Pages

Saturday 29 March 2014

කෑම සමඟ ලෑම නොහොත් එහෙයි මෙහෙයි පෙං කෙළීම


න්දියාව, බංගලිදේසෙ, සිරිලංකාව වගේ රටවල කාන්තාවෝ විතරක් නොවෙයි පහල මට්ටම්වල රස්සා කොරන පිරිමි පාර්සවේ පවා වාලුකා කාන්තාරෙ ඔටු රටවලට වෙලා වැඩ කොරන්නෙ සොච්චං මුදලකට.

ලක්සෙට කොඩි දාගන්න පුළුවන් තරමෙ උදවියත් නැතුවා නොවෙයි. ඒත් බොහොමයක් දෙනා වැඩ කොරන්නෙ උපන් රටට ගොහින් කියන්නත් ලැජ්ජ හිතෙන තරමෙ හිඟන පඩි වලට.

තමන්ගෙ රටට වෙලා කුලියක් මලියක් කළත් ඔය ගාන හොයා ගන්න බැරිවෙන එකක් නෑ. හැබැයි ඒ වගේයැ පිටදේසෙකට ඇවිත් හාම්පුතාලගෙ පස්ස හේදුවත් ගමේ රටේ උන්ට පේන එකක්යැ.

සිරිලංකාවේ වැඩියෙන්ම විදේශ විනිමය ලැබෙන්නෙ වාලුකා කාන්තාරෙ ගෙවලවල මෙහෙකාරකොමට ඇවිත් දහදුක් විඳින ඇත්තියන් රටට එවන කාසි පනං වලින් වුනාට වැඩියෙන්ම අසරණ වෙන්නෙත් උන්දැලම තමයි ඕං.

විශ්වාස කළෑකිද අයිබං පෙළක් ඇත්තියො මාසයක් කඹුරලත් අතට ගන්නෙ සිරිලංකාවේ සල්ලි වලින් රුපියල් විසිදාහකටත් අඩුවෙන් වෙච්චි අවස්ථා තියෙනව කිව්වම.

විශ්වාස කළත් නොකළත් මේ උන්දැල දරුමල්ලො, දෙමාපියො, සහෝදර සහෝදරියො කොටින්ම දරු පවුල් පිටින් අතෑර දාල මේ කාන්තාරෙට ඔය වගේ සොච්චං හිඟන පඩියකට එන්නෙ මොන කරුමෙකටද මංදා.

ඉඩමක් කඩමක් ගන්න, ගෙයක් දොරක් හදා ගන්න, ගෙදරට වටින බඩු මුට්ටු ටිකක් ගන්න, දරුවො දීග තලග දෙන්න, ඔත්පල වෙලා ඉන්න දෙමාපියන්ට පිළිසරණක් වෙන්න, ණයතුරුස් බේර ගන්න ආදී මෙකී නොකී හේතු කාරණා හිංද සත් සමුදුර ගෙවාගෙන ගෙවල්වල මෙහෙකාරකමට එන කාන්තාවො මොන තරං දහදුකක් විඳිනවද අම්මපා.

මෙහෙම හම්බු කොරල ගං රටවලට යවන සල්ලිත් කාබාසිනියා කොරොන එවුන් ඉන්නව. ඒ වගේම ඒ සල්ලි වලින් කාල බීල, සූදු කෙළල සුදි කොරන එවුනුත් ඉන්නව. නෙයියාඩගං, නරිනාටක විතරක් නොවෙයි මඟුල් නටන එවුනුත් ඉන්නව.

අරහෙ ගෑනි දහදුක් විඳිනව. කන්ඩ දෙන්නෑ කියයි, තඩිබානව කියයි, කටු ගහනව කියයි, උඩ තට්ටුවෙන් පහලට තල්ලු කළා කියයි, දසවද දිදී වැඩ ගන්නව කියයි. ඒ මදිවට අඹු කොමටත් ගන්න බව නොකියයි.    

ඉතිං මේවට මූණ දෙන්නෙ නැතිව හොරෙන් එළියට පනින අයත් ඉන්නව. ඒජන්සි වලින් එක ගෙදරක වැඩට ඇවිල්ල එතනින් පැනල ගොහිං හැංගි හැංගි කෑලි ගානට, නැත්තං පැය ගාණට වැඩ කරන අය ඕන තරං.

එතකොට නිදහස තියෙනව තමයි. අර කිව්ව වද බන්ධන නෑ තමයි. ඒත් ජීවත් වෙන්නෙ පපුවෙ ගින්දරින්. කොයි වෙලාවෙ ආරක්ෂකයො කුදලං යයිද කවුද දන්නෙ. කුදලං ගියාම හිරේ විලංගුවෙත් දාලා ආපු රටටම ආපහු පටෝල යවනව.

ඉතිං මේවයින් බේරෙන්න එක එක උප්පර වැට්ටි දා ගන්නව.

අද ඔටුවගෙ කතාව මේ ගැනයි ඕං.

