Pages

Friday, 21 February 2014

ගහපු පදයකුත් නැත්තේ...... බෙරේ පලුවකුත් නැත්තේ........


ටුකතාව ලියන්න කරුණු කාරණා කල්පනා කරමින් ඉන්නකොට වාලුකා කාන්තාරයේ ජීවත්වන දේශපාලන සත්ත්වයෙක් විද්‍යුත් තෑපෑලෙන් එවල තිබුණු ලියුම් කරදහියකට හිත ගියා.
කිසිම කැපීමකින් කෙටීමකින් තොරව ඒ ලිපිය “වාලුකා සිතුවිලි“ වලට එක්කොරන්නෙ මේ කතා බහ එක්ක සෙරන්ඩිබ් ඔටුවත් එකඟ වෙන හින්දයි ඕං.


     *                  *                  *                  *                  


ඔටූ......

මේ කතාබහ තනිකරම දේශපාලනිකයි. ඔටුකතාවට ගැලපෙනව නම් දාන එකයි ඇත්තෙ.

මං මෙහෙම පටන් ගන්නම්. දේශපාලන නායකයො බිහිවෙන්නෙ ජනතාව අතරින් කිව්වට ඒක එහෙමමයි කියල කොහොම පිළි ගන්නද? වෙලාවකට ජනතාවට බොහෝ ඈතින් ඉන්න අය පවා දේශපාලන නායකයන් වූ අවස්ථා තියෙනව.

ලංකාවෙ විතරක් නොවෙයි, කොයි රටෙත් එහෙම තමයි. නායකත්වය කරා ළං වෙන්නට තමන් වටා ගොඩ නගාගන්න සිවිල් මෙන්ම දේශපාලන බලය වගේම පෞද්ගලික නෑදෑ හිතවත්කම් පවා බලපානව.

බොහෝ දේශපාලන පක්ෂ වලට නායකයන් පත්කර ගන්නෙ ඒ ඒ පක්ෂ තුළින්ම පුද්ගලයන්ට නැගී එන්න ඉඩ සලසමින් කිව්වට සමහර අවස්ථා වලදි පක්ෂ නායකයාගෙ නැත්නම් තීන්දු තීරණ ගන්න ඉහළ පුටුවල ඉන්න ඈයින්ගෙ පෞද්ගලික උවමනා එපාකම් මත නායකත්වයට පුද්ගලයන් තෝරාගත් අවස්ථා එමටයි.

එක්සත් ජාතික පක්ෂයෙ පළමු නායකය වුණේ ඩී.එස්. සේනානයක උන්නැහෙ. ඒක ඉතිං කොම්ප්‍රදෝරු ධනපති පැලැන්තියෙ නියෝජිතයන්ගෙ එකඟතාවෙන් සිද්ධ වුණා කියමුකො. ඒත් ඩී.එස්. ගෙන් පස්සෙ ඩඩ්ලිට පක්ෂයෙ නායකකම ලැබුණෙ මොන ජනතා තේරීමක් නිසාවත් නොවෙයි, තමන්ගෙ පුතා වීම නිසා.

ඩඩ්ලිගෙන් පස්සෙ ජේ.ආර්. බලහත්කාරයෙන්ම පක්ෂයෙ නායකයා වුණා නෙව. ඒ ගමන නං හැට පැනල හොට බිම ඇනෙන කම්ම නායකකම අත ඇරියෙ නැ. ප්‍රේමදාසට නායකකම දුන්නෙත් නොදී බැරි කමටනෙ.

දැන් පේනවනෙ රනිල් වික්‍රමසිංහ උන්නැහෙත් නායකකම අත අරින්නෙ නැතිව බලා ඉන්න ලක.

මං මේ කියන්න ගියෙ නායකයා වෙනස් වුණාම පක්ෂයෙ මොන තරම් වෙනසක් පේන්න ගන්නවද කියලයි. 
පක්ෂවල ප්‍රතිපත්ති පවා අංශක 180 ක් හරවන්න අලුත් නායකයෙකුට පුළුවනි. 

දැක්කනෙ හැත්තෑ හතේදි ජේ. ආර්. උන්නැහෙ විවෘත ආර්ථිකයක් ගෙනල්ල එක්සත් ජාතික පක්ෂයෙ විතරක් නොවෙයි මුලු මහත් රටේම ගමන අනිත් පැත්ත හරෝපු හැටි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් මොකද වුණේ. බණ්ඩාරනායක උන්නැහේ “සිංහල පමණයි“ කියල ගෙනාව ජාතිවාදී රැල්ල සිරිමා ඒ විදියටම අරගෙන ගියේ නැහැනෙ. නැත්නම් ඒ කාලෙම රට දෙකට කැඩෙනවට මෙන්න කැට.....!

