Pages

Thursday 2 February 2023

පරපීඩක ආශාවන් සන්තර්පනය

සන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත යටතේ සිපිරි ගෙයි ගාල් කළ එක නිහීන තුප්පහි වැඩක්.

මා හැමවිටම සරසවි සිසුවන්ගේ දේශපාලන ක්‍රියාකාරකම් දෙස බලන්නේ කිසියම් ආකාරයක මෘදු කෝණයකින්. ඒකට හේතුව වසර 40 ට එපිට මගේ සරසවි ජීවිතයේ අවසන් කාලයත් පාලකයින්ට එරෙහි අරගලයක් උණුසුමෙන් නිමා වුණ නිසා විය හැකියි. ඒ සටන නිමා වූයේ පරාජයකින් වගේම ඊට සම්බන්ධ යැයි සැක කළ සිසුන් රිමාන්ඩ් බන්ධනාගත කිරීමෙන්.

එකල ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත සරසවි සිසුන් දඩයම් කිරීමට යොදා නොගත් නිසා අත්තඩංගුවට පත් අපට  දිගු කලක් නඩුවලට පෙනීසිටින්නට සිදු වුවත් කෙටි කලකින් ඇප ලැබුණා.

එහෙත් වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත යටතේ අත්තඩංගුවට ගත්තේ දිගු කලක් කූඩු කොට තැබීම සඳහාමයි. වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත යටතේ සිපිරි ගෙයි ගාල් කළ එක නිහීන තුප්පහි වැඩක් කියා මා කියන්නේ ඒ නිසාමයි.

මේ බව අධිකරණය පවා සිය තීන්දුවෙන් නොකියා කියන බවයි මගේ අදහස.

එහි ‌මෙසේ දැක්වෙන බවයි සඳහන් වන්නේ.

"මහෙස්ත්‍රාත්වරයෙකු විසින් විමර්ශකයන්ගේ හෝ නඩු පවරන්නන්ගේ පරපීඩක ආශාවන් සන්තර්පනය උදෙසා නියෝග නිකුත් නොකළ යුතුයි."

අවසානයේ අවනීතිකව දින 150 ට වඩා වැඩි කාලයක් රඳවා තබා ගත් වසන්ත මුදලිගේ සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරනු ලැබුවා.

ඒ කියන්නේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත යොදා ගන්නේ විරුද්ධවාදීන් මර්ධනයටයි.

නැත්නම් මුදලිගේ කළ ත්‍රස්තවාදී ක්‍රියාව කුමක්ද?

සාධාරණය වෙනුවෙන් මහමගට බැසීම ත්‍රස්තවාදී ක්‍රියාවක් වෙන්නේ කෙසේද?

සැබෑ ත්‍රස්තවාදීන් කවරහුද?

-සිතන්නා...