ?"
""අද ඇපොයින්ට්මන්ට් නෑ..ඇපොයින්ට්මන්ට් නැති පෝළිමක් නැද්ද"
"ඇපොයින්ට්මන්ට් නැතිව කිසි කෙනෙකුට යන්න බෑ..ගියත් වැඩකුත් නෑ. ලැයිසන් දෙන්නෑ..හා..හා..පස්සට..
පස්සට.."
"ඔයාටනෙ එන්න අමාරු ...ඒ හංදා 5000/= පගාව දීලා ලර්නර්ස් එකෙන් ගනිමු. මං හෙට ඇවිත් කට්ට කාලා මගෙ එක ගන්නම්. "
අපි දෙන්නා දෙස බලා සිටි මහතෙකුට මේ දෙබස ඇසිණි.
"ලර්නර්ස් යන්නෝනැ නෑ..ඊට අඩුවෙන් පුළුවන් ..මගෙ දුවත් ඇතුළට ගියා. එනකල් මං ඉන්නෙ. අර පෙට්ටි කඩේ අම්මට කියන්න..වැඩේ කරල දෙයි."
අපි අහිංසක අම්මා කෙනෙක් වෙත ගියෙමු.
"අපි දුරබැහැර ඉඳං ආවේ..."
"දැන් දහයමාරත් වෙලා නේද..කෝ..එන්නකෝ බලමු..තව කෝට එක ඉතිරිද කියලා.."
ඇය අප හෙල්මට් බාරගන්නා බයික් පාක් එකේ මල්ලී වෙත කැඳවාගෙන ගියාය.
"අනේ...මේක කරල දෙන්න බලන්න. දුරින් ආපු දෙන්නෙක්.."
හෙල්මට් කඩේ මල්ලී ලැයිසන් දෙක පරීක්ෂා කළේය.
"හරි..වැඩේ කරල දෙන්නම්. දෙක්ක නිසා දාහතක් දෙන්න..."
ලර්නර්ස්ට වඩා තුන් දාහක් ලාබය. එක්කෙනෙකුට පගාව 3500/= කි. හෙට එන්න ගියොත් මග වියදම් හා කෑමබීමට යන ගාන එක්ක 3500/= ලාබය. එය අපට වාසියකි. හැරත් දෙන්නාටම නිවාඩු දාන්න වෙයි.

මං තෙපරබාද්දී "හරි කරල දෙන්න.." පවනී කිව්වාය.
"කාඩ් ලැබෙනව නේද..කොළේ නොවෙයිනෙ.." විමසීමි.
"කාඩ්..කාඩ්..ඇපොයින්ට්මන්ට් දාල ගියත් මේ වෙලාවට කාඩ් දෙන්නෑ. දවසට කාඩ් 150 යි දෙන්නෙ. ඒකට පාන්දර එන්නෝනෑ..කිසිදේකට බය වෙන්නෙපා. මං මෙතන ඉන්නවනේ..දැන් 11 ට කිට්ටුයිනෙ. දවල් දෙකට කලිං අරන් දෙන්නම්.."

