Pages

Sunday 22 March 2015

යහපාලනය "චොර" වෙයිද ?



දින 100 ගතවන ‍කල් ඉවසන් ඉන්න බෑ අායිබං...
ඔන්න දිවයින පත්තරේ ගිය ලිපියක් දානවා.
බොරු නොවෙයි..... ඇත්තනේ මේ හාදය කියන්නේ.....

 


කොයි පක්‍ෂවලටත් අරක්‌ගත් හැදිච්චකම් මෙන්ම නැහැදිච්චකම් ද අනන්තවත් ඇත. ඕනෑම පාලනයක්‌ ජනතා අභිමතයට පටහැනි වන්නේත් දෝෂදර්ශනයට ලක්‌ වන්නේත් එහි ප්‍රතිඵලයක්‌ වශයෙන්ය. 2015 දී බුලත් කොළය පරදින්නෙත්, හංසයා ජයග්‍රහණය කරන්නෙත් ඒ නිසාය. එහෙත් දැන් දැන් දින 100 ගතකිරීම කෙසේ වෙතත් වැඩි දින ගණනක්‌ ගතවෙද්දීම "හංසයා" ක්‍රියාකරන ආකාරය තිබීම ඉතා කනගාටුදායකය.

හංසයා ගොඩදමන්නට විවිධ පක්‍ෂ හා විවිධ සංවිධාන 47 ක්‌ මුල්වරට එක්‌ වූහ. ඒ රාජපක්‍ෂ රෙජිමය පරාජය කරවීමටත්, විධායක බලතල අහෝසි කිරීමටත්, 17 වන සංශෝධනය බලාත්මක කිරීමටත්, හොරුන්ට, දුෂ්ටයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටත්, පූර්ණ එකඟතාවක්‌ ඇතිවය.
ඉන් පළමුවැන්න 2015 ජනවාරි 09 දා පෙරවරුවේම ඉෂ්ට සිද්ධ විය. එහෙත් සෙසු අපේක්‍ෂා තවමත් විළිලමින් පසුවෙයි. මේවා මෙසේ කල්ඇදීමට හේතුව හංසයාගේ නොහැකියාවවත්, මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දුබලතාවයක්‌වත් නොව වැඩි දායකත්වයක්‌ සැපයූ එක්‌සත් ජාතික පක්‍ෂයට අරක්‌ගත් දේශපාලන නැහැදිච්චකම්ය. ඇත්තෙන්ම හංසයා දිනවන්නට මාහැඟි මෙහෙවරක්‌ දියත් කළ සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සෝභිත නාහිමියනුත්, පිවිතුරු හෙටක්‌ සංවිධානයේ අතුරලියේ රතන හිමියනුත් රත්කළ තැටියෙන් රොටි පුච්චනකම් මල පැන බලාසිටින්නේත්, ජනතාවට දුන් ඒ බාරය ඔප්පු කරනතුරු ගැහි ගැහී පසෙකින් වැඩසිටින්නෙත් ඒ එජාපයට උරුම දේශපාලන නැහැදිච්චකම නිසාය.

බහුතරයක්‌ මහජනතාව හංසයාට ඡන්දය දුන්නේ අර අරමුණු වෙනුවෙන් මෛත්‍රී ජනපති කරවන්නට මිස රනිල් පසුදාම අගමැති කරවන්නට නොවේ. ඇත්තෙන්ම එදා මෛත්‍රීට තිබුණේ ජනාධිපතිවරණයෙන් පසු එදාම නොව දින 100 න් පසු මහ මැතිවරණයක්‌ පවත්වා බහුතරයක්‌ පෙන්වූවාට පසු රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කරවන්නටය. එසේම පාර්ලිමේන්තුවට තේරී පත්වූ සියල්ලන් කැඳවා කාගෙ කාගෙත් අභිමතය පරිදි ජාතික හෝ සමගි හෝ කලවම් හෝ ආණ්‌ඩුවක්‌ පිහිටුවන්නටය. එහෙත් ඒ සියල්ලට පෙර මෛත්‍රී කළේ දිවුරුම් දුන්දාම විධායක බලතල පාවිච්චි කරමින් රනිල් අගමැති කිරීමය. මේ දේශපාලන නැහැදිච්චකම් ඉස්‌මතු වන්නට පටන් ගත්තේ එතැන් සිටය.

