Pages

Tuesday, 8 April 2014

සිංහල සිනමාවේ තෙවැනි විප්ලවකරුවාට අත්වැලක් වෙමුද .......? බෑ වගේ නං තරහක් නෑ හොඳේ.......









ලෙස්ටර් ජේම්ස් පීරිස් කියන්නෙ ලාංකික සිනමාවෙ පතාක යෝධයා.
චිත්‍රාගාරයෙන් එළියට බැහැල "රේඛාවවගේ චිත්‍රපටයක් කරන්න ඔහුට තිබුණ ආත්ම ශක්තියට ඔටුවගෙ ප්‍රණාමය. 

පතිරාජ "අහස් ගව්ව" සිනමා පටය නිර්මාණය කිරීමත් එක්ක ලාංකික සිනමාව අලුත් මගකට හැරුණ. පතිටත් ඔටුවගෙ බලවත් ප්‍රණාමය.

හඳගම "මේ මගේ සඳයිතමන්ටම ආවේනික විලාසයකින් සම්මත සිනමා ශාලා ප්‍රදර්ශන රටාවෙන් එළියට පැන්නෙ චිත්‍රපටයත් සම්මත ව්‍යාකරණයෙන් එලියට පන්න ගෙනමයි ඕං.

හඳයට ඔටුවගෙ හෘදයාංගම උත්තමාචාරය.....!



මේ ගැන ලාංකික සිනමාවෙ පතාක යෝධයා පහුගිය සතිඅන්ත පත්තරේකට මෙහෙම කියල තිබුණ. කවදත් සිනමාව ගැන උනන්දු වෙන සුනිල් මිහිඳුකුල කොලුව තමයි ප්‍රශ්නෙ විචාරල තිබුණෙ.


"ඔබ අපේ සිනමාවේ යුග හතරක පරම්පරා හතරක් දැක තිබෙනවා. එය සුවිශේෂයි?
          - මිහිඳුකුල

ඔව්. මට කලින් හිටපු බී.ඒ.ඩබ්ලිව්., විමලවීර මං දැකලා තියෙනවා. මගේ රේඛාව සිංහල සිනමාවේ පළමු කැරැල්ල ලෙස විචාරකයන් හඳුන්වනවා. ඊළඟට පතිරාජගේ අහස් ගව්ව. තුන්වැනි කැරැල්ල හඳගමගේ මේ මගේ සඳයි’. මේ පරම්පරා සියල්ල සමඟ මම සමගාමීව ඉඳලා තියෙනවා. ඒක එක අතකින් ලොකු භාග්‍යයක්. හඳගම, ප්‍රසන්න, විමුක්ති නියෝජනය කරන අලුත් පරපුර අපේ සිනමාවට ඉතා වැදගත් සේවයක් ඉටුකරලා තියෙනවයි කියලා මම හිතනවා. ඒ තමයි අලුත් තේමා, අලුත් ශෛලි ඔස්සේ චිත්‍රපට නිර්මාණය කරමින් නව සිනමාවක් බිහි කිරීම. ඒක තමයි අවශ්‍ය. හඳගමගේ අක්ෂරයචිත්‍රපටයේ තහනමට එරෙහිව මා නැඟී සිටියා. එය ප්‍රකාශන නිදහස වෙත එල්ලවූ මරු පහරක් ලෙසයි මා දුටුවේ."
          - ලෙස්ටර් මහත්තයා 


මං අහන්නෙ කටේ මසුරං දාන්න වටින කියමනක් නොවෙයිද මේ ලෙස්ටර් ගොයිය කියල තියෙන්නෙ. 

මේ කතාව මීට කලකට පෙරත් උන්නැහේ කියල තිබුණට ඒ ගැන වැඩිමනත් පොරචාරයක් නොලැබුණේත්, කතාබහක් ඇති නොවුණෙත් ක්ෂේත්‍රයෙ උන්දැලගෙ තියෙන කුහක කොමට නොවෙන්නං.