ගෙවල් වලින් පැනල ගිහින් හැංගි හොරා වැඩ කරන කාන්තාවන්ට වැඩි ගාණක් හොයා ගන්න පුළුවන් වෙන්නෙ පැය ගානටම අය කරන හිංදම විතරක් නොවෙයි හොඳ හයිය තියෙන මෝරෙකුත් අල්ල ගන්න පුළුවන් නිසයි.

උපන් රටේදි හරි හමන් සුදුසුකමක් පළ පුරුද්දක් නැතිව අනාථ නාථ වෙච්චි උන්දැලැ මෙහෙ ඇවිත් තමන්ට හිතා ගන්න බැරි තරමෙ පඩිනඩි වලට වැඩ කොරනව. එක පාරටම ලක්ස ගණන් හම්බු කොරන්න ගත්තම මේ කට්ටිය මෝරු වෙන එක අහන්ඩත් දෙයක්යැ.

එතකොට උපන් රටේ ගෙවල් දොරවල්වල ඉන්න දරු මල්ලන්ට සලකන ගමන් වාලුකා කාන්තාරෙනුත් පවුල් වෙනව. පවුල් කනව.

මේ මෝරුන්ට අහු වෙන්නෙම හොරාට පැනල තැන් තැන් වල මෙහෙකාරකම් කොරන ගෑනු පරාණම තමයි. 

මේකෙන් මෝරුන්ගෙත් උවමනා එපාකම් ඉෂ්ට සිද්ධ වෙනව.

අර අහිංසක ගෑනු පරාණ වලටත් සොච්චමක් හරි වැඩියෙන් හොයා ගන්න ලැබෙනව. එහෙම කොරල ඒ ඇත්තියො උපන් රටේ ඉන්න දරු පවුල් සුඛිත මුදිත කරන්න වලි කනව.

අවුරුද්දකට දෙකකට වතාවක් ගම රට යනකොට යන්නෙ නං කිරි දියෙන් නාවපු සුද්ධවන්තයො, සුද්ධවන්තියො වගෙයි ඕං.

බොහොමයක් වෙලාවට ගෙවල් සුද්ධ පවිත්‍ර කොරගන්න, කෑම උයා පිහා ගන්න තමන් ඉන්න පාලු ගෙදරට ගෙන්න ගන්න ගැටිස්සියෝ විතරක් නොවෙයි මහ අම්මණ්ඩිල පවා මේ ගැටේට අහු වෙනව.




 කෑම සමඟ ලෑම.




එක වෙලාවකට ඔටුවට හිතෙනව මේව එක එක්කෙනාගෙ සාරීරික උවමනාවල් නොවෙද කියලත්.

හැබැයි ඕං හැමෝ ගැනම මෙහෙම හිතනව එහෙම නොවෙයි. ඔටුරටවල තනිපංගලමෙ රස්සාවල් කරන හැමෝම මේ තත්තෙට පත් වෙන්නෙ නෑ.

ඒකත් අවධාරණය කරන්නම ඕනැ.

මෝරුන්ට අහු නොවී තමන් ආව කාරණේටම කැප වෙලා උපන් රටේ ඉන්න දරු පවුල් ගැනම හිත හිත පේවිලා ඉන්න ඇත්තියනුත් නැතුවාම නොවෙයි. තමන් මෝරෙක් නොවී හරි හම්බ කරන සේසතම අඹු දරුවන්ගෙ සුබ සිද්ධියට යවන උන්දැලත් ඕනැ තරම් ඉන්නව.

හැබැයි ඉතිං අවුරුද්දක් දෙකක් එක දිගට ඇඹේනියන්ගෙන් නැත්නම් ස්වාමි පුරුසයන්ගෙන් ඈත් වෙලා ඉන්න කොට ලිංගික ඕනැ එපාකං ඉටු කොරගන්න හිතෙන එක වැරැද්දක්මද කියල කෙනෙකුට අහන්න පුළුවනි. 

නොදන්නා රටක තනිවුණාම ආරස්සාවට කෙනෙක් ඉන්නව කියල දැනෙන එකත් සහනයක් වෙන්නැති.

ඒ හංද ඔටුව මේ නෙයියාඩගං අවකල් ක්‍රියා විදිහට විවේචනය කොරනව හෙම නොවෙයි, කට කහනවට කියල දානව විතරයි ඕං.

හැබැයි මේ වැඩෙන් වෙන්නෙ දෙපැත්තෙ ඉන්න දෙගොල්ලොම අනාථ වෙන එකයි. ඒක ඉතිං කොරන කොට තේරෙන්නෙ නෑ. කවද හරි  වැඩේ පත්තු වෙච්ච දවසක තමයි හබක් වෙන්නෙ.

කකුළුව සැපක් යැයි හිතාගෙන වතුර පැහෙන කල් හැලියට වෙලා දිය කෙළිනවලුනෙ.


ඒ වගේම නොවෙන්නං මේ පෙං කෙළිල්ලත්.  
================================

පසුව ලියන වගයි.....

මෙන්න උදාහරණ

කාට කාටත් හොඳ පාඩම්....
පරෙස්සම් වෙයල්ලා....!