හැබැයි ඉතිං සිරිමත් ප්‍රාදුර්භූත වුණේ වලව්ව ඇතුළෙම ඉඳලම තමයි. නැතුව ජනතාව අතර ඉඳලයැ.

සිරිමා බණ්ඩාරනායක නායිකාව වුණාම පක්ෂයේ ගමන් මග එහෙම පිටින්ම වෙනස් වුණා. වාමාංශික පක්ෂ එක්ක සභාග ආණ්ඩු හදන්න පටන් ගත්ත.

සිරිමාගෙන් පස්සෙ පැරෂුට් එකකින් බැහැල වගේ නායකත්වය අතට ගත්ත චන්ද්‍රිකා ගියෙ වෙනම ගමනක්. කොහොමත් සිරිමාගෙ කාලෙ බොහොම ශක්තිමත්ව තිබුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යාන්ත්‍රනය චන්ද්‍රිකාගෙ කාලෙ දුර්වල වුණා නොවැ. චන්ද්‍රිකා රටේ ප්‍රශ්න ඔලුවට ගත්තෙ නැතිව වගේම රටේ ප්‍රශ්න ගැනත් සැලකිලිමත් වුණේ නැති තරම්.

කොහොමින් හරි පක්ෂයෙ නායකත්වයට මහින්ද ලොක්කා පත් වුණත් හරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ යන ගමන් මග ආයෙමත් වෙනස් වුණා. බණ්ඩාරනායක පරපුරට කත් ඇදපු පක්ෂය රාජපක්ෂවරුන්ගෙ බූදලයක් වුණා.

මෙයත් ලේසියෙන් යන පාටක් නැහැ නේද..?

මං මේ කියන්න යන කතාවට ඔය ටික ඌනපූරණ විදියට ගත්තට කාරි නැහැ.

එක්සත් ජාතික පක්ෂයයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි කියන්නෙ මාරුවෙන් මාරුවට රටේ ආංඩු බලය ලබා ගත්තු ධනපති පක්ෂ දෙකක්නෙ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වාමාංශික සායමක් තැවරුවට දෙකම එකයි. උනුත් එකයි මුනුත් එකයි කියල ජනතා විමුක්ති පෙරමුණ කෑමොර දුන්නු එකෙ වරදක් නෑ. ඒක තමයි ඇත්ත.

ඉතිං උනුත් එකයි මුනුත් එකයි කිව්ව ජවිපෙ මේ පක්ෂ වලින් එහැම පිටින්ම වෙනස් වෙන්න එපැයි. නායකයට වග කියන, ඒකාධිපති නායකයෙකුට හිතෙන හිතෙන තීන්දු තීරණ අරං පක්ෂය මෙහෙයවන්න ඉඩ ලැබෙන ක්‍රමයක් නොවෙන්න එපායැ ජවිපෙට තියෙන්නෙ. ජවිපෙ වෙනත් ධනපකි පක්ෂ වලින් වෙන් කරල අඳුන ගන්න පුළුවන් කාරණයත් මේකමනෙ.  
   
දේශපාලන මණ්ඩලයක්, මධ්‍යම කාරක සභාවක් පත් කරල ඒ හරහා තීන්දු තීරණ ගන්න පක්ෂයක් විදිහටනෙ ජනතා විමුක්ති පෙරමුණ රට ඉදිරියට එන්නෙ. 

රෝහණ විජේවීර නායකයා වුණත්, සෝමවංශ අමරසිංහ නායකයා වුණත් ක්‍රියාමාර්ග හා භාවිතයන් තනිවම තීන්දු කෙරෙන්නෙ නැහැනෙ.

ඒක නිසානෙ එදා වගේම අදත් ජවිපෙ එකම විදියේ අදහස් දරන අයගෙන් සමන්විත වෙන්නෙ. 

සෝමවංශ අමරසිංහ උන්නැහෙ නායකයා වුණා කියල එයාට ඉඩක් ලැබුණෙ නැහැනෙ තමන්ට ඕනැ හැටියට තීන්දු තීරණ අරගන්න.

එවැනි ඉතිහාසයක් තියෙන, හරි හෝ වැරදි හෝ වේවා කිසියම් නිශ්චිත වැඩපිළිවෙළක් මත තීන්දු තීරණ ගන්න ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය අනුර කුමාර දිසානායක කොලුවට ගියාම මොකද මන්දා කට්ටිය මේ තරම් උඩ පනින්න ගත්තෙ.

“ නව නැම්මක්“, “නව රැල්ලක්“, “නව පිබිදීමක්“ ,“ කොන්ද පණ ඇති නායකයෙක්“ යනාදී වශයෙන් අනුර කුමාරගේ නායකත්වය යටතේ අලුත් ගමනක් යන්නට ජවිපෙට සුබ පැතුව හැමෝම නොහිතපු දෙයක් තියෙනව.