දැං ඔන්න හඳගම අලුත් අභියෝගයකට අත ගහල.


අන්තර්ජාලයෙ සැරිසරන සිනමා ලෝලීන්ට ආරාධනය කරල හඳගමගෙ නවතම චිත්‍රපටයට නිෂ්පාදනයෙන් දායක වෙන්න කියල.

තම තම හැකි පමණින්.

චිත්‍රපටිය හදන්න යන මුලු මුදලින් 1/3 තමයි හඳය බලාපොරොත්තු වෙන්නෙ.

ඉලක්කය ඩොලර් 50,000 ක් ඔන්න.

ඩොලර් 20 ඉඳල 1000 වෙනකල් මුදලින් දායක වෙන ඇත්තන්ට එක එක විදිහෙ ප්‍රතිලාභ.


මෙන්න එතෙන්ට යන ලින්ක් එක

http://crimso.com/project/film_by_handagama

ඔන්න ඔතනින් කාසි යවන්න ඇහැකි. 

කම්මැලි නැතිව පොඩි මහන්සියක් ගත්තම ලොකු වැඩකට දායක වෙන්න පුළුවනි ඕං...

පිටරටවලින් සල්ලි ගන්නවය, බටහිර සුද්දන්ගෙ සල්ලි වලින් සුද්දන්ට ඕනෙ විදිහෙ චිත්‍රපටි හදනවය, රාජ්‍ය නොවන සංවිධාන වලින් සල්ලි අරන් රටේ සඟිස්කුරුතිය, සබ්බියත්වය විනාස කොරනවය කියල පාරංබාන එව්වන්ට ඔන්න අවස්ථාව තමන්ම දායක වෙලා හඳයට චිත්‍රපටියක් කරන්න උදව් වෙන එක.

මේක හිඟාකෑමක් හෙම නොවේ ඕං.

දෙන්න අකැමැති නං පැත්තකට වෙලා ඉන්න එකයි ඇත්තෙ.

කවුරුත් බල කරන්නෙ නෑ.

කැමැති ඇත්තෝ දායක වෙත්වා.....!



-සෙස්ස පස්සට ෴

- සෙරන්ඩිබ් ඔටුවා  








පසු සටහන:  සෙරන්ඩිබ් ඔටුවට පෞද්ගලිකව යමක් ලියන්න, 
වාලුකා කාන්තාරෙ සිද්ධ වෙන තොරතුරු ටිකක් එවන්න,
සමාජ ප්‍රශ්න ගැන හිතෙන යමක් ලියන්න 
කැමති ඇත්තො ඉන්නව නං මෙන්න email ලිපිනය.
otukatha@gmail.com
පෞද්ගලිකව  තොරතුරු එවන අය ගැන 
එළිදරව් කරන්නෙ නං නෑමයි ...ඕං.....

Thursday, 3 April 2014

‘කලාව කාමය සඳහාම නොවේ’



මෙවර ඔටුකතාව පත්තරේක පළ වෙචචි ලිපියක් ආයිබං....

ඔටුවගෙ අදහස් එක්ක පෑහෙන හංද ඔන්න මෙතෙන්ට අතෑරල දානව ගෙඩි පිටිංම.

ලොව පුරා බිහි වී ඇති සම්භාව්‍ය කලා නිර්මාණ  ලෙස ප්‍රචලිත චිත්‍ර මුර්තිගල් කැටයම්  පමණක් නොව සිනමා සිත්තම් ද, වෙනත් සාහිත්‍ය නිර්මාණ ද ලෝකයාගේ මානව වර්ගයාගේ පැවැත්ම  නම් වු සොබා දහමේ  අරගලය වෙනුවෙන් දායක වන ඒවා  බව අමතක කිරීමට අප රට ජනතාවගේ ජන මිශ්‍රනය සකස් කැර ඇත.

