Pages

Tuesday 21 May 2024

රතු සහෝදරයෙකු දුටු විකාරරූපී සිහිනයක්...

1983 වසරේ දී තිරගත වූ අන්ද්‍රේ  තර්කොවුස්කිගේ "Nostalgia"  චිත්‍රපටයේ අවසන් දර්ශනය මට සිහිපත් වේ. 

NOSTALGHIA (1983) - Final Scene

 එහිදී සිද්ධ වන්නේ විවෘත පරිසරයක ඇවිද යන රංගන ශිල්පියා  අත ඇති දැල්වූ ඉටිපන්දම නිවෙන්න නොදී කිසියම් ඉලක්කයක් කරා ගමන් කිරීමය.  සුළඟට ඉටිපන්දම නිවෙන්නේ නැති වෙන්නට එක අතකින් ආවරණය කරගෙන සූක්ෂමව අඩි තබමින් යන ගමන දෙස අපි දෑස් දල්වා බලා සිටිමු.  කොයි මොහොතේ හෝ ඉටිපන්දම නිවී යාදෝයි යන සැක සංකාව අපේ සිත් තුළ ජනිත වන්නේ එසේ නොවේවා යන ප්‍රාර්ථනයක් සමඟය.  එම දර්ශනය ආරම්භ වී මිනිත්තු 3 තත්පර 40 දී ඉටිපන්දම නිවී යයි.  නළුවාට සිද්ධ වන්නේ එතෙක් තමන් ගමන් කළ දුර ආපසු පැමිණ ඉදිපන්දම දල්වාගෙන යළිත් ඉලක්කය කරා ගමන් කිරීමටය. එවර 9 වන විනාඩියේදී ඉටිපන්දම නිමෙන්නට ඉඩ නොදී රඳවා තබන්නට ඔහු සමත් වෙයි. 

අපි එවිට සැනසුම් සුසුමක් හෙලන්නෙමු.


"My Red Comrade" චිත්‍රපටයේ දැල්වූ ඉටිපන්දම් අතින් ගෙන මුහුණට ළං කරගෙන ඒවා රඳවනයක හෝ මේසය මත තබන්නේ නැතිව රඟපාන නළුවෙකු හා නිළියක දැකීමෙන් මට මෙම ජවනිකාව සිහිපත් විය. 

 මිනිත්තු නමයක් පුරා දිවෙන තනි පුද්ගලයෙකුගේ මන්දගාමී චලනයක් සහිත "Nostalgia" හි ජවනිකාව අයාසකර නොවූ එහෙත් කිසියම් ආතතියක් ඇති කිරීමට සමත් වූ ජවනිකාවක් වන අතර "My Red Comrade" හි ඉටිපන්දම මුහුණට ළංකොට අතේ තබා සිටින ජවනිකා ව්‍යාජය. නැරඹීමට වෙහෙසකරය. මට නිතර සිතුණේ රැවුලට ළං කොට ඉටිපන්දම අල්ලන්නේ නැතිව මේසෙ මත තියන්නට බැරි ඇයි කියාය.


මා "My Red Comrade" චිත්‍රපටය පිළිබඳ මගේ කියැවීම එසේ ආරම්භ කරන්නේ චිත්‍රපටයේ ධනාත්මක ගුණාංග මෙන්ම ආඛ්‍යානය බිඳ වැටෙන අවස්ථා ගැන ද සාකච්ඡාවක් ඇරඹීම සඳහාය.

 මා කියවන්නේ දෙවරක් මා ඉදිරියේ සිනමා තිරයක දිග හැරුණු රූපාවලිය හා ඊට සමගාමී හඬපටය වෙත පමණක් අවධානයට යොමු කරමිනි. 


"My Red Comrade"  කතා කළ යුතු සංවාදයට බඳුන් විය යුතු ශෛලියකින් යුතු චිත්‍රපටයකි. එය 88-89 දේශපාලන යුගය හා එහි නියෝජිතයකුගේ චර්යා රටා පාදක කරගන්නා බව සඳහන් වේ.  මේ චිත්‍රපටය එකී යුගයට අදාළ බව අප දැනගන්නේ එවන් දෙබස් කණ්ඩයකින් විනා කිසිදු රූප රාමුවකින් නොවේ.


 87-90 (ඒ මගේ හැඳින්වීමයි.)  ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල පාදක කරගන්නා විට කිසියම් නිර්මාණකරුවකු වෙත  නිතැතින්ම දැඩි වගකීමක් පැන වේ.  අපේ ජීවිත කාලයේදී අත්දුටු සංසිද්ධියක් නැවත  ප්‍රතිනිර්මාණය කරනවා යනු වගකීම් සහිත කටයුත්තකි.


  මා ඉන් අදහස් කරන්නේ නිර්මාණකරුවාට රිසි පරිදි එය අර්ථ දක්වන්නට හෝ එය විශ්ලේෂණය කරන්නට හෝ අයිතියක් නැති බව නොවේ. එහෙත්  සජීවී ලෙස අත්දුටු සංසිද්ධියකට ව්‍යාජ අර්ථකථන දීම නුසුදුසුය.


"My Red Comrade"  චිත්‍රපටයේ එන කැරලිකරුවාගේ  චරිතය තනිකරම මනෝමූලික ව්‍යාජ චරිතයකි.  87-90 දී ජවිපෙ දේශපාලනය කළ,  ධනපති ආණ්ඩුව ත්‍රස්තවාදීන් ලෙස ලේබල් කළ තරුණයකුට අවුරුදු 25කට පමණ පසු වියපත් පුද්ගලයකු ලෙස  බිම් ගතවීමේ අවශ්‍යතාවක් ඇත්තේම නැත. එසේ වන්නේ නම් ටිල්වින් සිල්වා,  ප්‍රේමකුමාර් ගුණරත්නම් වැනි කැරැල්ලට ඍජු ලෙස දායක වූ, ඝාතනය නොවී බේරුණු ජවිපෙ කාඩර වර්තමාන සමාජයේ මෙලෙස නිදහසේ හැසිරෙන්නේ කෙසේද?


 මේ වන විට නොව කිසිදු අවස්ථාවක පොත්පත් රාක්ක මැද බිම් ගතව  දිවි ගෙවූ 87-90 කැරැල්ලේ ජවිපෙ කාඩර අපට හමුවී නැත. 71 කැරැල්ලට සම්බන්ධ එවන් හුදෙකලා චරිත සිටින්නට ඉඩ ඇතත් 87-90 කැරැල්ලේ එවන් චරිත නොවීය.  තිර පිටපත ලියූ හෝ ඊට උපදෙස් ලබා දුන් කිසිවෙකුටත් 87-90  කැරැල්ල පිළිබඳ සජීවී අත්දැකීම් නොතිබූ බව කැට තබා කියන්නට පුළුවන.


 චිත්‍රපටය අවසානයේ "ඇය" නමින් වන ප්‍රධාන චරිතය රඟන තරින්දි ප්‍රනාන්දු "ඔන්න මං එක්කෙනෙක් බේරගත්තා. ඔයාලත් අනෙක් අය බේරගන්න" වැනි අදහසක් ඇති ඉල්ලීමක් ප්‍රේක්ෂකයාගෙන් කරයි. ඇය බිම් ගත ජීවිතයක් ගෙවන පුද්ගලයා බේරා ගත්තා කියන්නේ  කාගෙන්ද?  බේරා ගත යුතු අන් අය කවුරුන්ද?


87-90 ජනතා විමුක්ති පෙරමුණේ හෝ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ දේශපාලනයට සම්බන්ධව සිට මේ වන විට බිම් ගතව සැඟවී සිටින කිසිවෙකුත් නැත. අද ජවිපෙ කාඩරය එහෙම පිටින්ම වෙනස්  පුද්ගල සමූහයක් ලෙස සමාජයේ නිරුපද්‍රිතව විවෘතව ජීවත් වනු දකින්නට හැකිය.


"My Red Comrade" චිත්‍රපටයේ පෙළ බිඳවැටෙන්නේ ආරම්භයේදීමය. 