මම සල්ලි අදින්නට වීමි.
"නෑ..මට එපා..මහත්තය 070..........නොම්මරේට කෝල් එකක් අරං දෙන්න.."
ඉන් පසු සියල්ල සිදු වුණේ දැඩි කාර්යක්ෂමතාවකිනි.
මගේ දුරකථනයෙන් කතා කළ හෙල්මට් මල්ලී නෝනයි, මහත්තයයි දෙන්නෙක් එවනව. කැන්ටිම ගාවට කීවේය.
කැන්ටිමට ගොස් යළි ඇමතුමක් ගන්නැයි උපදෙස් දුන් හේ "ගේට්ටුවට කියන්න හෙල්මල් කඩේ මල්ලි එව්වෙ කියලා. යන්න දෙයි" පැවසීය.
"හා..හා..කොහෙද යන්නෙ..කෝ ඇපොයින්ට්මන්ට් .."
"හෙල්මට් කඩේ..." කියන විටන "හරි මහත්තයලා..යන්න.."
කැන්ටිම අසලට ගොස් කෝල් කළෙමි. කැන්ටිම ඇතුළට එන්නැයි උපදෙස් ලැබිණ. ටිකකින් මට ඇමතුමක් ආවේය. "කෝ..කොතනද...?"
මම වටපිට බැලීමි. දුරකථනය කනේ තබාගෙන සිටි කෙසඟ, නූස්, කාල වර්ණ.......මහතා අප වෙත ආවේය.
"හෙල්මට් කඩෙන්ද එව්වෙ?"
"ඔව්.."
"සල්ලි දෙන්න.."
ප්‍රසිද්ධියේ ඔහු මුදල් ගත්තේය.
"දැන් මං පස්සෙන් එන්න. මහත්තය ගාවට ගෙනියන්නම්. ආයෙ කාටවත් සල්ලි දෙන්න අවශ්‍ය නෑ..වැඩේ කෙරෙයි.."
ඔහු පසු පස අභ්‍යන්තර ගේට්ටුවෙන් යද්දී ආරක්ෂක නිලධාරීන් සිටියේ අහක බලා ගෙනය.
අප අංක 10 කුටිය ඉදිරියේ වාඩි කළ ඔහු මාස්ක් එකක් පැළඳ සිටි ඒ මහතා වෙත ගොස් මුදල් දුන්නේය. අපව පෙන්වූයේය.
"කතා කළාම යන්න. කතා නොකළොත් ටිකකින් ගිහිං ............මහත්තයා එව්ව කියන්න.."
ටිකකින් අංක 10 කුටියේ පගාලාභී මහතා මා දෙස බලා හිස සන් කළේය.
ඉන් පසු මිනිත්තු 15 ඇතුළත සියල්ල සිදු විය. අත්සන් ගැනිණ. ස්කෑන් කෙරිණ. ෆොටෝ ගැනිණ. අප වාඩිලා සිටියදී කාකාස මහතෙක් ලියකියවිලි වැඩ නිමා කළේය.
මම අංක 10 කිටියේ පගාලාභී මහතාගේ පැහැදිලි ෆොටෝ එකක් ෆෝන් කැමරාව සූම් කොට ගතිමි.
අවසානයේ පගාලාභී නිලධාරි මහතා අප කැඳවීය.
"සේරම හරි. පැය 2 1/2 කින් ඉස්සරහ කවුන්ටරෙන් කාඩ් දෙක ගන්න.."
හරියටම 2.30 වෙද්දී අපි අදාළ කවුන්ටරයට ගියෙමු. කාඩ් දෙක බැබලි බැබලී අප එන තුරු කවරයක බහා රඳවා තිබිණ.
.................හිස්තැන් දුරකථන අංකය, මහතාගේ නම හා සේයාරුව මා ප්‍රසිද්ධ කරන්නේ නැත. මේ එක් පගාලාභී මහතෙකි. එක් ජාලයකි. ඒ නිසා එක් පුද්ගලයෙක් දඬුකඳේ නොගසමි. පැමිණිළි නොකරමි. අපට රු. 3000/- ලාබ වීමේ සතුට භුක්ති විඳිමි.
එන ගමන් පෙට්ටි කඩේ අම්මාට ස්තූති කළෙමි.
"වැඩේ කරගත්ත නේ...හොඳයි..ගිහිං එන්න"
"අම්මට ඒගොල්ලො ගානක් දෙනව ඇතිනේ.."
"අනේ නෑ මහත්තයෝ...එහෙම ගානක් කියල ලැබෙන්නෙ නෑ..කීයක් හරි දුන්නොත් ගන්නවා."
මම ඇයට රු. 500/= ක් අත මිට මෙළවූයෙමි.
"මං බත් එකක් අරං කනවා..අයිස්ක්‍ක්‍රී එකක් එක්ක" ඇය අහිංසකව සිනාසුණාය.
මගේ යෝජනාව පගාව නීතිගත කරන ලෙසය. එවිට කාර්යක්ෂම සේවයක් සැලසේ. පාරිභෝගිකයා රස්තියාදු නොවේ. පගාව නීතිගත කොට ඊට "පගා බද්දක්" අය කිරීමෙන් රජයට ආදායමක්ද ලැබේ.
පගාව නීතිගත කරනු..!
ඒ වගත් මෙසේම..
හෙන්රි වර්ණකුලසූරිය

No comments:

Post a Comment