මේ චින්තනය අප රට දිගු කාලයක් මුළුල්ලේ ගලා ආ  සමාජ , ආගමික හා සාරධර්ම චින්තනය විසින්  සීමා බන්ධන පැනවීමක් නිසා ඇති වු දෙයකැයි පෙනී යයි.

සොබා දහම ලෝකයත් මිනිස් ජීවිතයත් පිළිබඳව නියත ගමනක් තීරණය කැර ඇත්තේ එය ඉදිරි ගමන සාක්ෂාත් කැර ගැනීමේ අරමුණින්ය.

මිනිසුන් හා ගැහැණුන් සොබා දහමට අයත් ප්‍රපංචයෝ වෙති.


ඔවුහු ලෝකයේ පැවැත්ම වෙනුවෙන් හැසිරිය යුතු වන්නේය.එය සීමා බන්ධන තහංචි ඔස්සේ කඩා  බිද දැමිය යුතු නැත.

ඒ ඒ රටවල සමාජ සංස්කෘතිය විසින් පනවනු ලබන හා පනවා ගනු ලබන සීමා තිබිය හැකි වුවත් ඒවා මගින් මනුෂ්‍ය  ජීවිතය සැපවත්  කරන තෘප්තිමත් කරන  මානව සිතිවිලි බිහි වීමටත් ඒවා ඇගයීමටත් හැකියි.

නිරවුල් වුත් සරල වුත්සුගම වුත්තීක්ෂණ වුත්  මානයක්  මිනිසුන් අතර වර්ධනය කළ යුතුය.

මේ මුලික දර්ශනය  විද්‍යාවපරිණාමයදේශපාලනය හා ලිංගික ජීවිතය පිළිබඳ විචිත්‍ර බවක් පුළුල් දැක්මක් විවෘත කැර ගැනීමට ඉඩකඩ විවෘත කළ යුතුව ඇත.

ශ්‍රී ලංකාවේ ජනතාවට මේ ඉඩ හසර ඇහිරී ගොස් තිබීම කනගාටුදායක අත්දැකීමකි.
අපට නිරුවත් චිත්‍ර මුර්ති කලා අධ්‍යයනයට හා රසවින්දනයට හැකියි.

ඒ විචක්ෂණ භාවය ලං කැර දීමට අපේ අධ්‍යාපනය වත් අපේ සමාජ විග්‍රහය විසින්වත් ඉඩ ලබා දී නැත.

ක‍්‍රිස්තු වර්ෂ පස් වැනි සියවසේ සීගිරී චිත්‍ර බිහි වන විටත් ලෝකයේ එබඳු චිත්‍ර බිහි වි නොතිබිණි.
 






යුරෝපයේ සම්භාව්‍ය කලා  කෘති ලෙස බිහි වු චිත්‍ර හා මුර්ති  ක්‍රිස්තු වර්ෂ 17-18 සියවස් වලට අයත් ඒවාය.

අපේ රට ඒ වන විට උසස්තම චිත්‍ර බිහි වී සියවස් දොළහක් ගෙවී හමාරය.එහෙත් අපේ රට  සිගිරියෙන් පසු ඒ චිත්‍ර කලාව ද අහිමි වී ගියේය.

මේ පසු බෑම අපේ රටේ සමාජ චින්තනයේ කඩා වැටීමක් වෙයි.

එය සිදු වුයේ ඇයි දැයි අප ප්‍රශ්න කළ යුතුය

             

විමල් රණතුංගගේ සෞන්දර්ය මානව රූප හා කලාව කෘතිය පිළිබඳ ලංකාදීප පුවත්පත් වෙබ් අඩවියේ පළවූ සටහනකින් උපුටා ගන්නා ලදී. මෙහි එන අක්ෂර වින්‍යාශ හා ව්‍යාකරණ වැරදි වල වගකීම පුවත්පත් ලේඛකයා සතුය.
 (විමල් රණතුංග මාධ්‍යවේදියෙකි.ගත් කතුවරයෙකි,විශ්‍රාමික රජයේ සේවකයෙකි.උපාධිධරයෙකි.)