 මුළු චිත්‍රපටයම රඳා පවතින්නේ බිම්ගත ජීවිතයක් ගෙවන තනිකඩයෙකුගේ කාමරයක් තුළය. ඔහු බිම්ගත ජීවිතයක් ගෙවන්නේ පාලකයින්ගේ ආරක්ෂක අංශ දැති රෝදයට බියෙන්ය. චිත්‍රපටය අවසානයේ පොලිසිය  ඔහු ඉන්නා ඉසව්ව ගැන ඔත්තුවක් ලැබ මේ පුද්ගලයා සොයා එයි. එනයින් බලන කල ඔහු උපක්‍රමශීලීව සැඟව සිටිය යුතු පුද්ගලයෙකි.


 එවැන්නෙකුගේ රහසිගත කාමරයකට මැදියම් රැයේ තරුණියකට ඇතුළු වන්නට දොරක් විවර කර තැබීම අමනෝඥ  ක්‍රියාවකි. 87-90 කැරලිකරුවා එතරම් අමනෝඥ නොවන බව මගේ විශ්වාසයයි. 

එහෙයින් කාමරයට ඇතුළු වන්නට හැකිවන සේ ඒ මොහොතේ පමණක් දොරගුළු දමා නොතිබුණේ චිත්‍රපටියේ අධ්‍යක්ෂවරයාගේ හා කලා අධ්‍යක්ෂවරයාගේ උවමනාවට මිස සැබෑ ලෝකයේ අවශ්‍යතාවට නොවේ. මන්ද ඉන්පසු ඔහු සොයා පොලිසිය එද්දී දොර හොඳින් අගුළු දා තිබූ බැවිනි. 


 එතැනින් බිඳ වැටෙන විශ්වසනීයභාවය චිත්‍රපට පුරා විටින් විට පිටපත දුර්වල කරයි. 

 එවන් දුර්වල තැන් කිහිපයක් මෙසේ ලියා තබමි.

 හරි......! අහම්බෙන් අමතක වී දොරගුල හැර තැබුවා කියා සිතමු. 

 මහ වැස්සේ තෙත බරිත වී පිරිමියෙක් තනිවම සිටින කාමරයකට ඇතුළු වන සමාජ ක්‍රියාකාරිණිය "මට නැතිවෙන්න දෙයක් නෑ" කියා නිරුවත් වන්නේ ඇයි? ඒ අවස්ථාවේ ඇඳුම් ඉවත් කළා කියා චිත්‍රපටය ලැබෙන කිසිදු ආලෝකයක් නැත. තරින්දි ප්‍රනාන්දුගේ නිරුවත් සිරුර ප්‍රේක්ෂකයා ඒ මොහොතේ ඉල්ලා සිටින්නේ නැත. ඇය ගණිකාවක් නොව වීදි නාට්‍ය රඟන, සමාජ ක්‍රියාකාරිණියක බව ප්‍රේක්ෂකයා දැනගත් පසු ඇගේ ක්‍රියාව ජනිත කරන්නේ ජුගුප්සාවකි.  

නාඳුනන පිරිමියෙකු ඉදිරියේ එලෙස නිරුවත් වන්නට සාධාරණ හේතුවක් තිබිය යුතුය. අධ්‍යක්ෂවරයාට උවමනා වූ පමණින් හෝ රංගන ශිල්පිනිය එකඟ වූ පමණින්  නිරුවත් දර්ශනයක් චිත්‍රපටයේ ඇතුළත් කිරීමට තර්කානුකූල හේතු තිබිය යුතුය. 


 චිත්‍රපටය වැඩිහිටියන්ට පමණයි ලෙස ලේබල් කෙරී ඇත්තේ මේ නිරුවත් ජවනිකාව නිසා බව පැහැදිලිය.  මේ නම් නිරපරාදේ ඉල්ලං කෑමකි. තරින්දිගේ නිරුවත නොපෙන්නුවා කියා චිත්‍රපටයේ සන්දර්භයට කිසිදු හානියක් සිදුවන්නේ නැත. හානිය සිදුව ඇත්තේ අනවශ්‍ය තැනක නිරුවත් දර්ශනයක් බලෙන් එබ්බවීම නිසාය.


අනෙක් අතට තරින්දි රාක්කයේ පොත් ගන්නට ඉස්සෙන විට කොට ගවුම ඉස්සී පා යුග්ම නිරාවරණය වනු මෙවන් චිත්‍රපටයක පෙන්වන්නට අවශ්‍යම නැත. "My Red Comrade" නරඹන්නට එන ප්‍රේක්ෂකයා නිළියගේ නිරුවත් පාද දකින්නට බලාපොරොත්තු වෙන්නේ නැත. ඇගේ දෙපා සුන්දර, වටකුරු බව සැබෑය. ඒත් සීරියස් කතාබහක් අතර ඇගේ දෙපා අසුවන්නට රූගත කරන්නටවත් අවශ්‍ය නැත. ඒවා වෙන චිත්‍රපට වලට යොදා ගත්තාට අපට කම් නැත.


 කුඩා අවධියේදී තම පියා මරා දැමූ බව පවසන තරුණිය පියාට කටපාඩම්  දුන්නාය කියා මැක්සිම් ගෝර්කිගේ "අම්මා" පොතේ පිටු සහ පිටු අංක කටපාඩමින් පැවසීම එහෙම පිටිම අභව්‍යය.  ප්‍රේක්ෂකයාට වෙහෙසකාරීය.  එසේ පිටු කියැවූ පසු පියා තමන්ව බදා වැළඳ ගත් බව පවසන ඇය ආගන්තුකයාවද වැළඳ ගනියි.


 සිය පියා මරා දැමුවේ මන්දැයි එකල තේරුම් නොගත් තරුණියට පියා ඉදිරියේ කියැවූ පොතක පිටු පදාස පිටින්, පිටු අංක සමඟ කටපාඩම්ව තිබීම  තිර පිටපතේ සකස් විය යුතුව තිබුණු දුර්වලතාවකි.  අනවශ්‍ය තරම් දිග්ගැසුණු ඇයගේ නැටුම් කිසිදු අර්ථයක් උපද්දවන්නේ නැත. ඒවා බොරු රොමැන්ටික් සැරසිලි විදිහට නම් හොඳය.


 අවසානයේ කැරලිකරුවා සොයා පොලිසිය එද්දී දොර හරින්නේ තනපට රෙද්දක් හැඳි "ඇය"යි. තරුණියක තනියම සිටින බව තේරුම් ගැනීමෙන් හා ඇතුළත තිසර පටයක් හා ජංගි‍යක්  එල්ලා තිබෙනු දැකීමෙන් කාමරය පරීක්ෂා නොකොට ආපසු යන පොලිසියක් තිබුණා නම් මරා දැමූ හැට දහසක තරුණ තරුණියන්ගෙන් කොපමණ දෙනෙකුට බේරෙන්න තිබුණාද ?

 ආසිරි ඇල්ලගේ නම් වූ නවක නළුවා ඔහේ ඉන්නවා මිස කරන රංගනයක් නැත. රඟනොපා සිටීමේ රංගනය ඔහුට ආගන්තුකය.  87- 90 කැරලිකරුවා  ආතක් පාතක් නැති රූකඩයක් බවට රංගනයෙන් ප්‍රකාශ වීම අධ්‍යක්ෂකවරයාගේ අවශ්‍යතාවදැයි නොදනිමි.