ඒ තමයි අනුර කුමාර දිසානායක ආවා කියල අලුතෙන් කරන්න පුළුවන් කෙංගෙඩියක් නැති බව. අනුර ආවම දේශපාලන මණ්ඩලය විසුරුවා හරින්න පුළුවනිද? මධ්‍යම කාරක සභාව අහෝසි කරල දාන්න පුළුවනිද?

ආයෙමත් තීන්දු තීරණ ගන්නෙ, ක්‍රියාමාර්ග තෝරන්නෙ ඔය මෙච්චර කාලයක් තිබුණු මණ්ඩල, සභාම තමයි. අනුරට තියෙන්නෙ ඒවා ක්‍රියාත්මක කරන්නයි.

ඉතිං ඒ හින්දා මේවා නොදනුවත්කමට කියන කතා. ෆේස්බුක් එක පිරෙන්න අනුරට සුබ පැතූ උදවිය අනියම් විදියට නොකිය කිව්වෙ සෝමවංශ දුර්වල නායකයෙක් බවද? ඔන්න දැන් ජවිපෙට ජව සම්පන්න නායකයෙක් ලැබුණ කියන එකද?

ඔටූ ........
මට කියන්න තියෙන්නෙ එක්කො කට්ටියට වැරදිලා. නැත්නම් දැන දැන ගොං පාට් කෙළිනව නිකං ත්‍රිල් එකට.

අනුර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නායකයා වුණා කියල අමුතුවෙන් මොනවත් පක්ෂයට වෙන්නෙ නැහැ.

කොහොමත් ඒ කොලුවමනෙ පහුගිය කාලෙත් සෝමවංශ උන්නැහේව ඉස්සරහට දාගෙන තිරය පිටිපස්සෙ ඉදන් නායක කමේ වැඩ බැලුවෙ. දැන් සිද්ධ වුණේ වේදිකාවෙ තිරය, මං කියන්නෙ මේ..... රෙද්ද ගලවපු එක විතරයි.

ආයෙත් දවසක මෙහෙම කතා බහක් කරන්න හිතුනම කඩංපාත්

වෙන්නංකො. 

එතෙක් ආයූබෝ වේවා...........!

*             *                  *                  *                  *

ඔන්න ඔහොම තමයි ආයිබං සෙරෙන්ඩිබ් ඔටුවා දන්න හඳුනන දේශපාලන සත්ත්වයෙක් ඔටු කතාවක් ලියල එවල තිබ්බේ.
හීං සීරුවේ කම්පනාවට ගන්නකොට මේ කතාවෙත් ඇත්තක් නැත්තෙම නෑ කියලයි ඔටුවට හිතෙන්නෙ ඕං.
 ඒ හිංදම තමයි අකුරක්වත් කපන්නෙ නැතිව මේ වංගියෙ “වාලුකා සිතුවිලි“ වලට මේ කතාව ගෙඩි පිටින්ම රිංගව ගත්තෙ.
 බලමුකො ඒකෙත් හැටි ආ............



ගහපු පදයකුත් නැත........!

බෙරේ පලුවකුත් නැත.........!!







සෙස්ස පස්සට ෴ 
- සෙරන්ඩිබ් ඔටුවා  








පසු සටහන:  සෙරන්ඩිබ් ඔටුවට පෞද්ගලිකව යමක් ලියන්න, 
වාලුකා කාන්තාරෙ සිද්ධ වෙන තොරතුරු ටිකක් එවන්න,
සමාජ ප්‍රශ්න ගැන හිතෙන යමක් ලියන්න 
කැමති ඇත්තො ඉන්නව නං මෙන්න email ලිපිනය.

otukatha@gmail.com

පෞද්ගලිකව  තොරතුරු එවන අය ගැන 
එළිදරව් කරන්නෙ නං නෑමයි ...ඕං.....

12 comments:

  1. ඇත්තටම ඔය කතාව 100% හරි නොවැ නිවීසැනසිල්ලෙ මේ ලිපිය කියවනකොට තමා නාට්‍යකාරයටත් ඒක තේරුනේ.. මොනවා උනත් පන්කාදු ලිපිය.. බොහොම ස්තූතියි මේවා කියලා දෙනවට

    ReplyDelete
    Replies
    1. පාට කන්නාඩි දාන්නෙ නැතිව නිවීසැනසිල්ලෙ මේ ඔටුකතාව නියවපු එක ගැනත් ඒ බව නිර්භයව සඳහන් කළ එක ගැනත් සතුටුයි. විරුද්ධ මත ඇති. දහසක් මල් පිපේවා.....