-සෙස්ස පස්සට ෴

- සෙරන්ඩිබ් ඔටුවා  








පසු සටහන:  සෙරන්ඩිබ් ඔටුවට පෞද්ගලිකව යමක් ලියන්න, 
වාලුකා කාන්තාරෙ සිද්ධ වෙන තොරතුරු ටිකක් එවන්න,
සමාජ ප්‍රශ්න ගැන හිතෙන යමක් ලියන්න 
කැමති ඇත්තො ඉන්නව නං මෙන්න email ලිපිනය.
otukatha@gmail.com
පෞද්ගලිකව  තොරතුරු එවන අය ගැන 
එළිදරව් කරන්නෙ නං නෑමයි ...ඕං.....

Saturday, 29 March 2014

කෑම සමඟ ලෑම නොහොත් එහෙයි මෙහෙයි පෙං කෙළීම


න්දියාව, බංගලිදේසෙ, සිරිලංකාව වගේ රටවල කාන්තාවෝ විතරක් නොවෙයි පහල මට්ටම්වල රස්සා කොරන පිරිමි පාර්සවේ පවා වාලුකා කාන්තාරෙ ඔටු රටවලට වෙලා වැඩ කොරන්නෙ සොච්චං මුදලකට.

ලක්සෙට කොඩි දාගන්න පුළුවන් තරමෙ උදවියත් නැතුවා නොවෙයි. ඒත් බොහොමයක් දෙනා වැඩ කොරන්නෙ උපන් රටට ගොහින් කියන්නත් ලැජ්ජ හිතෙන තරමෙ හිඟන පඩි වලට.

තමන්ගෙ රටට වෙලා කුලියක් මලියක් කළත් ඔය ගාන හොයා ගන්න බැරිවෙන එකක් නෑ. හැබැයි ඒ වගේයැ පිටදේසෙකට ඇවිත් හාම්පුතාලගෙ පස්ස හේදුවත් ගමේ රටේ උන්ට පේන එකක්යැ.

සිරිලංකාවේ වැඩියෙන්ම විදේශ විනිමය ලැබෙන්නෙ වාලුකා කාන්තාරෙ ගෙවලවල මෙහෙකාරකොමට ඇවිත් දහදුක් විඳින ඇත්තියන් රටට එවන කාසි පනං වලින් වුනාට වැඩියෙන්ම අසරණ වෙන්නෙත් උන්දැලම තමයි ඕං.

විශ්වාස කළෑකිද අයිබං පෙළක් ඇත්තියො මාසයක් කඹුරලත් අතට ගන්නෙ සිරිලංකාවේ සල්ලි වලින් රුපියල් විසිදාහකටත් අඩුවෙන් වෙච්චි අවස්ථා තියෙනව කිව්වම.

විශ්වාස කළත් නොකළත් මේ උන්දැල දරුමල්ලො, දෙමාපියො, සහෝදර සහෝදරියො කොටින්ම දරු පවුල් පිටින් අතෑර දාල මේ කාන්තාරෙට ඔය වගේ සොච්චං හිඟන පඩියකට එන්නෙ මොන කරුමෙකටද මංදා.

ඉඩමක් කඩමක් ගන්න, ගෙයක් දොරක් හදා ගන්න, ගෙදරට වටින බඩු මුට්ටු ටිකක් ගන්න, දරුවො දීග තලග දෙන්න, ඔත්පල වෙලා ඉන්න දෙමාපියන්ට පිළිසරණක් වෙන්න, ණයතුරුස් බේර ගන්න ආදී මෙකී නොකී හේතු කාරණා හිංද සත් සමුදුර ගෙවාගෙන ගෙවල්වල මෙහෙකාරකමට එන කාන්තාවො මොන තරං දහදුකක් විඳිනවද අම්මපා.