 චිත්‍රපටයේ සාධනීය ලක්ෂණ වන්නේ ව්‍යාජ තිරපිටපතක් වුවද සූක්ෂ්ම ලෙස අධ්‍යක්ෂණය කොට තිබීමයි. සුදත් මහදිවුල්වැව අධ්‍යක්ෂණයේ රුසියෙකු බවට තර්කයක් නොමැත.  රුවන් කොස්තා ඉතා අසීරු කැමරාකරණයක හා ආලෝකකරණයක නියුක්තව ඇත. විශේෂයෙන් අතපය දිග හරින්න ඉඩ කඩ නැති කාමරයක් ලෙස සකස් වූ සෙට් එකක මේ කාරියේ ඇති දුෂ්කර බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. අජිත් රාමනායකගේ සංස්කරණය තවත් සූක්ෂම වූවා නම් මැනවි. එහෙත් පැය එකහමාරකට ඇදගෙන යන්නට ප්‍රමාණවත් සිද්ධි නොමැති, ඇදී යන දෙබස් ඇති  චිත්‍රපටයක් සංස්කරණය කිරීමේ අසීරුතා ඔහු අත්විඳින්නට ඇත. නදීක ගුරුගේ සංගීතය හා ගායනය මගින් සුපුරුදු සමත්කම් දක්වා ඇත.


එසේම "ඇය" ලෙස රඟන තරින්දි ප්‍රනාන්දු තමන් සිංහල සිනමාවේ ඉතා විශිෂ්ට රංගන ශිල්පිනියක බව මනාව ප්‍රකට කර ඇත. ඇගේ ගමන, බිමන, බැල්ම, මුහුණේ හැඟීම්,  දෙබස් උච්චාරණය ඉහළ මට්ටමක පවතී. අධ්‍යක්ෂවරයා ඇගේ සියලු කුසලතා උදුරාගෙන මුදා හැර ඇත.


තරින්දිගේ රංගන පරාසය නොවන්නට "My Red Comrade"  ඕලාරික චිත්‍රපටයක් වීමට බොහෝ ඉඩකඩ තිබිණි. ප්‍රේක්ෂකයා ඇගේ රංගන දෙස බලා සිටින්නේ භාවනාවකට සම වැදුණු ආකාරයටය.

 මෙසේ විචාරයක් ලියන්නට උත්සුක වන්නේ  සුදත් මහදිවුල්වැවගේ "My Red Comrade"  කතා කළ යුතු චිත්‍රපටයක් හෙයිනි. එසේ නොවෙන බඩකඩෙත්තු එසැනින් අතහැර දීමට අප පැකිළෙන්නේ නැත. 

මේ අදහස් දැක්වීම සංවාදගත වන්නට නම් සිංහල සිනමා ලැදි හැමෝම  "My Red Comrade" චිත්‍රපටය නැරඹිය යුතුය. සුදත් මහදිවුල්වැව යනු සිංහල සිනමාවට රැක  ගත යුතු අධ්‍යක්ෂවරයෙකි.

පසුව ලියමි.

"My Red Comrade" චිත්‍රපට විචාරය ලියන්නට පෙර 2023 වසරේ තිරයට ආ "You'll Never Find Me" චිත්‍රපටය නරඹන්නැයි සිනමාලෝලීන් කීපදෙනෙක් මට ලින්කුව එවා තිබිණි.
මා හිතාමතාම විචාරය ලිව්වේ මේ විදෙස් චිත්‍රපටය නොබලාය.
ජොසියා ඇලන් හා ඉන්ඩියානා බෙල් අධ්‍යක්ෂණ්‍ය කළ "You'll Never Find Me" නමැති ඔ්ස්ට්‍රේලියානු චිත්‍රපටයට තේමා වන්නේ හුදෙකලා කාමරයක තනිවන වයස්ගත පුද්ගලයෙකු හා මහ වැස්සේ දොරට තට්ටු කොට පැමිණෙන තරුණ කාන්තාවක් පිළිබඳය.
මුළු චිත්‍රපටයම රූගත කර ඇත්තේ කාමරයක් තුළ රැඳුණු චරිත දෙකක් ලෙසිනි.

සුදත් මහදිවුල්වැවගේ "My Red Comrade" චිත්‍රපටයට පාදක වන්නේද හුදෙකලා කාමරයක තනිවන වයස්ගත පුද්ගලයෙකු හා මහ වැස්සේ දොරට තට්ටු කොට පැමිණෙන තරුණ කාන්තාවක් පිළිබඳය. වෙනස ඇත්තේ "You'll Never Find Me" චිත්‍රපටයේ තරුණිය එන්නේ දොරට තට්ටු කොට දොර ඇරවාගෙනය. "My Red Comrade" චිත්‍රපටයේ තරුණියට එන්නට අධ්‍යක්ෂවරයා දොර හැර තිබිණ. "You'll Never Find Me" චිත්‍රපටයේ තරුණිය ප්‍රේක්ෂකයාට පේන්නට නිරුවත් වන්නේ නැත. "My Red Comrade" චිත්‍රපටයේ එසේ නිරුවත් වෙයි.

එල්ලෙන පහන, ගුවන්විදුලි යන්ත්‍රය වැනි සංකේතාත්මක සමානතා තිබුණද "You'll Never Find Me" චිත්‍රපටයේ විශාල පොත් රාක්ක නැත. වියපත් වී සැඟවුණ දේශපාලන සටන්කකරුවෙක් නැත.
ආරම්භයේ යම් සමානකම් තිබුණද මේ චිත්‍රපට දෙකේ සිද්ධි දාමය එකිනෙකට හාත්පසින්ම වෙනස්ය. "You'll Never Find Me" යනු Horror චිත්‍රපටයකි. චිත්‍රපටය අවසානයේ ඉතා දරුණු සිදුවීම් වලින් ගහණය.

"You'll Never Find Me" චිත්‍රපටයෙන් මහදිවුල්වැව inspire වූවාදැයි නොදනිමි. එසේ වූවද ඉන් ගම්‍ය වන වරදක් නැත.
"විදෙස් චිත්‍රපට වලින් ආභාෂය ලැබූ හෝ ඉන්ස්පයර් වූ "හුස්ම"
"ප්‍රවේගය", "විය සිදුරු" අගය කළ මා හට චිත්‍රපටයක් ආභාෂය ලැබීම දඬුකඳේ ගසන්නට කාරණයක් නොවේ.

"You'll Never Find Me" ට්‍රේලරයේ හා චිත්‍රපටයේ ලින්කු පහතින්.







Tuesday 7 May 2024

සමාජ සත්කාරයකට ආරාධනා..!

  පස් ගෙබිමට සිමෙන්ති පොළොවක්....



අපේ හිතවතෙක් අධ්යාපන ශිෂ්යත්ව වැඩසටහනකට දරුවන් හඳුන්වා දෙන්නැයි ඉල්ලා සිටියා. ඒ අනුව ඉගෙනීමේ දක්ෂ, ඉතා දුගී පවුලක දරුවන් තෝරාගත්තා. 
 
ඒ පවුලේ පියා හෘද රෝගියෙක්. රැකියාවක් නොකරන්නැයි වෛද්යවරුන් නිර්දේශ කොට ඇතත් සුළු වශයෙන් මහන්සි වී බ්ලොක් ගල් හදනවා. මව දවස් කුළී රස්සාවක් කරනවා.
 
මේ පවුලේ දියණියන් තිදෙනයි. ඉගෙනගන්නේ 5, 9 හා 10 වසරවල. 
ඔවුන් ගැන දැන සිටියේ අමාරුවෙන් දරුවන්ට උගන්නන්නට මහන්සි වන දෙමාපියන් ලෙස පමණයි.
 
දරුවන්ට අධ්‍යාපනය සඳහා මාසික ආධාර දීමට යාමේදී තමයි දැන ගත්තේ ඔවුනට වැසිකිළියක් නැති බව. ඔවුන් පාවිච්චි කරන්නේ තරමක් එහායින් වූ ඥාතියෙකුගේ වැසිකිළියක්.
 
ඒ බව කලින් කී හිතවතාට පැවසූ විට තැනීම ආරම්භ කොට අතරමග නැවතුණු වැසිකිළිය නිමවා ගැනීමට අවශ්ය ප්රතිපාදන සැපයීමත් බාර ගත්තා.
 
මේ සමඟ පළ කරන්නේ නිවසේ ඡායාරූප කීපයක්. ගැහැණු දරුවන් තිදෙනෙකු සිටින (දෙදෙනෙකු වැඩිවියට පත් වූ) පවුලේ පස් දෙනා දිවි ගෙවන්නේ බිත්ති බැඳ, වහලයක් ඇති, බිමට සිමෙන්ති නොදැමූ, පස් ගෙබිමෙන් යුතු නිවසකයි. 
 
ඔව්...දූවිල්ල පිරි පස් ගෙබිමක්.....
 
නිවසක් නොතිබුණු, ඥාති නිවසක කාමරයක දිවි ගෙවමින් සිටි ඔවුන්ට, තමන්ට කියා ගෙපැළක් හදා ගන්නට රජයෙන් ලද ආධාර මුදලක් ලැබුණා.  ඊට මදි පාඩුවට බැංකු දෙකකින් ගත් ණය මුදලට මාසික වාරික ලෙස 
රු. 18000/= ක් මාසිකව ගෙවනවා. ඒ අතර තමයි ගෙහිමියාට හෘද රෝගය සැදී ඇත්තේ.

මාසිකව රු. 18000/= ක් ගෙවනවා කියන්නේ ලේසිපාසු කටයුත්තක් නොවන බව පැහැදිලියි. සෙල්ලම් බඩු හදන නිවසක කුළී රැකියාවක් කරමින්  දවසකට රු. 1000/= බැගින් දරුවන්ගේ මව උපයන මුදලින් තමයි මේ ණය ගෙවන්නේ. 

හරියට කුසට අහරක් නැතිව මේ පවුල ගත කරන්නේ ඉතා දුෂ්කර දිවියක්.
 
අපේ හිතවතුන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ නිවසේ ගෙබිමට සිමෙන්ති දමා,  දරුවන්ට ආරක්ෂිතව ස්නානය කිරීමේ ආවරණය වූ නාන කාමරයක් තනා දීමට උදව් කරන ලෙසයි. නළ ළිඳ වටා ඉටිරෙදි වලින් ආවරණය කරගෙන තමයි ගැහැනු දරුවන් නාන්නේ.
 
නිවස කපරාරු කිරීම, ජනෙල් සවි කොට දීම වැනි අවශ්‍ය හැමදේම කරන්න අපට කරන්න බැරි වෙයි. ඒත් අවම අවශ්‍යතා සපුරා දීමට උත්සහයක් ගන්නයි අපේ අරමුණ.

දැනට මූලික අවශ්යතා සපුරා දෙමු. මුදල් නිසි ලෙස යෙදවීම හා වැඩකටයුතු අධීක්ෂණය පිළිබඳ වගකීම අපි බාර ගන්නවා. 
 
ලැබෙන මුදල් පාරදෘශ්ය බවින් යුතුව කළමනාකරණය කිරීම අපේ වගකීමක්.
මොවුන්ගේ ජීවන මට්ටම මඳකින් හෝ ඉහළ දැමීම සඳහා සුළුවෙන් හෝ හැකි පමණින් ඔබේ කාරුණික උදව්ව ඇවැසි මොහොතක්.
 

(අප කළ හා කරමින් ඉන්නා සමාජ සත්කාර දෙකක් ගැන මේ මොහොතේ සඳහන් කරන්න කැමතියි.
වසරකට පමණ පෙර වැසිකිළියක් තනාදී වැහිවතුරෙන් යට වෙන පැල්පත වෙනුවට බාගෙට ඉදිකොට තිබූ නිවස නිමා කොට දුන්නා.
* පියා ගහකින් වැටී මියගිය පවුලේ දරුවන් තිදෙනාගේ අධ්‍යාපනයටත්, මාසික ආහාර පාන ලබා දීමටත් උදව් කරනවා.)
 
කෙලින්ම ඔවුන්ගේ බැංකු ගිණුමට හෝ අප හරහා හෝ උදව් කරන්නට කැමැති අයට 0779427650 දුරකථනයට අමතා හෝ WhatsApp පණිවුඩයක් එවා ගිණුම් විස්තර ලබා ගන්න පුළුවන්. 

-සිතන්නා...

Wednesday 24 April 2024

තෙවරක්පෙරුණු තෙවරප්පෙරුම


දැන් දැන් පාලිත තෙවරප්පෙරුම මිය ගිය ආකාරය ගැන අලුත් විස්තර එනවා.
ඔහු මිය ගිහින් තියෙන්නෙ නීති විරෝධිව, ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන රැහැන් වලින් විදුලිය අරන්.
සරලවම මේක ජාතික ධනය හොරකමක්. පොදු දේපළ පනත යටතේ ඇප නොදිය හැකි අපරාධමය වරදක්.
ඔහු හොරාට විදුලිය අරන් තියෙන්නේ වල් ඌරන් ඝාතනය ඉලක්ක කරලා.
එතන දඩමස් ජාවාරමකුත් තියෙනවා.
ඒකත් නීති විරෝධි වගේම සදාචාරාත්මක විරෝධි වැඩක්.
පස් පවෙන් එකක් කැඩෙනවා.
වල් ඌරො ඉලක්ක කළාට මිනිහෙක් වුණත් මිය යෑමේ අවදානමක් එතන තියෙනවා.
පොල් ගෙඩියක් ඇහිදගන්න එන මිනිහෙක් වුණත් උගුලට අසු විය හැකියි.
පාලිත තෙවරප්පෙරුමට වුණෙණෙ ඒක.
හොඳම වැඩේ ඒක නෙවෙයි.
මේ ඉඩම පාලිත තෙවරපේරුමට අයිති ඉඩමක් නෙවෙයි.
විදෙස්ගත වෛද්‍යවරයෙකුට අයිති ඉඩමක්.
පාලිත තෙවරප්පෙරුම ඒක අල්ලගෙන තියෙන්නෙ බලහත්කාරයෙන්.
දේශපාලන බලය සහ චන්ඩිකම පාවිච්චි කරලා.
ඉඩම අයිතිකාරයාට අරන් දෙන්න ආපු රාජ්ය සේවකයන්ට පවා පහර දීලා එලවගෙන.

නිතීවිරෝධි වගේම දැඩි සමාජ විරෝධි වැඩක්.
හැබැයි මේ දේවල් එලිවෙමින් තියෙද්දි, මහ සමාජය මේ තොරතුරු රිජෙක්ට් කරනවා.
ඒ දේවල් එලි කරන මිනිස්සුන්ට බනිනවා.
මේ දේවල් වැරදි බව දැන දැනත්, ඒක හිතාමතාම හංගනවා.
ඒකට හේතුව තමයි පාලිත තෙවරප්පෙරුම මහ සමාජයට ප්‍රොජෙක්ට් කරපු ඉමේජ් එක.
පාලිත ප්‍රොජෙක්ට් කළේ සමාජයට අභියෝග නොකරන, දුර්වලයෙකුගේ ප්‍රතිරූපයක්.
අර සාමාන්‍ය මිනිස්සු ඉල්ලනවා වගේ සරමක් ඇඳන්, ගස් උඩ නැගලා ඉන්න රූපයක්.
එහෙම මිනිස්සුන්ට සාමාන්‍ය මිනිස්සු කැමතියි.
තමන්ට වඩා උඩින් ඉන්න මිනිස්සුන්ට සාමාන්‍ය මිනිස්සු අකමැතියි. එහෙම මිනිස්සුන්ට ගහලා බිමට දාන පුරුද්දක් මහා සමාජයට තියෙනවා.
හැබැයි තමන්ට වඩා යට ඉන්න (බව පෙන්වන) මිනිස්සුන්ට සමාජය ආදරෙයි.
මෙතන මිනිස්සුන්ට වැදගත් පාලිත ප්‍රොජෙක්ට් කරපු බිම නිදාගන්න, අව්වේ සෙරෙප්පු නැතුව ඇවිදින, සරමක් ඇඳන් ඉන්න චරිතය මිසක් එතන පිටිපස්සෙ ඉඳන් පාලිත කරපු දේවල් නෙවෙයි.
ඒවා මිනිස්සුන්ට අදාළ නැහැ.
මිනිස්සුන්ට අභියෝගයක් නොවී, මිනිසුන්ගේ ඊර්ෂ්‍යාවට ලක් නොවී, අනුකම්පාවට ලක් වූ නිසා ඔවුන් පාලිතට ආදරෙයි.
හැබැයි පාලිත කරපු සමාජ විරෝධි වැඩ කිසිවක් නොකර, හොඳට ඇඳලා, ලස්සනට මිනිහෙක් හිටියා නම් සමාජය ඔහුට වෛර කරනවා.
තමන්ට වඩා ඉහළින් ඉන්න, තමන්ට අභියෝගයක් වෙන මිනිස්සුන්ට සමාජය පහර දෙනවා.
පාලිත කරපු පව් මිනිසුන් විසින්ම වසා දමනවා.
ඔහු ඉතාම හොඳ, ගුණ යහපත් මිනිසෙක් විදියට බෞතිස්ම කරනවා.
පාලිත එහෙම නැති බව සමහර විට ඔවුනුත් හිත යටින් දන්නවා.
හැබැයි ඇමතිවරුන්ගේ විදුලි බිල් ගැන කතා කරපු මිනිස්සුම, ලක්ෂ ගාණක පාලිත හොරකම් කරපු විදුලිය නොසලකා හරිනවා.
පස් පව් ගැන කතා කරන මිනිස්සු, පාලිතගේ ඌරන් ඝාතනය නොසලකා හරිනවා.
වෛද්‍යවරයෙකුගේ ඉඩම මංකොල්ල කෑම නොසලකා හරිනවා.
ඒ සියල්ල පාලිත මහා සමාජයට එලිපිට අභියෝගයක් නොවී, ඔවුන්ගේ ඊර්ෂ්‍යාවට පාත්‍ර නොවී, ඔවුන්ගේ ජීවිතයට වඩා සැපපහසු ජීවිතයක් ගත නොකරන බව පෙන්වීම නිසයි....