-සෙස්ස පස්සට ෴

- සෙරන්ඩිබ් ඔටුවා  








පසු සටහන:  සෙරන්ඩිබ් ඔටුවට පෞද්ගලිකව යමක් ලියන්න, 
වාලුකා කාන්තාරෙ සිද්ධ වෙන තොරතුරු ටිකක් එවන්න,
සමාජ ප්‍රශ්න ගැන හිතෙන යමක් ලියන්න 
කැමති ඇත්තො ඉන්නව නං මෙන්න email ලිපිනය.
otukatha@gmail.com
පෞද්ගලිකව  තොරතුරු එවන අය ගැන 
එළිදරව් කරන්නෙ නං නෑමයි ...ඕං.....

Tuesday 25 March 2014

අල්ලං ගොහිං මරා දැමීම නොහොත් බඩුත් හාංදුරුවන්ගේ......නඩුත් හාංදුරුවන්ගේ....


සිරිලංකාවේ කාලෙක ඉඳං අහන්න ලැබෙන සැකකරුවන් නීතියේ 
ආරක්ෂකයන් වෙතින් මරුමුවට පත්වීමත්, ඒ අපරාධ සාධාරණීකරණය 
කරමින් නීතියේ මුරදේවතාවුන් අපභ්‍රංශ තීන්දු දීමත් ගැන “රාවය“
පත්තරේ කර්තෘතැන ලියාපු ලියුං කරදහියක් අන්තර්ජංජාලෙ තිබිල
අහුල ගත්ත බොලල්ලා....

දිග වැඩි වගේ හංද අදහස විකෘති නොවන විදිහට කපල කොටල මෙදා 
වංගියෙ ඔටුකතාවට ගන්නව ඕං...
==========================================================

සුගිය දිනෙක කොළඹ මහාමාර්ගයක ක‍්‍රීඩා කරමින් සිටි තරුණ පිරිසක් පොලිසිය විසින් අල්ලාගෙන අධිකරණයට ඉදිරිපත්කරන ලදුව, මහේස්ත‍්‍රාත්වරයා මහජන පීඩාව ගැන ඔවුන්ට දැඩි ලෙස අවවාද කොට මුදාහැරියේය. 
එහෙත්, ඒ රටේම ජනාධිපතිවරයාගේ පුත‍්‍රයාගේ හා සහචරයන්ගේ වුවමනාවට වසරකට වරක් දින ගණනක් කොළඹ හදවතේ මංමාවත් වසාදමමින් වැලිකොට්ට ගොඩගසා කරන මෝටර් රථ ධාවන තරග, කෙතරම් මහජන පීඩාවක්දැ’යි විමසන්නට අධිකරණයක් මේ රටේ නැත. 

රටේ නීතිය කඩන්නේ ඉහළම පුද්ගලයන් විසිනි. 

ජනාධිපතිවරයා සිය වැඩිමහල් සහෝදරයාගේ පුත‍්‍රයාට කතරගම දේවාලයේ බස්නායක නිලමේ නිලය දරමින්ම ප‍්‍රධාන ඇමති ධුරයක්ද දැරීමට හැකිවන ලෙස රටේ නීතිය වෙනස් කරද්දී, ඔහුගේ සහෝදර ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම්වරයා රටේ නීති මහදවාලේ උල්ලංඝනය කරමින් මැතිවරණ වේදිකාවට ගොඩවෙයි. 
කොළඹ මංමාවත්වල ජීවත්වන ජනතාව මුළුමනින්ම රටේ නීතිය උල්ලංඝනය කරමින් සිය ගෙවල්දොරවලින් පලවාහරියි. රටේ ඉහළම උදවිය කඩන නීතිය දිහා බලාගෙන ආණ්ඩු කාරවරියක් ප‍්‍රසිද්ධියේම තම දේශපාලන ගැතිකම මාධ්‍යවලට කියයි. 
ඒ අතර රජයේ විදුහල්පතිවරයෙක් සිය විදුහලේ බස්රථය දේශපාලකයන්ගේ මැති වරණ ප‍්‍රචාරක වැඩ වලට ලබාදෙයි. 
ලොක්කන් හිටගෙන කරන දේ සොක්කන් දුවමින් කරන තත්ත්වයක් උද්ගතවී ඇති වර්තමාන ලංකාවේ නීතියේ පාලනය යනු පුදුමාකාර විහිළුවකි. එහෙත් අතළොස්සක් දෙනා හැර ඒ ගැන කිසිදු කම්පාවක් සමාජයේ ඇති බවක් පෙනෙන්නේ නැත.