මෙහෙම හම්බු කොරල ගං රටවලට යවන සල්ලිත් කාබාසිනියා කොරොන එවුන් ඉන්නව. ඒ වගේම ඒ සල්ලි වලින් කාල බීල, සූදු කෙළල සුදි කොරන එවුනුත් ඉන්නව. නෙයියාඩගං, නරිනාටක විතරක් නොවෙයි මඟුල් නටන එවුනුත් ඉන්නව.

අරහෙ ගෑනි දහදුක් විඳිනව. කන්ඩ දෙන්නෑ කියයි, තඩිබානව කියයි, කටු ගහනව කියයි, උඩ තට්ටුවෙන් පහලට තල්ලු කළා කියයි, දසවද දිදී වැඩ ගන්නව කියයි. ඒ මදිවට අඹු කොමටත් ගන්න බව නොකියයි.    

ඉතිං මේවට මූණ දෙන්නෙ නැතිව හොරෙන් එළියට පනින අයත් ඉන්නව. ඒජන්සි වලින් එක ගෙදරක වැඩට ඇවිල්ල එතනින් පැනල ගොහිං හැංගි හැංගි කෑලි ගානට, නැත්තං පැය ගාණට වැඩ කරන අය ඕන තරං.

එතකොට නිදහස තියෙනව තමයි. අර කිව්ව වද බන්ධන නෑ තමයි. ඒත් ජීවත් වෙන්නෙ පපුවෙ ගින්දරින්. කොයි වෙලාවෙ ආරක්ෂකයො කුදලං යයිද කවුද දන්නෙ. කුදලං ගියාම හිරේ විලංගුවෙත් දාලා ආපු රටටම ආපහු පටෝල යවනව.

ඉතිං මේවයින් බේරෙන්න එක එක උප්පර වැට්ටි දා ගන්නව.

අද ඔටුවගෙ කතාව මේ ගැනයි ඕං.

ගෙවල් වලින් පැනල ගිහින් හැංගි හොරා වැඩ කරන කාන්තාවන්ට වැඩි ගාණක් හොයා ගන්න පුළුවන් වෙන්නෙ පැය ගානටම අය කරන හිංදම විතරක් නොවෙයි හොඳ හයිය තියෙන මෝරෙකුත් අල්ල ගන්න පුළුවන් නිසයි.

උපන් රටේදි හරි හමන් සුදුසුකමක් පළ පුරුද්දක් නැතිව අනාථ නාථ වෙච්චි උන්දැලැ මෙහෙ ඇවිත් තමන්ට හිතා ගන්න බැරි තරමෙ පඩිනඩි වලට වැඩ කොරනව. එක පාරටම ලක්ස ගණන් හම්බු කොරන්න ගත්තම මේ කට්ටිය මෝරු වෙන එක අහන්ඩත් දෙයක්යැ.

එතකොට උපන් රටේ ගෙවල් දොරවල්වල ඉන්න දරු මල්ලන්ට සලකන ගමන් වාලුකා කාන්තාරෙනුත් පවුල් වෙනව. පවුල් කනව.

මේ මෝරුන්ට අහු වෙන්නෙම හොරාට පැනල තැන් තැන් වල මෙහෙකාරකම් කොරන ගෑනු පරාණම තමයි. 

මේකෙන් මෝරුන්ගෙත් උවමනා එපාකම් ඉෂ්ට සිද්ධ වෙනව.

අර අහිංසක ගෑනු පරාණ වලටත් සොච්චමක් හරි වැඩියෙන් හොයා ගන්න ලැබෙනව. එහෙම කොරල ඒ ඇත්තියො උපන් රටේ ඉන්න දරු පවුල් සුඛිත මුදිත කරන්න වලි කනව.

අවුරුද්දකට දෙකකට වතාවක් ගම රට යනකොට යන්නෙ නං කිරි දියෙන් නාවපු සුද්ධවන්තයො, සුද්ධවන්තියො වගෙයි ඕං.