ජනවාරි 08 දා මෛත්‍රීට ලැබුණේ ජනතා අභිමතයක්‌ය. මෛත්‍රී යහපාලනය තටම තටම ගෙනියන්නට වෙර දැරුවත් රනිල්ට ඕනෑ, හා ගමනින් බැරි දේ ඉබි ගමනින් හෝ අවුරුදු ගණනාවක්‌ ගෙවල්වලට නාකි වූ හා රටට නන්නත්තාර වූ යූ. එන්. පී. කාරයන් ඔසොවා තැබීමය. දෙදෙනා හබල් ගහන්නේ දෙවිදියකටය. හංසයාට කිරි පෙවූ බොහෝ දෙනා පරල වී ඇත්තේ අන්න ඒ නිසාය. 

ඒ අතින් ජනතා විමුක්‌ති පෙරමුණ නිවැරැදිය. එහි අනිටු ඵල එළැඹෙන මහ මැතිවරණයේදී රජයටත් - ඉටුපල ජනතා විමුක්‌ති පෙරමුණටත් හොඳින් ලැබෙනු ඇත.

මෛත්‍රී සන්ධාන ආණ්‌ඩුවෙන් ඉවත් වූවාට පසු නාමයෝජනා දුන්නාට පසු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන්ම වසර ගණනාවක්‌ අසාධාරණයට ලක්‌වූ පිරිස වෙනුවෙන් පිහිට වූ "සුරකිමු ශ්‍රී ලංකා" සංවිධානයත් මෙහිදී සිහිපත් කළ යුතුය. මෛත්‍රී ලත් ඔය ඡන්ද සංඛ්‍යාව තුළ එක්‌සත් ජාතික පක්‍ෂයේ ඡන්දවලට වඩා සන්ධානය එපා වූ ශ්‍රී ලංකා - සම සමාජ, කොමියුනිස්‌ට්‌ පක්‍ෂවල ඡන්ද, දෙමළ සන්ධානයේ ඡන්ද, ජනතා විමුක්‌ති පෙරමුණේ ඡන්ද, මුස්‌ලිම් කොංග්‍රසයේ ඡන්ද, හෙළ උරුමයේ ඡන්ද, ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඡන්ද ගණනය කොට මේවා ඉවත් කළ විට එජාප යට ඡන්ද ලක්‍ෂ 35 ක්‌ වත් ඉතිරි වන්නේ නැත. අලියා ලකුණින් කොළඹින් එන එජාපයට එය ඉදිරි මහ මැතිවරණයේදී වැටහෙනු ඇත. එහෙත් රෙජිමය පරාජය කිරීමට ඔවුන් දුන් සහාය තල්ලුව අපි අමතක නොකරන්නෙමු. එසේ වුවද රෙජිමය තුළින් අසරණ වූ යූ. එන්. පී. කාරයන් විවිධ තනතුරු ලබද්දී 1977 සිට දෙපාර්ශ්වයෙන්ම අසරණ වූ "සුරකිමු ශ්‍රී ලංකා" සංවිධානයේ අප තවමත් එළිපත්තේය. එය එජාපය අමතක කළාට මෛත්‍රී අමතක කිරීම බරපතළ වැරැද්දකි. 

