Pages

Tuesday, 21 January 2025

සිංහල සිනමාවේ සංවත්සර දිනය වෙනස් වෙන්න තිබුණා....

 වැරැදි මගක නොගියා නම් සිංහල සිනමාවේ සංවත්සර දිනය වෙනස් වෙන්න තිබුණා....

ප්‍රථම සිංහල කතානාද වෘතාන්ත චිත්‍රපටය 1947 ජනවාරි 21 වැනිදා තිරගත වීම ඇරැඹුණද සිංහල සිනමාවේ ආරම්භය ඉන් එහාට දිවෙනවා. ඒ නිසා ජනවාරි 21 සංවත්සර දිනය වීම අහම්බයකටත් වඩා තරඟයක යෙදීමේ හා ජයග්‍රහණය කිරීමේ මෙන්ම තරඟයකදී එකිනෙකා පරයා යන්නට විවිධ අලකලංචි සිදුවීම ගැන ඉඟි කරනවා.


පළමු සිංහල චිත්‍රපටය (එකල හැඳින්වූයේ බයිස්කෝප් ලෙසිනි.) නිෂ්පාදනය ආරම්භ වූයේ 1923 දී. එනම් පළමු සිංහල කතානාද චිත්‍රපටය ලෙස සම්භාවනාවට පාත්‍ර වන "කඩවුණු පොරොන්දුව" තිරගත වීමට වසර 24 කට පෙරදී.


ඒ "රාජකීය වික්‍රමය"යි. මෙහි ප්‍රධාන චරිතය රඟපෑවේ එවකට සුරූපී තරුණයා තේරීමේ තරගයකින් පළමු තැන දිනාගත් එන්.එම්. පෙරේරා සහ සිබිල් ජිම් නම් තරුණියයි. ග්‍රේෂන් පෙරේරා, එරික් වීරසේකර, එන්.පී.ඩී. ඇල්බට් සිල්වා, රෙජිනෝල්ඩ් පෙරේරා, පර්සි පෙරේරා සහ ඩේවිඩ් මැනුවෙල් මෙහි රඟපෑවා. ‘රාජකීය වික්‍රමය’ චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු මාස හයකදී අවසන් වුණා. නූර්බායි නමැත්තෙකු නිෂ්පාදනය කළ මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ දකුණු ඉන්දීය කැමරාශිල්පී ගුප්ත යි.

"රාජකීය වික්‍රමය " චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂක වරයා ලෙස ප්‍රසිද්ධ සිතුවම් ශිල්පියෙකු වූ සාර්ලිස් මාස්ටර් කටයුතු කර ඇති අතර සහය කලා අධ්‍යක්ෂක ලෙස ජී . ඇස් ප්‍රනාන්දු කටයුතු කර තිබෙනවා . කෙසේ වුවත් ප්‍රථම නිහඬ සිංහල චිත්‍රපටය ලංකාවේ ජනතාවට නැරඹීමට ලැබුණේ නැහැ.

ප්‍රථමවරට නිෂ්පාදනය කළ සිංහල චිත්‍රපටය වූ "රාජකීය වික්‍රමය" බොම්බාය අවට නගරවලදීත්, සිංගප්පූරුවේත් ප්‍රදර්ශනය කිරීමෙන් පසුව ලංකාවට ගෙන ඒමට පෙර ඇතිවූ හදිසි ගින්නකින් දැවී පිලිස්සී ගියේ කුමන්ත්‍රණයකින් බවයි ලේඛන වල සඳහන් වන්නේ. කෙසේ වෙතත් මෙය ලංකාවේ ජනතාවට දැක බලා ගැනීමට නොහැකි වීම ලංකාවේ සිනමා ඉතිහාස් සිදු වූ අවාසනාවන්තම සිදුවීමක්.


එසේ නොවන්නට සිංහල සිනමාවේ සංවත්සර දිනය වෙනස් වෙන්නට තිබුණා වගේම ඒ ඉතිහාසය 1924-25 වසර දක්වා දිව යන්නටත් ඉඩ තිබුණා.

ඒ ලෝක සිනමාවේ චාලි චැප්ලින්ගේ "The Gold Rush", සර්ජි අයිසන්සටයින් ගේ "Battleship Potemkin", ආන්ස්ට් ලූබිච් ගේ "The Marriage Circle", හෙන්රි කිංග් ගේ "Stella Dallas", ෆ්‍රිට්ස් ලෑන්ග් ගේ "Die Nibelungen" වැනි චිත්‍රපට තිරගත වූ කාලයයි.