මේ තත්ත්වය මත නීතිය රැකීමට ඇති ආයතනද, යුක්තිය පසිඳලීමට ඇති ආයතනද වැඩ කරන්නේ ලොක්කන් දෙසම බලාගෙන ඒ අනුව වීම පුදුමයක් නොවේ. කෙටියෙන් කීවොත් පොලිසියත් අධිකරණයත් එසේය.
පොලිසිය විසින් හික්කඩුවේදී අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කරමින් සිටි පාතාල සාමාජිකයකුයැ’යි කියන අරුම ගමගේ සුගත් චමින්ද නොහොත් පාලංකඩ හීනා නම් පුද්ගලයකු සුපුරුදු පරිදි සඟවා ඇති ආයුධ පෙන්වන්නට පොලිසිය සමග ගොස්, වෙඩිතැබීමට තැත්කිරීමේදී පෙරළා පොලිසිය සිදුකළ වෙඩි තැබීමෙන් රත්නපුර ප‍්‍රදේශයේදී අලූයම් යාමයේ ජීවිතක්ෂයට පත්විය. 
මැණික් ව්‍යාපාරිකයකු ඝාතනය කිරීමක් සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනුණි. සැකකරු ඝාතනය වීම පුවත්පත්වල ප‍්‍රධාන සිරස්තලය බවට පත්ව තිබුණු අතර එම ප‍්‍රවෘත්තිවල සම්පූර්ණ අන්තර්ගතය වූයේ ඉහත කී ලෙස පොලිසිය මාධ්‍යවලට කී කතාවයි. 
ආයුධ සඟවා තිබූ ස්ථානයට ගෙනගිය විට සැකකරුගේ මාංචු ගැලවූ බවත්, එවැනි අවස්ථාවකදී පුද්ගලික ආරක්‍ෂාවේ අයිතිය නමැති නීතිමය සිද්ධාන්තය පාවිච්චි කිරීමට සිදුවන බවත්, එසේ නැත්නම් පොලිස් නිලධාරීන්ට මියයෑමට සිදුවන බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් කියා ඇති බව වාර්තා විය. 

පසුගිය කාලය මුළුල්ලේම තම භාරයේ සිටින 

සැකකරුවන් ඝාතනය වීම ගැන පොලිසිය කරන මේ

පැහැදිලිකිරීම ඇත්තක් යැයි අඩුගණනේ එම පොලිස් 

නිලධාරීන්වත් විශ්වාස නොකරන බව ප‍්‍රසිද්ධ රහසකි. 

ලංකාව නීතියේ පාලනය නැති රටක් බවට ලෝකය ඉදිරියේ පාච්චල්වීමට බලවත් දායකත්වයක් ලබාදෙන පොලිසියේ ව්‍යාපෘතියකි මේ. 
තම අත්අඩංගුවේ සිටින සැකකරුවකුගේ ආරක්‍ෂාවත්, ඔහු නීතිය ඉදිරියට පමුණුවා සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය භුක්තිවිඳින්නට ඔහුට ඉඩහැරීමත් පිළිබඳ පූර්ණ වගකීම රජය හෙවත් පොලිසිය භාරයේ තිබියදී, ඒ භාරය තුළම වෙඩිවැදී මියයන්නට සැකකරුවන්ට සිදුවීම විසින් කියාපාන්නේ ඒ රටේ නීතිය වල්වැදී ඇති බවය. 

රටේ නීතිය වෙනුවට කැලේ නීතියක් ක‍්‍රියාත්මක වන බවය.

තමන් වෙඩිතබන ලද්දේ ආත්මාරක්‍ෂාවටයැ’යි මෙහිදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක වරයා කියන නමුත්, වෙඩිතැබූයේ ආත්මා රක්‍ෂාවටයැ’යිද එනිසා එය සාධාරණ වෙඩි තැබීමක්යැ’යිද කියන්නට නීතියක් තිබෙන රටක නම් ඔහු වැනි ප‍්‍රකාශකයකුට හැකියාවක් නැත. 
ඒ තර්කය අනුව බලන කල, මංකොල්ල කෑමට පැමිණෙන පාතාලයන් වුවද අන් අයට වෙඩි තබන්නේ තමන්ගේ ආත්මාරක්‍ෂාවට නිසා ඔවුන්ටද වෙඩි තැබීමට සාධාරණ අයිතියක් ඇති බව පිළිගත යුතුය. 
එහෙත් අප එසේ නොපිළිගන්නේ ඇයි?
නීතිය පවතින රටක නම්, ආත්මාරක්‍ෂාවේ අයිතිය පාවිච්චි කර ඇතිද යන්න තීරණය කළ යුතු වන්නේ අධිකරණය විසිනි. 
ඒ ද නඩු විභාගයකදීය. 
සිදුවීම පිළිබඳ සාක්‍ෂි කැඳවීමෙන් පසුය. 
එහෙත් දැන් සුලබව කරන්නේ, සැකකරුවකු මරා දැමූ පසු ඒ ස්ථානයට යන මහේස්ත‍්‍රාත්වරයකු පොලිසිය කියන කරුණු සලකා බලා, ‘ඔව්. එය ආත්මාරක්‍ෂාවේ අයිතිය පාවිච්චි කර කරන ලද සාධාරණ මිනිස් ඝාතනයකියැ’යි සිය නිල මුද්‍රාව තබා සාධාරණය කිරීමය.
මිනිස් ඝාතනයක් සිදුවූ තැනකට මහේස්ත‍්‍රාත් වරයකු යන්නේ මරණ පරීක්‍ෂණයක් පැවැත්වීමට මිස නඩු විභාගයකට නොවේ. 
කෙටියෙන් කීවොත්, එහිදී කළ යුත්තේ ‘මරණයට වගකිවයුත්තා’ නොව ‘මරණයට හේතුව’ සොයාගැනීමය. 
ඒ සඳහා පශ්චාත් මරණ පරීක්‍ෂණයක් පැවැත්වීමට අධිකරණ වෛද්‍ය නිලධාරියකුට නියම කිරීමත්, මරණය සම්බන්ධයෙන් වගකිව යුතුයැ’යි සැකකරන කිසිවකු ඇත්නම් නීතිය ඉදිරියට පමුණුවන ලෙස පොලිසියට නියම කිරීමත් හැර වෙනත් තීරණ ගැනීමට රටේ සාමාන්‍ය නීතිය අනුව එවැනි ස්ථානයකට යන මහේස්ත‍්‍රාත්වරයකුට (හෝ හදිසි මරණ පරීක්‍ෂක වරයකුට) නොහැකිය. 
ඝාතනය කොට ඇත්තේ ආත්මාරක්‍ෂාවේ අයිතිය පාවිච්චිකොටද යන්න තීරණය කිරීමේ අයිතියක් එවැනි අයෙකුට තිබිය නොහැකිය.