      Delete
  2. ඒ කතාව පිලිගන්න අමාරුයි.. මේ කතාව අපි පිලිගමු.. මේ පාර ඡන්දේ දිහා බලලා.. එතකන් ඉවසන් ඉමු..

    ReplyDelete
    Replies
    1. මේ කතාවයි, ඡන්දෙයි අකර සම්බන්ධෙ කෙටියෙන් පැහැදිලි කළොත් අගෙයි.

      Delete
    2. මෙයා කියන විදියට අනුර ආවා කියලා ජෙප්පන්ගේ චන්ද පදනම වෙනස් වෙන්න බෑ නේ. ඒත් මට හිතෙනවා එහෙම වෙයි කියලා.. වනාතමුල්ලේ සිද්දියෙනුත් ඒක පැහැදිලිව පේනවා..

      Delete
    3. මේක මිත්‍යාවක්. ඔටුව නං හිතන්නෙ නැහැ සැබෑ ජේවීපීකාරයන් මෙහෙම හීන දකිනව කියල. එහෙම හිතන උන්දැල හරිම අදේශපාලනිකයි.
      පක්ෂ නායකය වෙනස් වුණාම ගොඩ යන පක්ෂයක් නොවේ ජවිපෙ කියන්නෙ. මතවාදීව හා න්‍යායිකව පක්ෂෙට අනුගත වෙන අය මිසක 87-89 දී වගේ ත්‍රිල් එකට සම්බන්ධ වෙලා ගොං වැඩ කරන අයගෙන් සිද්ධවෙනව ඇත්තෙ ඡන්ද වැඩිවීමකින් ඇති වෙන සංදර්ශනයක් විතරයි ඕං.....
      ඡන්ද ටිකක් තාවකාලිකව වැඩිවෙන්න පුළුවන් මේ වගේ හීන දකින තාවකාලිකව උත්තේජනයට පත්වුණ අයගෙන්. හැබැයි ඕක ඉතිං ක්ෂණික මෝචනය වගේ...

      Delete
  3. ඡන්ද ප්‍රතිඵල ආවාම ඔය ඔක්කොම දේවල් බලාගන්න බැරිය ඉතින්..

    ReplyDelete
    Replies
    1. ඡන්ද ප්‍රතිඵල ආවම මොනව බලාගන්නද ළමයෝ.....ඡන්ද ටිකක් නං වැඩි වෙලා තියෙයි. ආංඩු විරෝධය නිසත් අනුරගෙ කතාවලට ත්‍රිල් එකෙනුත් ඡන්දෙ දෙන උන්දැල ජවිපෙත් එක්කම ඉඳියි කියල හිතන්න තරං ඔටුව අඳබාල නෑ ඕං....
      පුද්ගලයො මත පක්ෂයක් ගැන තීන්දු ගන්න එපා ළමයිනේ...
      මතකනෙ වීරවංශ හාදයව.
      උන්නැහෙගෙ කතා අහලත් කීදෙනෙක් ජවිපෙට ඡන්දෙ දෙන්න ඇද්ද ?

      Delete
  4. ලියුම්කරු සමග එකඟයි. ජවිපේ තින්දු තීරණ ගැනෙන්නේ ඒ ඒ මණ්ඩල හරහායි. අර විමල් උන්නැහේගේ නැත්ත ඇත්ත පොතේ තියනවා ඒ තීන්දු තීරණ ගත් හැටි. දැනට ඡන්ද පදනමේ වෙනසක් වෙන්නේ නම් ඒ ත්‍රිලට දෙන මනාප මිසක් ප්‍රතිපත්තිමය මනාපයක් නොවේ.
    ඔටුවා කවුදැයි කියලා දන්නෙත් මේ ටික දොහක ඉදන්නේ ආයිබොවන්ඩ....

    ReplyDelete
    Replies
    1. තමන් පිළිගන්න මතයකට ඒකඟ බව කීමත් විරුද්ධ මතයකට විරුද්ධ බව කීමත් දියුණු සමාජයක ලක්ෂණයක්. ඒ්ත් නලීන් මලයා ඔටුරටවල ඉන්න පසුගාමී අදහස් තියන බූරුවන්ට නං ඒ් බවක් ෙත්රුම් ගන්න ශක්තියක් නෑ. කට්ටියට ප්‍රශ්ෙන සෙරන්ඩිබ් ඔටුවා කව්ද කියන ඒක මිසක කියන කාරණා ෙනාෙවයි අායිබං....

      Delete
  5. මතවාදී තලය තුළ පුද්ගල අනන්‍යතාව එතරම් වැදගත් නොවේ. වැදගත් වන්නේ පවසන කාරණාවේ ඇති ප්‍රබලත්වයයි. ඔහොම යමු ඔටුවා..

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete