"ආයු" ගැන කෙටි සටහන් කීපයක්. අවසානයේ මගේ විවරණය නරඹන්න.
ලංකාවේ නම් ධර්මසේන පතිරාජ, ධර්මසිරි බණ්ඩාරනායක, වසන්ත ඔබේසේකර, ප්රසන්න විතානගේ, අශෝක හඳගම වැන්නන්ගේ සිනමාවට ආශක්ත වීමෙන්.
එම ආස්ථානයේ සිට "ආයු" විමසීමේදී මුලින්ම කිව යුත්තේ තිර පිටපත ඉතා සූක්ෂමව පිරිපහදු කොට මැනවින් සකස් කොට ඇති බවයි. සෑම රූපරාමුවක් ගැනම විශේෂයෙන් සැලකිලිමත් වී ඇති බවයි. දැඩි අවධානයකින් රූප සංයෝජනය එනම් composition කර ඇති බවයි. එයින් මා අදහස් කරන්නේ රූපරාමු සකස් කිරීම, ඒවායේ සමතුලිතතාව, ගැඹුර, රේඛා හා හැඩතල, ආලෝකය හා වර්ණ, දෘෂ්ටිකෝණය එනම් කැමරාව තබන ස්ථානය, චලනය ආදී අංග පිළිබඳ බෙහෙවින් සැලකිලිමත් වී ඇති බවයි.
මෑත මා දුටු සිංහල චිත්‍රපට අතුරින් "රහස් කියන කඳු" චිත්‍රපටයෙන් පසු ඒ පිම්ම පනින්නේ "ආයු" චිත්‍රපටයයි. අනික් සියලු චිත්‍රපට මේ චිත්‍රපටදෙකට අනුපාන සපයන බව මගේ අදහසයි.
2025 වසර සිංහල සිනමාවේ වසන්තය වන්නේ නම් සිනමා කර්මාන්තය පවත්වාගෙන යාමට ශාලාවට ප්‍රේක්ෂකයින් ඇදගන්නා "රාණි, වාලම්පූරි, ක්ලැරන්ස්, නෙළුම් කුලුන, මෝඩ තරිඳු" වැනි හවුස්ෆුල් චිත්‍රපට මෙන්ම එතරම් ප්‍රේක්ෂක ආකර්ශනයට ලක් නොවන "බහුචිතවාදියා" වැනි චිත්‍රපටත් අත්‍යවශ්‍ය වෙනවා. එහෙත් නිශ්චිත අගය කිරීමේදී අපට කතා කරන්නට සිදුවන්නේ "ආයු" වැනි චිත්‍රපට ඉහළින් තබාගෙනයි.
"ආයු" චිත්‍රපටයේ මා වඩා කැමති අවස්ථා හා දර්ශන කිහිපයක් සිහිපත් කරන්නට කැමතියි. මුහුදු වෙරළක කරකැවෙන රූං පෙත්තකින් හා සංකල්පීය දැරියක් රූපයට හසු කරගනිමින් ඇරඹෙන චිත්‍රපටය වැවක හබල් ගාන ඔරුවක් හා එහි නැග සිටින සංකල්පීය දැරියගේ රූපාවලියකින් අවසන් කරමින් අප දිගු ගමනක් ගෙන යාමට සමත් වෙනවා. එසේම අවසන් රූප රාමුව වන විට සංකල්පීය දැරිය ඔරුවේ නොසිටීම චිත්‍රපටය පුරා විවිධ අවස්ථාවල අපට මුණගැසුණු දැරිය කවුරුන්දැයි ඉඟිකරනවා.
එසේම ජගත් හා සැන්ඩ්රා යතුරුපැදියේ යන දර්ශන, නලින් ලුසේනා හා ජගත් අතර වෙරළේ සටන, හේනක පැලක රාත්‍රි දර්ශනය, වෙරළ අද්දර හෝටලයේ දසුන් පතිරණගේ රංගනය, මාරාන්තික රිය අනතුර වැනි අවස්ථා කාලාන්තරයක් යනතුරු ප්‍රේක්ෂක මනසේ රැඳී පවතින බව මගේ විශ්වාසයයි.
ආයු ජාත්‍යන්තර මට්ටමේ නිෂ්පාදන ගුණාංග වලින් හෙබි චිත්‍රපටයක් බවද සඳහන් නොකර බැහැ. බිමල් දුෂ්මන්තගේ නිෂ්පාදන සැලසුම් සහ කලා අධ්‍යක්ෂණයත්, කාලිංග දේශප්‍රියගේ කැමරා අධ්‍යක්ෂණයත්, සමන් ඇල්විටිගලගේ සංස්කරණයත් දියුණු ලක්ෂණ පෙන්වද්දී වඩාත් ඉහළින්ම කැපී පෙනෙන්නේ මිලින්ද තෙන්නකෝන්ගේ සංගීත අධ්‍යක්ෂණයයි.
චිත්‍රපටය හා සංගීතය කොතෙක් දුරට චිත්‍රපටයේ ගලායාමට දායක වී ඇත්දැයි ප්‍රත්‍යක්ෂ වන්නේ අප බලහත්කාරයෙන් සොයා නොගියහොත් චිත්‍රපට සංගීතය අපට ඇසෙන්නේ නැති තරම් වීමයි. ඒ කියන්නේ හැම රූප රාමුවක් සමඟම සංගීතය අවියෝජනීය ලෙස බද්ධ වී ඇති බවයි.
මෑතකදී සිංහල සිනමාවට එක් වූ වඩාත්ම සිනමාත්මක නිර්මාණය චත්‍ර වීරමන්ගේ ආයු ලෙස නම් කිරීමට මා කිසිසේත්ම පැකිලෙන්නේ නෑ. එය අප ධ්‍යානයකට සමවද්දන, අපව ජීවන චාරිකාවක ගෙන යන අපූරු චිත්‍රපටයක්.
ආයු චිත්‍රපටය ගැන මගේ විවරණය