මෙවැනි අසීරු මොහොතකදී සාධාරණය හා යුක්තිය වෙනුවෙන් පෙනීසිටීමේ, තීරණ ගැනීමේ හා කටයුතු කිරීමේ බර ඇත්තේ අධිකරණය වෙතය. 

ලංකාවේ අධිකරණයට එවැනි යුක්තිසහගත පිටකොඳු 
අවශ්‍ය කොට තිබේ.

එහෙත්, මේ වැනි සිදුවීම් ලංකාවේ පොලිසිය, 
අධිකරණය හෝ සමාජය බැරෑරුම්ව නොසැලකුවාට, 
නීතියේ පාලනය හා රාජ්‍ය පාලනයේ ශිෂ්ටභාවය
පිළිගන්නා ජාත්‍යන්තර සමාජයක එවැනි රටකට
හිමිවන්නේ අවලාද, අවමාන හා ගැරහීම් මිස
ගෞරවනීය තත්ත්වයක් නොවේ. 


-සෙස්ස පස්සට ෴


- සෙරන්ඩිබ් ඔටුවා  








පසු සටහන:  සෙරන්ඩිබ් ඔටුවට පෞද්ගලිකව යමක් ලියන්න, 
වාලුකා කාන්තාරෙ සිද්ධ වෙන තොරතුරු ටිකක් එවන්න,
සමාජ ප්‍රශ්න ගැන හිතෙන යමක් ලියන්න 
කැමති ඇත්තො ඉන්නව නං මෙන්න email ලිපිනය.
otukatha@gmail.com
පෞද්ගලිකව  තොරතුරු එවන අය ගැන 
එළිදරව් කරන්නෙ නං නෑමයි ...ඕං.....



Friday 21 March 2014

ජ්‍යොතිෂකාරයන්ට රැවටෙන්නෝ........ රැවටි රැවටි වැනසෙන්නෝ..........



බටහිර වෛද්‍යවරයෙකු වන ආනන්ද දිසානායකගෙන්

සියලුම ‍ජ්‍යොතිෂවේදීන්ට අභියෝගයක්



මිත්‍යාව නමැති අවිඳු අඳුරේ අතපත ගාන 



උගත්, නූගත් මෙන්ම 


විවිධ තරාතිරමේ රැකියාවන්හි නියැලෙන 

හුදී ජනයාගේ නෙත් විවර කරන්නට 



"ලක්බිම ඉරිදා"  පත්තරේ පළවූ 

වෛද්‍ය ආනන්ද දිසානායකයන්ගේ 

මේ ලිපිය හේතුවක්ම වේවා.....!



ජ්‍යොතිෂය එකල දේශපාලනයට, අධ්‍යාපනයට, වෛද්‍ය කර්මයට මෙන්ම ආගමික ඉගැන්වීම් තුළටද ඇතුළු කර තිබුණි.  

17 වැනි සියවස අගභාගයේ දී නවීන විද්‍යාවේ ප්‍රවේශයත් සමග ‍ජ්‍යොතිෂයේ වැදගත්කම ක්‍රමයෙන් හීන වන්නට විය. 

ග්‍රහ තාරකාවල පිහිටීම අනුව කෙනෙකුගේ අනාගතය හෝ ඉරණම තීරණයවන අන්දම පැහැදිලි කිරීමට ‍ජ්‍යොතිෂයට නොහැකි වූවා පමණක් නොව ප්‍රකට විද්‍යාත්මක පර්යේෂණ රාශියකින් ‍ජ්‍යොතිෂය මගින් දක්වන අනාවැකි නිවැරදි නොවන බවද තහවුරු විය.