උපුටාගැනීමකි.

 මේ විතරක්ද ?

මඟුල් ගෙදරක ගිහිං කාන්තාවක් ඩාන්ස් කිරීම ප්‍රතික්ෂේප කළා කියලා T 56 අරගෙන ට්‍රැක්ටරයකින් ඇවිත් අහසට වෙඩි තියලා එතන ගිනි විච්ඡුම්බරයක් කළ බව මගේ මිතුරු මාධ්‍යවේදියෙකු කිව්වා.
ප්‍රමෝෂන් වැඩ වලට කැමරා අරං ගියාට මේවට නං ගෙනියන්නෙ නෑ..
එහෙම පජාත වැඩ තව ඇති.
හැබැයි මහා සමාජය ඒවා වහනවා.

-සිතන්නා...

Thursday 18 April 2024

කුලය හා සර්වෝදයේ “විප්පලය”- නන්දන වීරරත්න

රැඩිකල් කියන පත්තර වල පළ  ෙනාවන  ෙතාරතුරු ඩිජිටල් මාධ්‍ය හරහා එළියට එන කාලයක්...

                                                                    ඒ. ටී. ආරියරත්න
1958 කුරුනෑගල දිස්ත්‍රි්‍රියේ ‘කනතොලුව' [රෝඩි] ගම්මාන් පටන් ගත් සර්වෝදයේ ග්‍රාම සංංවර්ධනය, ගම් 15000 ට පැතුරුණු බව රාජ්‍ය ගෞරව සහිතව ආදාහනය කිරීමට නියමිත ආචාර්ය ඒ. ටී. ආරියරත්න වෙනුවෙන් ලියවෙන පුරසාරම්වල තියෙනව. මම ලංකාවේ සෙසු කුල ගම්මානවල ඇවිදි ගියේ 1970 ගණන්වල අග ඉඳලයි. ඒ කියන්නේ සර්වෝදය සිය ග්‍රාමෝදය “විප්පලය” ආරම්භ කර අවුරුදු 20ට පසුවයි. ඒ ගම්මානවලට ‘කනතොලුව’ ඇතුළත්. මම ‘කනතොලුවට' ගියේ 1992 විතර. වෙලා තිබුණු එකම වෙනස බොහෝ ගාඩි ගම්මානවල වගේම එහිත් එකල සිටි රජයේ නිලධාරීන් මැදිහත් වූ කසාද බැදීම් හා ඔවුන්ට ගොවි කුලයට අයත් වාසගම් සහිත නව උප්පැන්න ලබා දීම පමණයි.
කුලවාදයට විරුද්ධධවතීරණාත්මක විරෝධතා ව්‍යාපාරයක් තිබුණේ සමසමාජ ව්‍යාපාරය තුළ පමණයි. සර්වෝදය හා අනෙකුත් ආගමික සංවිධාන කළේ කුල බෙදිම් ’හිඟන්නාගේ තුවාලය’ කර ගනීම විතරයි. සමසමාජ ව්‍යාපාරය දුර්වල වෙද්දි ගම්වල ඒ තැන ගන්න සර්වෝදය හා වෙනත් රාජ්‍ය නොවන සංවිධාන [NGO] කුල ගම්මානවලට ගියත් ඒවා එන්.ජී. ඕ රැඟුම් හැටියට අවසන් වුණා. එයට හොඳම උදාහරණ ආරියරත්නගේ සර්වෝදයෙන් මෙන්ම ඔහුගේ සොහොයුරියගේ පුතා හර්ෂ කුමාර නවරත්නගේ ‘සේවා ලංකා ආයතනයෙන්' ගන්න පුළුවනි. ඒ සංවිධාන දෙකම පවුල් සමාගම්. එවායේ ප්‍රධාන නායකයෝ වගේ මුල්‍ය පාලකයෝත් පවුලේ සමීප ඥාතීන්. ඉතින් වරිග සභා හැටියට පවතින සංවිධාන කොහොමද සමාජයට සමානාත්මතාව දෙසා බාන්නේ...?

මේ රාජ්‍ය නොවන සංවිධාන නායකයන් ගැනැත් යමක් ලියන්න ඕන. සර්වෝදයට මම වැඩ නොකළත් මම ‘රාවයට’ ලියන්න යන කොට එහි සර්වෝදයේ පෙකෙණි වැල යන්තමට තිබුණ. එක දවසක් මම රාවය කන්තෝරුවේ ඉන්න වෙලාවක තරුණ හමුදා සෙබෙළෙක් කර් මණ්ඩලය අසලට ඇවිත් කතාවක් කීව. එයාට වෙන අසාධාරණයක් ගැන.
එයා මෙහෙම කීව.

"මම විවාහවෙල ඉන්නේ සර්වොදයේ නායක ආරියරත්න දරුකමට හදා ගත්තු දුවත් එක්ක. මම අවුරුද්දේ වැඩිහරියක් ඉන්නේ උතුරු පැත්තේ යුධ බිම්වල. මම ගෙදර නැති අතරේ මගේ බිරිඳ එක්ක අයථා සම්බන්ධයක් ආරියරත්න පවත්වාගෙන යනව. මට මේකට විසඳුමක් නෑ. මේ කතාව පත්තරේට දාන්න."

‘රාවය’ ඔහුට කන් දුන්න. ඒත් ඒ ැන කිසිම දෙයක් ලිව්වේ නෑ. සෙබළා ඔහුගේ දුක කියා පිටත් වුණාම, එවකට නියොජ්‍ය කතෘ උපාලි කොළඹගේ මෙහෙම කීව.
“ඩොක්ටර් ආරියරත්න, කිසිම ස්ත්‍රියකට බලහත්කාරකම් කරන්නේ නෑ. ඕනෑම දෙයක් කරන්නේ කැමැත්ත ඇතිව. ඩොක්ටර් ලඟ ඒක පරීක්ෂා කරන විදිහක් තියෙනව. ඒ පරීක්ෂාවෙදි ස්ත්‍රියක් රැව්වත් එයා එතනින් එහාට යන්නේ නෑ”

සමහරවිට උපාලි ඒ කතාව කියන්නේ ඇත්තේ මේව අලුත් දේවල් නොවෙයි කියන්නයි. රාජ්‍ය නොවන සංවිධානවල නායකයෝ, බෞද්ධද, ක්‍රිස්තියානිද, කතෝලිකද කියල වෙනසක් නෑ. ඔවුන් ස්වකීය පුද්ගලික වුවමනාවන් සපුරා ගන්න ඒවායේ අරමුදල් හා සේවකයන් යොදා ගන්නව.