බොහොමයක් වෙලාවට ගෙවල් සුද්ධ පවිත්‍ර කොරගන්න, කෑම උයා පිහා ගන්න තමන් ඉන්න පාලු ගෙදරට ගෙන්න ගන්න ගැටිස්සියෝ විතරක් නොවෙයි මහ අම්මණ්ඩිල පවා මේ ගැටේට අහු වෙනව.




 කෑම සමඟ ලෑම.




එක වෙලාවකට ඔටුවට හිතෙනව මේව එක එක්කෙනාගෙ සාරීරික උවමනාවල් නොවෙද කියලත්.

හැබැයි ඕං හැමෝ ගැනම මෙහෙම හිතනව එහෙම නොවෙයි. ඔටුරටවල තනිපංගලමෙ රස්සාවල් කරන හැමෝම මේ තත්තෙට පත් වෙන්නෙ නෑ.

ඒකත් අවධාරණය කරන්නම ඕනැ.

මෝරුන්ට අහු නොවී තමන් ආව කාරණේටම කැප වෙලා උපන් රටේ ඉන්න දරු පවුල් ගැනම හිත හිත පේවිලා ඉන්න ඇත්තියනුත් නැතුවාම නොවෙයි. තමන් මෝරෙක් නොවී හරි හම්බ කරන සේසතම අඹු දරුවන්ගෙ සුබ සිද්ධියට යවන උන්දැලත් ඕනැ තරම් ඉන්නව.

හැබැයි ඉතිං අවුරුද්දක් දෙකක් එක දිගට ඇඹේනියන්ගෙන් නැත්නම් ස්වාමි පුරුසයන්ගෙන් ඈත් වෙලා ඉන්න කොට ලිංගික ඕනැ එපාකං ඉටු කොරගන්න හිතෙන එක වැරැද්දක්මද කියල කෙනෙකුට අහන්න පුළුවනි. 

නොදන්නා රටක තනිවුණාම ආරස්සාවට කෙනෙක් ඉන්නව කියල දැනෙන එකත් සහනයක් වෙන්නැති.

ඒ හංද ඔටුව මේ නෙයියාඩගං අවකල් ක්‍රියා විදිහට විවේචනය කොරනව හෙම නොවෙයි, කට කහනවට කියල දානව විතරයි ඕං.

හැබැයි මේ වැඩෙන් වෙන්නෙ දෙපැත්තෙ ඉන්න දෙගොල්ලොම අනාථ වෙන එකයි. ඒක ඉතිං කොරන කොට තේරෙන්නෙ නෑ. කවද හරි  වැඩේ පත්තු වෙච්ච දවසක තමයි හබක් වෙන්නෙ.

කකුළුව සැපක් යැයි හිතාගෙන වතුර පැහෙන කල් හැලියට වෙලා දිය කෙළිනවලුනෙ.


ඒ වගේම නොවෙන්නං මේ පෙං කෙළිල්ලත්.  
================================

පසුව ලියන වගයි.....

මෙන්න උදාහරණ

කාට කාටත් හොඳ පාඩම්....
පරෙස්සම් වෙයල්ලා....!























-සෙස්ස පස්සට ෴

- සෙරන්ඩිබ් ඔටුවා  








පසු සටහන:  සෙරන්ඩිබ් ඔටුවට පෞද්ගලිකව යමක් ලියන්න, 
වාලුකා කාන්තාරෙ සිද්ධ වෙන තොරතුරු ටිකක් එවන්න,
සමාජ ප්‍රශ්න ගැන හිතෙන යමක් ලියන්න 
කැමති ඇත්තො ඉන්නව නං මෙන්න email ලිපිනය.
otukatha@gmail.com
පෞද්ගලිකව  තොරතුරු එවන අය ගැන 
එළිදරව් කරන්නෙ නං නෑමයි ...ඕං.....