‍ජ්‍යොතිෂයේ දැක්වෙන මත හෝ සංකල්ප පරීක්ෂණ හා නිරීක්ෂණ තුළින් වැරදි බව ඔප්පු කළ හැකි නිසා ‍ජ්‍යොතිෂය යනු විද්‍යාවක් නොව ව්‍යාජ විද්‍යාවක් බව තහවුරු විය.

‍ජ්‍යොතිෂය පිළිබඳව සිදුකරන ලද විද්‍යාත්මක පර්යේෂණ අතර ෂෝන් කා‍ලේසන්ගේ පර්යේෂණයට විශේෂ තැනක් හිමිවේ. මෙහිදී කැලිෆෝනියා, මනෝවිද්‍යා දත්ත වට්ටෝරුවෙන් ලබා ගන්නා  ලද පුද්ගලයන් සියයකට අධික සංඛ්‍යාවකගේ මනෝවිද්‍යා දත්ත ගොනු එම පුද්ගලයන්ගේ ජන්ම පත්‍ර සමග ‍ජ්‍යොතිෂ විද්‍යානුකූලව ගළපන ලෙස ‍ජ්‍යොතිෂවේදීන්ට ආරාධනා  කරනු ලැබිය.

ඇමෙරිකාවේ සහ යුරෝපයේ ‍ජ්‍යොතිෂවේදීන් 28 

දෙනකු මේ  සඳහා ඉදිරිපත් වූ අතර ඔවුහු 

පරීක්ෂණයේ කොන්දේසිවලටද එකඟ වූහ. 

අවසන් ප්‍රතිඵලය වූයේ ජන්ම පත්‍ර සහ මනෝවිද්‍යා දත්ත ගොනු ගැළපීමට ‍ජ්‍යොතිෂවේදීන්ට නොහැකි වීමයි. ප්‍රතිඵලය අහඹු ලෙස සිදුකළ සැසඳීමකට වඩා නොවෙනස් විය.  පරීක්ෂණය සාධාරණ වූ බව ජගත් විෂය පිළිබඳ ජාතික පර්යේෂණ සභාවට අයත් ‍ජ්‍යොතිෂවේදීන් විසින් පිළිගන්නා ලදී.

කෙතරම් පර්යේෂණ මගින් ‍ජ්‍යොතිෂය අවිද්‍යාත්මක


 බව ගෙනහැර දැක්වූවද  මෙම මිථ්‍යා විශ්වාස 


සමාජය තුළින් පලවා හැරීම ඉතා අපහසුය. 

මෙයට හේතුවී ඇත්තේ තම දෙමවුපියන්, ගුරුවරුන්, තමා ගරු කරන සමාජයේ වැදගත්  පුද්ගලයන් සහ ආගමික දේශකයන් විසින් එම විශ්වාස එක් එක් පුද්ගලයාගේ සිත් තුළට තදබල ලෙස කාවද්දා ඇති නිසාය. 

බොහෝ පුද්ගලයන් විසින් මෙම මිථ්‍යා මත පැතිරවීම ජනමාධ්‍ය හරහාද දිගින් දිගටම කරගන යනු ලබති. ඒ ඔවුනගේ වාණිජමය අවශ්‍යතාවයන් සපුරා ගැනීමටය.  ‍ජ්‍යොතිෂය වැනි ව්‍යාජ විද්‍යාවක් විශ්වාස කිරීම සඳහා කෙනෙකුගේ බුද්ධි මට්ටම බලපානු නොලැබෙන බව පෙනේ.

වෛද්‍යවරුන් , මහාචාර්යවරුන් ඉංජිනේරුවන් මෙන්ම ප්‍රකට දේශපාලනඥයන් වැනි පුද්ගලයන් අතරද ‍ජ්‍යොතිෂය විශ්වාස කරන අය එමට ඇති බව  මෙය තහවුරු  කිරීමට ඇති හොඳම සාක්ෂියයි. 

මෙවැනි විශ්වාශයනට එරෙහිව ප්‍රබල විද්‍යාත්මක සාක්ෂි ඇති බව දැන දැනත් ඒවායෙහිම එල්බගෙන සිටීම මනෝවිද්‍යාවේ විස්තර කර ඇත්තේ ව්‍යාජ විශ්වාස  අත්නොහැරීම යන හැඳින්වීමෙනි.

අප කොතෙක් දුරට මෙසේ පැවැසුවද ‍ජ්‍යොතිෂය තදින්  විශ්වාස කරන  අයෙකුට ‍ජ්‍යොතිෂවේදියෙකු ලබාදෙන අනාවැකි හෝ විස්තර අතිශයින්ම සත්‍ය බවට දිස්වේ. මෙයට හේතුව  ලෙස මනෝ විද්‍යාවේ විස්තර  කරන්නේ  පක්ෂපාතී  සනාත කිරීම යනුවෙනි. 

එනම් යම් අයෙකු කිසියම් විශ්වාසයක හෝ මතයක එල්බගන සිටින කල්හි  එම මතය හෝ විශ්වාසය තහවුරු කරන කරුණු කෙරෙහි පමණක් ඔහු වැඩි රුචිකත්වයකින් කටයුතු කිරීමයි.