                                    හර්ෂ කුමාර නවරත්න

සර්වෝදයේ සිටි එක් නායකයෙක් චිත්‍රපට නිෂ්පාදකයෙක් වුණා. එහි එක් ප්‍රධාන අරමුණක් වුයේ ඔහු වඩාත්ම අසා කරන නිළිය වසඟයට ගැනිමට. එයා ඒ වෙනුවෙන් චිත්‍රපටි 2 – 3 හැදුව, ආසාව ඉටු කර ගන්න.

(හර්ෂ කුමාර නවරත්න අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයි, රඟපාපු නිළියයි හොයා ගත්තොත් comment එකක් දාන්න.- -සිතන්නා...)
- ප්‍රවීණ මාධ්‍යවේදී නන්දන වීරරත්න ලියූ සටහනක්

-සිතන්නා...

Monday 1 April 2024

පිටකැසීමේ විචාර

 

                     

මහර නවකතා, චිත්රපට මට ගන්නම දෙයක් නැති අසාර්ථක ප්රකාශන වෙද්දි ප්රවීණ කලාකරුවන් ඇතුළු ආචාර්ය මහාචාර්යවරුන් ඒවා අතිශයින් වර්ණනා කරමින් යුගයේ බිහි වූ විශිෂ්ටතම කෘති ලෙස හඳුන්වද්දී මට මගේ රසඥතාව ගැන යළි හිතා බලන්න වෙනවා.

ඒ හංදා මගේ අදහස් විමසා පොත් එවීමෙන් වළකින ලෙසත්, මට චිත්රපට නරඹන්නට ආරාධනා නොකරන ලෙසත් මගේ මිතුරන්ගෙන් ඉල්ලා සිටින්නට කැමතියි.

එක්කෝ මං මැට්ටෙක්. නැත්නම් අනෙක් සෙට් එක අමු තක්කඩි.

මෙහෙම කියන්න හේතු වුණු කාරණා හතරක් කියන්නම්.

1. මගේ මිත්‍රයෙක් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළා. එකල මෙන්ම අදත් ඔහු ඉන්නේ විදෙස්ගතවයි.
එකල මා පුවත්පතකට චිත්‍රපට විචාර ලියමින් හිටියා. මා මේ චිත්‍රපටය ගැන මට දැනෙන දේ ලිව්වා. හොඳ මෙන්ම නරකත්.
ඔහු මා එක්ක අමනාප වුණා.
ඔහුගේ හිතවතුන් චිත්‍රපටය බෙහෙවින් අගය කළා.

2. මගේ තරුණ කාලේ ඒ වන විට පොත් කිහිපයක් පළ කොට තිබූ ලේඛකයෙකුගේ අලුත් පොත ගැන ප්‍රසිද්ධ වේදිකාවේ අදහස් දක්වන්නට මට ආරාධනා ලැබුණා. මට පොත දිරෙව්වෙම නෑ. මා පොත ගැන දැඩි විවේචනයක් එල්ල කළා. 
එදා පැවැත් වූ අනෙක් දේශන වලදී පොත බෙහෙවින් අගය කළා.
ඔහු මා එක්ක අමනාප වුණේ නැහැ.

3. මෑතකදී මගේ මිතුරෙක් චිත්‍රපටයක් නිර්මාණය කළා. චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් නැරඹීමට මට ආරාධනා කළා.   එය සිනමාත්මක වැඩක්. ඒත් අඩුපාඩු කිහිපයක් මා දැක්කා. ඒ්වා සකස් කරගන්නේ නම් චිත්‍රපටය වඩාත් හොඳ මට්ටමකට ගෙන එන්නට හැකිය කියන අදහසින් තමයි  ෆේස්බුක් හි ඉතා කෙටි අදහසක් ලිව්වේ.
ඔහුගේ හිත රිදී තිබුණ නිසා මගේ අදහස ඉවත් කළා.

 මේ ගැන වෙනත් අයගේ වර්ණනාත්මක ස්වරූපයේ අදහස් පළ වී තිබුණා. 
ඔවුන් මා දුටු අඩුපාඩු දැක්කාද, නොදැක්කා සේ සිටියාද කියා දන්නේ නැහැ. හැබැයි චිත්‍රපටය නරඹා පහළට එද්දී වෙනත් විචාරකයෙකු මගේ එක් අදහසකට එකඟ බව කිව්වා. ඒත් ඔහු ඒ බව ප්‍රසිද්ධියේ කියන එකක් නැහැ.


4. කිසිදා මට හමු වී නැති නවක ලේඛකයෙකු තමන් ලියූ නවකතාවක(?) පිටපතක් මට එවා අදහස් විමසුවා. මගේ අදහස් දැනගන්නට අවශ්‍ය බව නැවත නැවත සිහිපත් කළා. ඒ පොත මගේ පොත් අතර සැඟවී තිබී අමාරුවෙන් සොයා ගත්තා.
එම පොත නවකතාවක් නොවන බවත්, හුදු ජීවන තොරතුරු වාර්තා කිරීමක් බවත් මා පෞද්ගලිකව ලියා යැව්වා.
ඔහු ඉන් සතුටට පත් වූයේ නැහැ.

මා එලෙස සිතන්නේ පොත ගැන වර්ණනා කරමින් ප්‍රවීණයින් ලියූ ප්‍රසශ්ති මට කියවන්නට එවූ නිසයි. එසේම මේ පොත කිසියම් තරඟයකින් ප්‍රථම ස්ථානය ලැබූවක් බවද වැඩිදුරටත් සඳහන් කොට තිබුණා.

හිතවතුන්ගේ පිටකසන විචාර නිර්මාණකරුවා ගෙඩි පිටින් ගත්තොත් ඒ ඔහුගේ විනාශයේ ආරම්භයයි. ඒ වගේම නාඳුනන කෙනෙකුගේ පොතක් ගැන අදහස් පළ කරන්නැයි ඉල්ලා සිටි විට පොත උඩින් පල්ලෙන් පෙරළා ඔසවා තබන ප්‍රවීණයින් කරන්නේ හානියක්.


-සිතන්නා...

Tuesday 26 March 2024

අන්තෝජටා බහිජටා

 මේ ප්රශ්න කිරීම වගේම තොරතුරු සඳහන් කිරීම කිසිවෙකු හෝ කිසිදු වෘත්තියක් අපහසුතාවට පත් කිරීමට නොවේ. අදාළ විශේෂඥයින්ගේ උපදෙස් සඳහාය.


භෞත චිකිත්සාව...

මගේ ගෙල පෙදෙසේ අසනීපයකට භෞත චිකිත්සාව නොහොත් තේරෙන සිංලෙන් කිව්වොත් ෆිසියෝතෙරපි (Physiotherapy )
නිර්දේශ කළා. විවිධ තැන් වල විවිධ මිල. ඒක නොවෙයි ප්රශ්නය. එක් එක් තෙරපිස්ට් ගේ තෙරපි රටාව වෙනස් වීම. හා ඒක කමක් නෑ කියමුකො. ඒත් එකෙක්කෙනා දෙන ව්යායාම වෙනස් විතරක් නොවේ එක්කෙනෙක් නිර්දේශ කළ ව්යායාම දැන්ම කරන්නෙපා කියලත් කියනවා. මේ හැමෝම KDU හෝ පේරා ග්රැජුවේට්ලා. පස් දෙනෙක් භෞත චිකිත්සා කළා. පස් ආකාරයක්.
මොන භූත චිකිත්සාවක්ද මංදා..
"මං මස්ල් රිලැක්ස් කළාම ආයෙ ස්ටිෆ් වෙලානෙ.." හොඳටම කරන තෙරපිස්ට් නෝනා කිව්වා.
"ඉතිං මං මොකද කරන්නෙ..එක එක දවසට එක එක්කෙනානෙ ඉන්නෙ.."
===============


වෛද්ය ප්රතිකාර...