ඇත්තෙන්ම මෛත්‍රී දිනන්නේ මහින්දට එරෙහි මහින්දගේම ඡන්දවලින්ය. ප්‍රතිඵලය අනික්‌ පැත්තට ගියානම් ගුටිකන්නේ යූ. එන්. පී. කාරයන් නොව මහින්දගෙන් ඈත් වූ මහින්දගේම පිරිස්‌, මහින්දගේම මිනිසුන්ගෙන්ය. මෛත්‍රී මෙන්ම රාජිතත් "එදා අපි පැරදුනානම් අපි ඉන්නේ හිරගෙවල් වල යෑයි" කියා බෙරිහන් දුන්නේත්, මරලතෝනි දෙන්නේත් ඒකය. ඒ පරිප්පු මේ ලියන "සුරකිමු ශ්‍රී ලංකා" සංවිධානයේ අපටත් පොදුය. දින්නාට පසු රනිල් වික්‍රමසිංහ මහතා අතේ හිතේ තරමට යූ. එන්. පී. කාරයන්ට දසඅතින් තනතුරු පිරිනමන්නේ අවුරුදු ගණනක්‌ වැලේ වැල් නැතිව සිටි යූ. එන්. පී. කාරයන් නැගීසිටුවන්නටය. එහෙත් මෛත්‍රී "සුරකිමු ශ්‍රී ලංකා" කාරයන් නැගිට්‌ටන පාටක්‌ පේනතෙක්‌ මානයකවත් නැත. කනගාටුව ඒකය. 

මෙලෙසින් බැටකන්නේ 1977 දී එජාප ආණ්‌ඩුවේ රැකියා බැංකු ක්‍රමය යටතේ යූ. එන්.පී කාරයන්ට විතරක්‌ රැකියා දෙද්දී, 80 වර්ජනයේදී ඔලු පලාගෙන අතරමං වෙද්දී, මැයි දිනයකට, බණ්‌ඩාරනායක ගුණ සමරුවකට, දාහක්‌ දෙදහක්‌ ගෙන්වා ගන්නට බැරිව දඟලද්දී, ඒවාට දිවි පරදුවට තබා සහභාගි වූ පට්‌ට ශ්‍රී ලංකා කාරයන්ය. ජනඝෝෂාවලට, හෘදසාක්‍ෂිවලට එක්‌වූ මැරුවත් නිල් ශ්‍රී ලංකාකාරයන්ය. 1994 දීත් ඔවුන්ට හරිහමන් සාධාරණයක්‌ ඉටුවූයේ නැත. 2005 න් පසු මහින්දගෙන් ලත් රෙද්දක්‌ ද නැත. සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය යටතේ ඔවුන් සංවිධානය වූයේ ඒකමය.

ඒ අතින් බලනවිට පාක්‍ෂිකයන්ට කෙලෙහිගුණ සැලකීම අතින් එජාපය හැමදාමත් සිටින්නේ අංක 01 ය. ශ්‍රී ල.නි.ප. ය හැමදාමත් සිටියේ පඩික්‌කමටත් වඩා පහළ තැනකය.

2001 අහම්බෙන් බලයට පැමිණිවිටත් එජාප ආණ්‌ඩුව මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරයට පත්කළේ චරිත රත්වත්තේ මහතාය. ඔහු එවකට එජාප මහ ලේකම්වරයාය. විවිධ තනතුරුවලට යූ.එන්.පී. කාරයන් පත්කළේ ඇසිපිය හෙළනවාටත් වඩා කඩිනමින්ය. අද ද ඒ දේවල් ඒ ලෙසින්ම සිදුවෙමින් පැවතීම කනගාටුදායකය. ඒ තරමටම "සුරකිමු ශ්‍රී ලංකා" කාරයන් "රම්පෙ - කරපිංචා" ගානට වැටී ඇත. එජාපය හැමදාම හිටියේ පාක්‍ෂිකයා සමගය. ඔවුන්ට කිසිදු සුදුසුකමක්‌ අවශ්‍ය නැත. 

නැහැදිච්චකමේ ශාපය අදත් ඉහවහා ගොස්‌ ඇත. දේශපාලන තාච්චියේ තෙල් කොයි තරම් රත්වුණත් "සුරකිමු ශ්‍රී ලංකා" සංවිධානයේ සාමාජිකයන්ට මෙන්ම ඉදිරිපත් කළ කොන්දේසිවලට ද තවමත් දෙවියන්ගේම පිහිට පමණය. පිච්චෙන රොටියක්‌ ද නැත.