ඉන් පසුව ෂන්මුගම් චිත්‍රපට නිෂ්පාදන සමාගම 1946 දී එන්. තුරෙයිසිංහම්ගේ අධ්‍යක්ෂණයෙන් යුතුව ‘දිව්‍ය ප්‍රේමය’ නමැති චිත්‍රපටය නිපදවීමට පටන් ගත්තා. . එහි රඟපාන්නට. සී. බී. විජේසිංහ, ඕගන් රුද්‍රිගු, ටී.එල්. සිමියොන් ද සිල්වා, විමලා කාන්ති, කමලා කාන්ති තෝරාගෙන ඉංදියාවට ගියත් නිෂ්පාදන කටයුතු සිදු වුණේ ඉතා හෙමින්.


ඒ වන විට දර්ශන වාර අටසීයක් වේදිකා ගත කර තිබූ මීගමු, මිනර්වා නාට්‍ය කණ්ඩායමේ ‘කඩවුණු පොරොන්දුව’ නාට්‍යය සිනමාවට නැගීමට එස්.එම්. නායගම් උනන්දු වුණේ නාට්‍යයේ ජනප්‍රියත්වය ගැන සලකායි. ඒ අනුව ‘කඩවුණු පොරොන්දුව’ චිත්‍රපටගත කිරීම 1946 දී දකුණු ඉන්දියාවේ මදුර නගරයේදී ආරම්භ කළා. රුක්මනී දේවි, බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න, එඩී. ජයමාන්න ඇතුළු ශිල්පීහු රඟපෑ ජොතිශ් සිංහගේ අධ්‍යක්ෂණයක් වූ "කඩවුණු පොරොන්දුව" එස්.එම්. නායගම්ගේ නිෂ්පාදනයක්.


කෙසේ වෙතත් ප්‍රථම සිංහල කතානාද චිත්‍රපටය සඳහා වූ තියුණු තරගයෙන් ජයගන්නේ "කඩවුණු පොරොන්දුව"යි. 1947 ජනවාරි 21 වැනිදා කොළඹ කිංස්ලි සිනමාහලේදී "කඩවුණු පොරොන්දුව" මංගල දර්ශනය පවත්වනු ලැබුවා.

එහෙයින්ම ප්‍රදර්ශනය වූ ප්‍රථම සිංහල චිත්‍රපටය නාඩගම්, නාට්‍ය ලක්ෂණ පිළිබිඹු කළා. මා දකින්නේ සිංහල සිනමාව වැරැදි මගක ගමන් කරන්නට පටන් ගත්තේ එදා සිටම බවයි.


මේ කාලයේදීම ගාඩිනර් ඉන්දියාවේ කොයිම්බතුර්හි සෙන්ට්‍රල් චිත්‍රාගාරයේ "අශෝකමාලා" රූගත කිරීම කළත් ‘අශෝකමාලා’ දෙවැනි සිංහල චිත්‍රපටය ලෙස තිරගත කළේ 1947 අප්‍රේල් 09 වැනිදා. ‘සාලිය හා අශෝකමාලා’ කතා පුවත ඇසුරින් "අසෝකමාලා" තිරනාටකය ලිව්වේ ශාන්ති කුමාර් සෙනෙවිරත්නයි. අශෝකමාලා ලෙස එමලින් දිඹුලානත්, සාලිය කුමරු ලෙස ශාන්ති කුමාර් සෙනෙවිරත්නත් රඟපෑ ගී තනු ඇතුළත් වූ "අශෝකමාලා" චිත්‍රපටයේ සංගීතය අධ්‍යක්ෂණය කළේ මොහොමඩ් ගවුස්.

ශ්‍රී ලාංකිකයකු වූ ශාන්ති කුමාර් සෙනෙවිරත්න අධ්‍යක්ෂණය කළ "අශෝකමාලා" චිත්‍රපටය ප්‍රථම ඓතිහාසික කතානාද චිත්‍රපටය ලෙස සිංහල සිනමා වංශකතාවේ සටහන් වූයේ නම් සිංහල සිනමා සංවත්සරය සමරන්න වෙන්නේ වෙනත් දිනයකයි.

එසේම එලෙස සිදු වූවා නම් ප්‍රථම සිංහල චිත්‍රපටය ඉංදීය මොඩලයේ බයිස්කෝප් එකක් වන්නේත් නැහැ.