ඕක මොකක්ද...දොස්තරලත් එකම ලෙඩේට විවිධ ප්රතිකාරනෙ කරන්නෙ. සමහරු කලින් දොස්තර දුන්නු බේත් විසිකරල දාන්න කියනවත් එක්ක.
මේ අසනීපෙදිත් එහෙමයි. එක දොස්තර කෙනෙක් ගත්තු එක්ස් රේ බලලා ඔය පැත්තෙන් අරං බෑ..මේ පැත්තෙන් අරගෙන එන්න කියලා අනෙක් දොස්තර කියපි. දුන්නු බේත් වෙනස් කරපි.
මේ අසනීපෙ විතරක් නොවෙයි. ගොඩක් වෙලාවට වෛද්යවරුන් දෙන්නෙක් ළඟට ගියොත් දෙවිදිහක්. තුන් දෙනෙක් ළඟට ගියොත් තුන් විදිහක්.

=======================
ෆිසියෝතෙරපිස්ට්ලා, දොස්තරලා අහිතක් හිතන්න කාරි නෑ...ඇයි ඒ මදිවට ඉංජිනේරුවෝ ...



ඉංජිනේරු උපදෙස් ...

හිතවතෙක් ගෙයක් හදන්න ප්ලෑන් ඇඳලා, ආකිටෙක්ට් සැලසුම් සකස් කරලා ඩිසයින් එක ස්ට්රක්චරල් ඉංජිනේරුවෙකු ලවා කරවා ගත්තා.
වැඩබිම බාර ගත්තු සිවිල් ඉංජිනේරුවා කිව්වා යෝජිත කම්බි ලොකු වැඩියි. 16 ට 12 දාන්න පුළුවන් ...10 ට 8 දාන්න පුළුවන් කියලා. ඊට පස්සෙ ඒ බව මට කිව්වා. මං නමට ඉංජිනේරුවට ඕවා තේරෙන එකක් යැ. සැක හැර දැනගන්න පේරා Structural ඉංජෙකුට පෙන්නුවා.

"වැඩියි තමයි මචං. ගොඩක් නොවේ ටිකක්.
ඉන් ඩීටේල් කැල්ක්යුලේට් කළොත් 16 කීපයක් 12 කළෑකි. හැබැයි සේවිං එක 10% විතර.
ඕක ඔහොමම කරහං" කිව්වා.

10% සේවිං එකත් ලක්ෂ 5 ක් විතර.
කෝකටත් කියලා අමාත්යංශයක ඔවැනි ගණනය කිරීම් චෙක් කරන ජූනියර් පේරා ඉංජෙකුට පෙන්නුවා. පෙන්නුවාමත් නොවේ...කතාවට ගිහිං මේ අලකලංචිය කිව්වම බලෙන් ඉල්ලන් බැලුවා.

"හපොයි...මේ කම්බි සයිස් මදි. ෆුටින් එකත් මදි" කිව්වා. මයි ෆුට්...☹️

-සිතන්නා...

Friday 22 March 2024

නික්ම ගිය මහාචාර් ය චන්ද්‍රසිරි පල්ලියගුරු

 

ලංකාවේ මෙතෙක් පළවූ සිනමාව ගැන සාරගර්භ හා දුර්ලභ දැනුමක් ගෙනා චිත්‍රපට සඟරාව වන්නේ ඈෂ්ලි රත්නවිභූෂණ ගේ ආසියානු සිනමා කේන්ද්‍ද්‍ර මගින්, ඔහුගේම සංස්කාරකත්වයෙන් යුතුව පළ වූ "සිනෙසිත්" සඟරාවයි. 1985 වසරේ නිකුත් වූ "සිනෙසිත්" සඟරාවේ පළමු කලාපයට එවකට කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්ද්‍ද්‍රරි පල්ලියගුරු ලියූ "දේශපාලන සිනමාවේ මූලිකාංග" නමින් වූ ලිපිය මගේ නෙත ගැටුණේ ඉන් වසර කීපයකට පසුව "සිනෙසිත්" සඟරා සියලු කලාප සන්තක කොට ගනිද්දීය.

ඉනුත් වසර 12 කට පසු මගේ පශ්චාත් උපාධි නිබන්ධය සඳහා "ලාංකික සිනමාවේ දේශපාලන ප්‍රවණතා" මැයෙන් අයන කටයුතු කරන්නට පෙළඹුණේ ඉහත කී ලිපියයි.
එවිට මගේ උපදේශකයා වූයේද ආචාර්ය චද්‍රරසිරි පල්ලියගුරුමය. ලාංකික සිනමාවේ බිහිවූ දේශපාලන චිත්‍රපට පිළිබඳ අධ්‍යයනයේදී එතෙක් චන්ද්‍ද්‍රරි පල්ලියගුරු, ගාමිනී වේරගම වැන්නන් ගෙන ආ ප්‍රවාදය හරස් විය. ගාමිණී ෆොන්සේකා කිසිසේත්ම දේශපාලන සිනමාකරුවෙකු නොවන බව මා තර්කානුකූලව ගෙන හැර පෑවද පල්ලියගුරු ආචාර්යතුමා ඊට එකඟ නොවීය.

අවසානයේ ගුරු ගෞරවය රඳවා ගෙන මගේ පශ්චාත් උපාධි අධ්‍යයනය අතැර දැමුවෙමි.

ඉනුත් වසර 5 ට පසුව එකී අධ්‍යයනය නැවත ආරම්භ කළේ ආචාර්ය ආරියරත්න ඇතුගල යටතේය. එකී අධ්‍යයනය සම්පූර්ණ කිරීමේදී ලාංකික සිනමාවේ සිටි එකම දේශපාලන සිනමාකරුවා ධර්මසේන පතිරාජ බව මගේ තීන්දුව විය. "ලාංකික සිනමාවේ පතිරාජ ලකුණ" නමින් කෘතියක් පළ කළේ මේ නිබන්ධය ඇසුරිණි.

තමන්ගේ මතයට එරෙහි වූ ශිෂ්‍යයා ගැන මහාචාර්ය පල්ලියගුරු උරණ වූයේ නැත. ඉන් පසු හමු වූ බොහෝ අවස්ථාවල හිස මඳක් ඇල කොට දුක සැප විමසන්නට අමතක කළේ නැත. එතුමන් මෙරට බුද්ධිමතුන් විශාල පිරිසකට නිසි මඟ හෙළිපෙහෙළි කළ දක්ෂ ගුරුවරයෙකි. චන්ද්‍රසිරි පල්ලියගුරු යනු නිහතමානී බවේ සංකේතයකි.

දැවැන්ත ගල් කුළුණු එකින් එක ඇද වැටෙන්නට පටන් ගෙන තිබේ. මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරුගේ අභාවය ඊට සාක්ෂි දරයි.

-සිතන්නා...

Tuesday 12 March 2024

මැලේසියාවේ යාඤා ගෘහයක මුත්‍රා කිරීම

ගේ YouTube චැනලය වන කතා කෝච්චියෙන් මෙවර ඉදිරිපත් කරන්නේ වෙනස් ආකාරයක කතා දෙකක්.



පළමු කතාවට පාදක වන්නේ "නොනිමි ගමන {Endless Journey}" කෙටි චිත්‍රපටය ඇමෙරිකාවේ ‌ලොස් ඇන්ජලීස් හි තිරගත වූ අවස්ථාවේ නැවතී සිටි Sheraton හෝටලයේ දී දුම් පානය කොට දඩයකට ලක් වීම

ඒ අකරතැබ්බයක් අවසානයේ කොළඹ අලුත්කඩේ උසාවියේ නඩුවක් සඳහා පෙනී සිටින්නට ගිය විට අලුත් කඩේ උසාවි බිමේ වවුල් වසුරු තලියක් මත ඇද වැටීම

ඒ අකරතැබ්බෙන් පසු පිටකොටුවේ බෝ ගහ අසල උඩුකය නිරුවතින් ඇඳුම් මාරු කිරීම


දෙවැනි කතාවෙන්

මැලේසියාවේ යාඤා ගෘහයක මුත්‍රා කිරීමේ අති බිහිසුණු අවස්ථාව විස්තර කෙරෙනවා.