විධායක බලතල අහෝසිය වෙනුවට හෙට එන්නේ ඒවා සුන්නත් කිරීමකි. 17 ගැන තවමත් කතා නැත. දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම තවමත් පැමිණිලිවලට හා රටින් පිටවීම තහනම්ය යන්නට පමණක්‌ සීමා වී ඇත. දින 100 වැඩසටහන ද අල බහිනකම් ඉන්න පුළුවන් නම් අල තැම්බෙන කම් ඉන්න බැරි ඇයි? න්‍යායට සීමා වී ඇත. සියල්ලක්‌ එසේ සිදුවෙද්දී රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු යූ. එන්. පී. නඩය අහම්බෙන් ලත් සියලු වරදාන - වරප්‍රසාද, තනතුරු, පසුගිය රජයේ හොරුන්ටත් බෙදමින්, ගෙවල්වලට නාකිවෙමින් සිටි තමන්ගේ නඩයටත් බෙදමින් ගිල දමන්නේ" තිත්තයාගේ වාරය" මොනවට රඟදක්‌වමින්ය. එය අපේ පැත්තෙන් අපට ඇද වුණාට ඔවුන්ගේ පැත්තෙන් ඔවුන් කෙලින්ය. සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සෝභිත නාහිමියන්ට - පිවිතුරු හෙටක්‌ සංවිධානයේ රතන නාහිමියන්ට රනිල් මොන ආර්ථික ඔස්‌තාර් කෙනෙක්‌දැයි අසන සරත් ෆොන්සේකා මහතාට, රැස්‌වීම්වල කතා කළේ අපි රැස්‌වීම් දෙක තුනකට ආපු උන් උඩය"යි කියන අසාත් සාලි මහතාට, යහපාලනයක්‌ වෙනුවෙන් දරදිය සැපයූ සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ අපට, සිදුවී තිබෙන්නේ ගිනි තපිමින් බලා සිටින්නටය. 

මෛත්‍රී ස්‌ටෝස්‌වල බඩුත් ෂුවර් නැතැයි ජනතා විමුක්‌ති පෙරමුණ මුල සිටම කළ ප්‍රකාශය අද හෙලවෙමින් තිබීම ඇත්තෙන්ම පුදුම සහගතය. 

චෝදනා ලාභී ක්‍ෂෙනුකා සෙනෙවිරත්න යළි තානාපති සේවයේ පිහිටුවීම, අර්ජුන් මහේන්ද්‍රන් බැංකු බැඳුම්කරණය එක්‌ එක්‌ අඳුරු පැතිකඩවල්ය. මහේන්ද්‍රන්ගේ බැංකු සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණයට දමා ඇත්තේද සිරිකොතේම "හරිම බඩු තුනක්‌ය" මේ සියල්ලක්‌ මෙසේ සිදුවන්නේ යහපාලනයට අරක්‌ගත් මෛත්‍රීගේ හැදිච්චකමට වඩා එජාපයේ නැහැදිච්චකම යහපාලනය තුළ දලු දමා තිබීම නිසාය. ඒ නැහැදිච්චකමට කවදා තිත වැටේදැයි ගිනි තපිsමින් අපි බලා සිටින්නෙමු. බැහැපු අල කවදා හෝ තැම්බෙනු ඇත. 

"රොටිය" නම් පිච්චෙන පාටක්‌ පේනතෙක්‌ මානයකවත් නැත. ඒ අරමුණු හා බලාපොරොත්තු ඉටුවීම ප්‍රමාද වන්නට ප්‍රමාදවන්නට එහි වැඩි වාසිය ජනතා විමුක්‌ති පෙරමුණට හිමිවීම කිරෙන් දිය වෙන් කළත්, නැහැදිච්චකමින් හැදිච්ච කම වෙන්කරන්නට හංසයාටත් බැරි බව අවංකවම ප්‍රකාශ කරන්නේ එජාපයේ දේශපාලනය ඒ තරමටම ජරාජීර්ණ වී ඇති බව කෙලින්ම පෙනෙන්නට තිබෙන නිසා බව අවසාන වශයෙන් ප්‍රකාශ කරන්නෙමි.

ආරියපාල ආරච්චිගේ ගමගේ

දිවයින 21 03 2015