ජ්‍යොතිෂවේදියා විසින් කාටත් හරියන  ලෙස දෙනු 


ලබන විස්තරයේ තමාට ගැළපෙන  සහ තමා 


බලා‍පොරොත්තු වන විස්තර පමණක් තම මතකයේ 


රැදෙන අතර වැරදි හෝ නොගැළපෙන කොටස් එකී 


විශ්වාස කරන්නන්ගේ මතකයෙන් ගිලිහී යයි.

එබැවින් ඔහුට හෝ ඇයට ලබා  දෙන ‍ජ්‍යොතිෂ විස්තරය අතිශයින්ම  සත්‍ය බව ඔවුහු විශ්වාස  කරයි.

නිදසුනක් ලෙස ගතහොත් වැස්සට තෙමීමෙන් පසු සෙම්ප්‍රතිශ්‍යාව සෑදෙන බව විශ්වාස කරන පුද්ගලයෙකුට තම මතකයේ රැදී පවතින්නේ වැස්සට තෙමීමෙන් දින කීපයක් තුළ සෙම්ප්‍රතිශ්‍යාව ඇතිවූ අවස්ථාවන් පමණි.  

නමුත් ඊට  වඩා වැඩි අවස්ථාවන් ගණනකදී වැස්සට නොතෙමී ඔහුට සෙම්ප්‍රතිශ්‍යාව ඇති වන්නට ඇත. නමුත් එම අවස්ථාව ඔහුගේ මතකයේ රැදී නොපවතී.

පර්යේෂණවලට අනුව  පෙනී යන්නේ ‍ජ්‍යොතිෂ අනාවැකි අහඹු ලෙස ඕනෑම අයෙකුට ගැළපෙන අයුරින් සකසා ඇති ප්‍රකාශනයක් පමණක් බවයි. යම් අනාවැකියක් සිදුනොවුවද එසේ වීමට හේතුවද එම අනාවැකිය සමගම දෙනු ලබයි.

නිදසුනක් ලෙස යම් කාන්තාවක් තමාට අනාගතයේ  දරුපල  හිමිද? යනුවෙන් ප්‍රශ්නයක් ඇසුවහොත් එයට ඔව් හෝ නැත යනුවෙන් සෘජු පිළිතුරක්  නොලැබෙයි. ඔබට දරුපල ප්‍රමාද කරන තත්ත්වයක් පෙන්නුම් කළද මෙම ග්‍රහයාගේ හැසිරීම නිසා දරුපල ලැබිමට  ඉඩක්ද ඇත. යනුවෙන් පිළිතුරක් ලැබෙයි. 

තමාට කලක සිට වැළඳී ඇති රෝගය සුවකළ හැකිද යන ප්‍රශ්නයට ලැබෙනුයේ  එය සුව කිරීම තරමක් අසීරු බවත් නිවැරදි  ප්‍රතිකාර වලට යොමුවීමෙන් සුවවීමට ඉඩක් ඇති බවයි. යන පිළිතුරකි.

නූතන ජනප්‍රිය ‍ජ්‍යොතිෂවේදීන්ට යම් අයෙකු පිළිබඳ විස්තරයක් දීමට  අවශ්‍ය වන්නේ ඔහුගේ  හෝ ඇයගේ ජන්ම පත්‍රය නොව ඔහුගේ වයස, පෙනුම , රැකියාව සහ සිතුම්  පැතුම් ගැන මනාව තේරුම් ගැනීමයි.

ඒ අනුව ඔහුට හෝ ඇයට ගැළපෙන විස්තරයක්  සකසා දෙයි. මෙවැනි විස්තරයක අඩංගු කරුණු කාරණා තුළින් තමාට  හොඳින්ම ගැළපෙන කරුණ පමණක් තම සිතෙහි තැන්පත් කරගන්නා ඔහු හෝ ඇය තමාට ලබාදුන්  සියලු තොරතුරු සත්‍ය බව පිළිගනියි.

ජනතාව ‍ජ්‍යොතිෂය විශ්වාස කරන්නේ ඇයි

අද වැනි අවිනිශ්චිත කාල වකවානුවක යම් යම් තීරණ ගැනීමේ දී මිනිසාට පහසු කරවන මග පෙන්වන්නකු ලෙස මෙය පිළිගන්නවා විය හැකියි. 

ඔවුනට පාලනය කළ නොහැකි ග්‍රහ තාරකාවල බලපෑම් නිසා ඇති කරනු  ලබන ඕනෑම ඉරණමක් කෙරෙහි විශ්වාසය තබා සිටිනවා විය හැකිය. කෙසේ නමුත් අප ලෝකයට මුහුණ දිය යුතුය. එසේම අපගේ අනාගතය රැඳී පවතින්නේ අප තුළ බවත් ග්‍රහ තාරකා මත නොවන  බවත් අප අවබෝධ කරගත යුතුය.