-සිතන්නා...

Thursday 7 March 2024

225 පමණක් නොව රටේ වැඩි දෙනා හොරු

 



හොරු ගැන හොරෙකුගෙන් .....

ගී පදමාලා, සාහිත්‍ය කෘති හොරු ගැන ෆේස්බුක් පෝස්ට් දෙකක් දැම්මම නොහිතපු හොරු එළියට ආවා. ඒ වගේම සමහරු හොරකම වහන්න උත්සහ කළා. නිකං වෙන්න බෑ ..ඔය කිව්වට ෂුවර් නෑ වගේ අදහස් තිබුණා.

මේ ලියන්නෙ ඒ ගැන නොවෙයි. ඒ එක්කම හිතේ මතු වුණු කාලාන්තරයක් තිස්සේ තියෙන අදහසක්.

ඉහත සඳහන් නිර්මාණ හොරු ඉන්නවා. ඒ වගේම ශිෂ්‍යයින්ගේ පර්යේෂණ මංකොල්ල කාලා තම නම යොදා ප්‍රකාශන එළිදක්වන ආචාර්ය මහාචාර්යවරුන් ඉන්නවා.

ඊටත් එහා කියන්නෙ මා ඇතුළු සමස්ථ සමාජයේ වැඩිදෙනා කිසියම් හොරකමක්, හොර වැඩක් කරලා තියෙනවා. එහෙම නොවෙන කෙනෙක් ඉන්නව නං කලාතුරකින්.

මං ප්‍රසිද්ධ හොරෙක්.
පොත් හොරකම් කරලා තියෙනවා.
බස්, කෝච්චි වල හොරෙන් ගිහිං තියෙනවා. චාන්ස් එකක් ආවොත් තවමත් යනවා.
මාර්ග නීති කඩලා පොලිස්කාරයින්ට පගාව දීලා හොරකමට උදව් කරනවා.
පුතාව තර්ස්ටන් එකට දාන්න හොර ඇඩ්රස් හැදුවා. ඉස්කෝලෙට පගාව දුන්නා.
පස්සෙ කාලෙක මං ඡන්ද නාම ලේඛනයේ ලියාපදිංචි වෙලා නොතිබුණ නිසා පුතාට පුරවැසි හැඳුනුම්පත ගන්න ග්‍රාමසේවකට පගාව දීලා ඒක කර ගත්තා.

මෙතන ලියන්න බැරි හොර උප්පැන්න සහතික හැදීම, පෞද්ගලික වාසියක් සඳහා මගේ පෞද්ගලික තොරතුරු රැගත් කාර්යාල ලිපි ගොනුවක් හොරකම් කිරීම් වගේ හොරකම් කරලා තියෙනවා.

ඇයි හොර අත්සන්. ඉස්කෝලෙ යද්දි තාත්තගෙ අත්සනෙන් පටන් අරං විවිධ අත්සන්. මං පට්ට හොරෙක් කියන්න ඔය මදෑ..

ගොඩක් අය දරුව පාසලට දාන්න හොර වැඩ කරනවා.
ආණ්ඩුවේ කන්තෝරුවල පහළම පියන්ගේ ඉඳන් හොරකම් කරනවා.
ෆයිල් එකක් යට ගහන්න, යට තියෙන එකක් උඩට ගන්න සල්ලි ගන්නවා.
ලිපිකරුවා ඉක්මනින් වැඩක් කරන්න සල්ලි ගන්නවා.
ආර්.එම්.වී, අයිඩෙන්ටිටි කාඩ්, පාස්පෝට් කාර්යාල වගේ තැන්වල
ප්‍්‍රසිද්ධියේ හොරකම් කරනවා. මේ ළඟදි ඕස්ට්රේලියාවේ ඉඳං ආව මගෙ මිතුරෙක් මගේ උපදෙස් මත පෝලිමේ ගිහිං පාස්පෝට් කීපයක් අලුත් කරගන්න යද්දි නිලධාරියා ළඟට ඇවිත් කිව්වේ රු. 4000/- දෙන්න. දවල් 2 වෙද්දි වැඩේ කරල දෙන්නම් කියලා. රෑ 9 ට දෙනව කිව්ව පාස්පෝට් දවල් 2 ට ගත්තා.

එතනින් එහාට කොන්ත්‍ත්‍රාත්කාරයා හොරකම් කරනවා. කරපු වැඩවලට චෙක් එක ගන්න නිලධාරීන්ට සල්ලි දෙන්න ඕනෑ. ඩ්‍රැයිවර්ලා තෙල් අදිනවා. හොර රනින් චාට් ලියනවා.

ඇයි ඇඟිලි සලකුණු යන්ත්‍්‍රයක් නැත්තං පැමිණීමේ රෙජිස්ටරයේ බොරු වෙලාව දාලා අත්සන් කරනවා.

බස් කොන්දොස්තරලා මාටියා ගහනවා.
රස්සාව ගන්න දොළපිදේණි දෙනවා. උසස්වීම් ගන්න ඇඟ දෙනවා. ටෙලිනාට්‍ය පෙන්නගන්න අනුමත කරන්නාට ලොකු ගාණක් දෙන්නෝනෑ. හැම රූපවාහිනී චැනල් එකකම. පත්තරේ කවියක්, ලිපියක් දාගන්න දොළපිදේණි දෙන අවස්ථා තියෙනවා.

වාසි ලබාගන්න කිරිමුට්ටි ලොක්කගේ ගෙදරට අදිනවා.
ගීත, චිත්‍රපට හොරකම් කරනවා. ඔරිජිනල් එක නැතිව පයිරේට් කොපි විකුණනවා. ප්‍රකාශකයින් කර්තෘට හොරෙන් නැවත මුද්‍රණ ගහනවා. පොත් කඩකාරයෝ පොත් විකුණලා සල්ලි නොදී හොරකම් කරනවා. ඒවා මටත් වෙලා තියෙනවා. කර්තෘට කර්තෘභාගය දෙන්න ඕනෙ
ප්‍රකාශකයෝ කර්තෘගෙන් සල්ලි අරං පොත් ගහනවා.
හොර වෙද්දු ඉන්නවා. හොර බේත් දෙනවා. බේත් වලින් හොරකම් කරනවා.
පාරක තොටක යන්න බෑ මාළ කඩනවා.
පාරෙ නවත්තලා ගිය වාහන ඇරලා සුද්ධ කරනවා. වාහනත් හොරකම් කරනවා.

විභාග ප්‍රශ්න පත්ර හොරකම් කරලා විකුණනවා. හොරට වෙන කෙනෙක් දාලා විභාග ලියනවා. අඩුම තරමෙ හොරාට කොපි කරනවා.

කඩෙන් ඇඳුම් හොරකම් කරනවා. කඩෙන් බඩු උස්සනවා.

මේ අල්පයයි. ඒකයි කිව්වෙ සමස්ථ සමාජයෙන් වැඩිදෙනා හොරු. ජීවිත කාලයේ කිසිදු හොරවැඩක් නොකරපු කෙනෙක් හොයන එක නොමළ ගෙයකින් අබ ඇටයක් හොයනවා වගේ.

හොරට ඡන්දෙ දානවා. ඡන්දෙන් හොරු පත්කරගන්නවා. ඡන්ද නාම යෝජනාත් හොරට ටිපෙක්ස් කරනවා.

ඊට පස්සෙ 225 ම හොරු කියනවා. හොරු එළවමු කියනවා. එළෙව්වත් පත්කරගන්න වෙන්නෙත් හොරුම තමයි. සමාජයේ ඉන්න දෙකෝටියක්ම හොරු. ඒ හොරුන්ගෙ නියෝජිතයොත් හොරු.

-සිතන්නා...