-සිතන්නා-

Friday, 10 January 2025

කෝච්චි කතා දෙකක්...

 

කාලෙකට පස්සෙ කෝච්චියේ කොළඹ එද්දි කෝච්චි අත්දකීම්.

මං නගිද්දි එහෙන් මෙහෙන් සෙනඟ හිටගෙන උන්නා. තුන් දෙනා යන මුහුණට මුහුණ පිහිටි සීට් දෙකක මුසල්මානු කාන්තාවො 3 දෙනෙක්. දරුවො ඔඩොක්කුවේ තියාගෙන. බෑග් සීට් උඩ තියන්. බෑග් තියන උඩින් ඇති රාක්ක හිස්.


බෑග් අයින් කරල කාටවත් ඉඩ නොදී කයිය ගහගෙන යනවා. කවුරුත් සීට් එක දෙන්න කියන්නෑ. කාන්තාවොනෙ. අනෙක මුසල්මානුනෙ.

මට කොළඹ යනකල් හිටගෙන යන්න උවමනාවක් නැති නිසා එක සීට් එකක් ළඟ හිටගෙන බෑග් දිහා එබීගෙන රවාගෙන උන්නා.
බෑග් අයින් කරලා ඉඩ දුන්නේ බෑග් උඩින් දාල දෙන්නද කියල අහන්න හිතද්දිමයි.

අනෙක් සීට් එක තමයි ෆොටෝවෙ තියෙන්නේ. හිටන් ඉන්න අය බලනවා. ඉඩ දෙන්නෙම නෑ. එන්න එන්න සෙනඟ වැඩි වෙනවා. ටිකක් දුර යද්දි එක්කෙනෙක් ඇහුවා ඔය බෑග් තියන සීට් එකටත් ටිකට් අරං ද කියලා. ඔන්න බෑග් බිමිං තියලා ඉඩ දුන්නා.

++++++++++++++++++++++++++++++++++

අනෙක් ෆොටෝවෙ පේන්නෙ කෝච්චිවලට නැගල මියුසික් බෆල් දාගෙන ඔලුවට වද දෙන සංගීත හිඟන්නෝ. අපි සිංදු අහන්න ඕනෙ නම් අපිට ඕනෙ ඒව අහගන්නම්. උදේ පාන්දර ඝෝෂාවෙන් ඔළු අවුල් කරන්න එපා කියන්න කවුරුත් නෑ.



අඩුම තරමින් මේව උස්සන් නගිද්දි ස්ටේෂන් වලින්වත් නවත්තන්න බැරි ඇයි? මං දන්න තරමින් කෝච්චියේ හිඟා කෑම තහනම්.
මේවත් ක්ලීන් වෙන්න ඔළු හැදෙන්නෝනෑ.

-සිතන්නා-

Thursday, 2 January 2025

මේ ආණ්ඩුවේ හොඳම දේ දරුවන්ටද?


ස්නාහිර පළාතේ ගුරුවරුන්ට තම පාසල්වල ළමුන් සඳහා උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය යටතේ ඇති බස්නාහිර පළාත් අධ්‍යාපන කලාප අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් පසුගියදා නිකුත් කරනු ලැබුවා.

වත්මන් ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ඉක්බිතිව මාධ්‍ය හමුවේ පෙනී සිටිමින් කියා සිටියේ රජය අමාරුවේ දැමීමට නිලධාරීන් හිතාමතා ගත් තීරණය ආපසු හැරවීමට තමන් මැදිහත් වූ බවයි.

"අපි වගේ අයට අධ්‍යාපන කියන්නේ දරුවන්ට පියාපත් දෙනවා වගේ. තටු තිබුණොත් කොහාට ඉගිලෙන්න බැරිද?"

දැන් පාරාවළල්ලක් වී තියෙන්නේ මේ ආණ්ඩුවේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියයි. ලක්ෂ සංඛ්‍යාත දරුවන්ට පියාපත් ලැබෙන පරිදි නිදහස් අධ්‍යාපනය තහවුරු කිරීම අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ ප්‍රතිපත්තිය විය.