අද නූතන ලෝකය තුළ පැතිර තිබෙන අධ්‍යාපනයේ 


ප්‍රබෝධය ගැන සිතන විට මායාකාරී හෝ අන්ධ


 විශ්වාස අවශ්‍ය නොවේ. 


නමුත් ‍ජ්‍යොතිෂය නූතන සමාජය තුළ වඩ  වඩාත් පැතිර යමින් පවතී. කිසිදු විවේචනයකට ඉඩ නොදී ‍ජ්‍යොතිෂ මත, අනාවැකි සහ කේන්දර ගැන ආකල්ප සමාජය තුළ පැතිරී තිබිම කනගාටුවට කරුණකි. මේ මගින් සිදුවන්නේ අහේතුවාදය සහ බුද්ධි රෝධක වාදය  වර්ධනය වීම පමණි. අප විශ්වාස කරන්නේ මෙවැනි අනාවැකිවලට එරෙහිව කෙළින්ම සහ බලගතු ලෙස අභියෝග කළ යුතු කාලය පැමිණ ඇති බවයි.

‍ජ්‍යොතිෂය ගැන විශ්වාසය ඇතිකරගන ඇති ජනතාව ගැන සලකා බැලීමේදී පෙනීයන්නේ ඔවුනගේ විශ්වාස කිසිදු නිවැරදි විද්‍යාත්මක පදනමකින් තොර බවත් ඇත්ත වශයෙන්ම ඒවා මිථ්‍යා මත බව ඔප්පු කිරීමට ප්‍රබල විද්‍යාත්මක සාක්ෂි එමට ඇති බවත්ය.

ඒ නිසා ‍ජ්‍යොතිෂය මිථ්‍යාවක් නොවන බව 


විද්‍යාත්මකව පෙන්වන මෙන්  ඕනෑම


ජ්‍යොතිෂවේදියෙකුට අභියෝග කරමි.










ඔන්න ඉතිං දැන්වත් ඇහැ කන ඇරගෙන හිටපල්ලා....

හොරු තක්කඩි පස්සෙ ගිහිං ලෝහ පතුරු ඇඟේ එල්ල ගන්නෙ නැතිව...

සන්තකේට ඇති මිල මුදල්, ඉඩකඩම් බිලි දෙන්නේ නැතිව....

එක එක යාතිකා කරන්නට ගීතිකා කියමින් එන 

ජ්‍යොතිෂකාරයන්ට/ පේනකාරයන්ට / සාස්තරකාරයන්ට

හුලිජ්ජ කොරපු බූවල්ලෙන් තලනු.




=======================================



මෙන්න මුන්දැල හතරවරං ගහනවෝ.................







* දේශාංශ 52ත් 92ත් කලාපයේ යානය තියෙනවා ?

අම්මප බණ්ඩාර ගොයියෝ...ඔය ඇත්තටමද කියන්නේ....

යානය පිටත් වූ වේලාව නිවැරදිව දැනගත්තොත් වුණ දේ කියන්න     පුළුවනි.

අන්දෝ සංසාරේ....හේම ශ්‍රී ගොයියෝ... වෙලාව හොයාගන්න එකත් මහ කජ්ජක්ද......තෙපරබාන්නෙ නැතිව කියනවකො ඕයි.....
කොයි යානය ?

තත්කාල කේන්ද්‍රයක් හදා ගත්තොත් අනතුරක් වෙයිද නැද්ද කිව හැකියි.

මද්දුවගේ උන්නැහේ දැං අපිද ඔහේද ඔය මගුල් කේන්දරේ හදන්න ඕනෙ ? උන්නැහේ නිකං කටපත්ත අදින්නෙ නැතිව බත්කාල කේන්දරේ හදල අනාවැකිය කියනවකො බයිල ගහන්නෙ නැතිව.

---ඔන්න වේගිරියෙ ඇත්තොයි, පාතේගම අපෙ හාංදුරුවොයි මේ හොර තක්කඩියන්ගෙ පුකටම පයිං ඇනල...(ඇයි ඉතිං මුංගෙ මොලේ තියෙන්නෙ පුකේනෙ)


මෙන්න මාතලන්ගෙන් බංඩාර ගොයියට කණ රත්වෙන්න පාරක්...

http://maathalan.blogspot.com/2014/03/mh370-mh370-predictions-tom-pachaya.html?showComment=1395931853781#c711749339852634433




සෙස්ස පස්සට ෴

- සෙරන්ඩිබ් ඔටුවා  








පසු සටහන:  සෙරන්ඩිබ් ඔටුවට පෞද්ගලිකව යමක් ලියන්න, 
වාලුකා කාන්තාරෙ සිද්ධ වෙන තොරතුරු ටිකක් එවන්න,
සමාජ ප්‍රශ්න ගැන හිතෙන යමක් ලියන්න 
කැමති ඇත්තො ඉන්නව නං මෙන්න email ලිපිනය.
otukatha@gmail.com
පෞද්ගලිකව  තොරතුරු එවන අය ගැන 
එළිදරව් කරන්නෙ නං නෑමයි ...ඕං.....