ටියුෂන් සීමාවන් පැනවීමට අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස හරිනි අමරසූරියගේ අමාත්‍යාංශය ගත් තීරණය මේ රටේ කිසිම රජයකට ගත නොහැකි වූ ඍජු තීරණයකි. එය ආපසු හැරවීම යනු දරුවන්ට පියාපත් ලබාදීම නොව අසරණ දරුවන්ගේ පියාපත් කැපීමයි. අනෙක් අතට මහින්දට අනුව බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් හරිනිගේ හිතුමතේට හොර රහසේ මෙම තීරණය ගෙන ඇතැයි කිව හැකිද?

අපේ රටේ නිදහස් අධ්‍යාපනය කළු ලෑල්ලක් පමණයි. මේ රටේ ආර්ථිකය විසින් පාසල්වල සිටින ගුරුවරුන් බහුතරයක් කළු කඩ මුදලාලිලා බවට පත් කර ඇති බව අපි දනිමු. ඉස්කෝලේ මිස්ගේ හවස පන්තියට යන්න බැරි ළමයාගේ ඉරණම මේ රටට නොරහසකි.

අභ්‍යාස පොතක් ඉවර වූ විට තවත් පොතක් ගන්න දඟලපු අම්මලා තාත්තලාගේ දරුවෝ ඔය ටියුෂන් ගුරුවරු නිසා විඳින දුක කවදාවත් ඉස්කෝලෙක ඉගැන්වූ නැති මහින්ද ජයසිංහ නොදන්නවා ඇති.

පාසලේදී සම්පූර්ණ කළ යුතු විෂය නිර්දේශය බොහෝ ගුරුවරුන් දරුවන්ට උගන්වන්නේ ටියුෂන් පංතියේදීය. ටියුෂන් ගත නොහැකි රටේ දරුවෝ අදක්ෂයෝ යැයි කියති.

වත්මන් ආර්ථිකය තුළ ගුරුවරුන්ට උපකාරක පන්ති සහනයක් වී ඇති බව සැබෑය. ඔවුන්ගේ වැටුප් විෂමතා ඉවත් කර වැටුප් වැඩිවීමක් කළ යුතු බව ඇත්ත. නමුත් රජයට ගෙවිය යුතු ණයක් වෙනුවෙන් ළමයින්ට බැන වැදීම අපරාධයකි.

මේ රටේ පාසල් යනු තනිකරම දූෂිත පද්ධතියකි. එක පැත්තකින් විදුහල්පති භීෂණයයි. දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේ දී මෙන්ම පළමු වසර හැර අතරතුර වසරක කාලයක් දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම, පාසල් මාරුවීම්වලදී ඔවුන් මෙහෙයවන විදුහල්පතිවරුන් වෙනම මාතෘකාවකි. පාසලක අතරමැදි පුරප්පාඩු සඳහා ළමයකු ඇතුළත් කරගැනීමට රුපියල් ලක්ෂ දෙක, තුන, හතර නොඉල්ලන විදුහල්පතිවරයකු සිටින පාසලකින් අබ ටිකක් සොයා ගත හැකිද යන්න සොයා බැලීමට වෙනම කමිටු පත් කළ යුතුය.

මෙවැනි මාෆියාවක් පාසල් තුළ ක්‍රියාත්මක වන වටපිටාවක බටහිර පාසල්වල ගුරුවරුන් තම පාසලේ සිසුන්ට ටියුෂන් දීම තහනම් කිරීමට ගත් තීරණය ප්‍රගතිශීලී පියවරක් විය. එය බස්නාහිර පළාතේ ආදර්ශයක් ලෙස අත්හදා බලා මුළු රටටම යෙදිය හැකිව තිබූ තීරණයකි.

තමන්ගේම පාසලේ දරුවන්ට ටියුෂන් නොදී දක්ෂ ගුරුවරයෙකුට පාඩුවක් නැත. කලාපයේ තවත් බොහෝ පාසල් තිබේ. වෙනත් පාසල්වල දරුවන්ට දක්ෂ ගුරුවරයකුගේ දැනුම ලබාගැනීම සඳහා ටියුෂන් අවශ්‍ය වේ.
එහෙම නැතුව ආණ්ඩුවෙන් පඩියක් අරගෙන තමන්ගේ පාසලේ දරුවන්ට ටියුෂන් පවත්වන්නට ගුරුවරු අයිතියක් ඉල්ලනවා නම් ඒක අමු වංචාවකි. නිරුවතින් පාරේ යෑම ඊට වඩා යහපත්ය.
(උපුටා ගැනීමකි.)

-සිතන්නා-