Pages

Friday, 3 October 2014

‘ජීවිතය පැහැදිලි කිරීම මගේ සිනමාව නොවේ’- කාලෝස් රෙගෙඩාස්






  • සිනමා කෘතියකදී ප‍්‍රධාන වශයෙන්ම සිදුවන්නේ හොඳ කථාවක් කීම බව ලොව පුරා, විශේෂයෙන්ම බටහිර රටවල මුල්බැසගත් කියමනක් බැව් කිවයුතු නොවේ. එකී මතය පිළිගන්නේ නම් සිනමා භාෂාව සතු ශක්‍යතාවන් බොහොමයක් අමතක කිරීමට හෝ නොසලකා හැරීමට ඔබට සිදුවනු නොඅනුමානය. සිනමාව යන්න කතාවක් කීම සඳහා යොදා ගන්නා මෙවලමක්ය යන මතය පිළිගැනීම නිසා රූපය හා ශබ්දය යන්න, එකී කථාව කීමට උපයෝගී කරගන්නා අංගෝපාංග බවට පමණක් පත්වේ.
  • ඈත අතීතයේදි චිත‍්‍ර ශිල්පය භාවිත වූයේද මෙවන් අරමුණක් සඳහායි. විශේෂයෙන්ම ආගමික හා ඓතිහාසික පුරාවෘත්ත නොඑසේ නම් මිථ්‍යා කතා හා යුද්ධ සටන් පිළිබඳව කතාන්දර කීමට එකී මාධ්‍යය යොදාගනු ලැබීය.
  • එහෙත් කාලයාගේ ඇවෑමෙන් චිත‍්‍ර ශිල්පය මෙකී රාමුවෙන් පිට පැන වෙනත් මානයක් කරා යොමුවන්නට විය. විශේෂයෙන්ම ඒ හරහා ජීවිතය පිළිබඳ කිසියම් දෘෂ්ටිවාදයක් ඉස්මතු කිරීමට චිත‍්‍රශිල්පීහු උත්සාහ ගත්හ. ඇතැම් විටෙක, හැඟීම් හා භාවයන් ප‍්‍රකාශකිරීම එහි අරමුණ විය.
  • ඇත්ත වශයෙන්ම මේ වනවිට චිත‍්‍රපට හරහා කිවයුතු සියලූ කතන්දර කියා අවසන්ව ඇතැයි මට සිතේ. අලූත් කථාවක් කීමට කිසිවෙකුට අවකාශයක් නැත. ලෝකයේ අලූත් සිදුවීම් තවදුරටත් කොතෙකුත් සිදුවන බව සත්‍යයකි. එහෙත් පුළුල් අර්ථයෙන් ගත්විට සංකල්පීය වශයෙන් නම් අලූත් කතාවක් කීමට කිසිදු අවකාශයක් දැන් නැත.
  • සිනමාව හා අදාළව බොහෝවිට සිදුව ඇත්තේ එකම කථාව යළි යළිත් කීමක් වැනි දෙයකි. යුද්ධ චිත‍්‍රපටයක්, ආදර කථාවක් හෝ භාවාතිශය කථාවක් තුළද කියැවෙන්නේ එකම දෙයකි. බහුතරයක් චිත‍්‍රපටවලදී චරිත හඳුන්වා දීම පවා සරල යාන්ත‍්‍රික ක‍්‍රමවේදයක් අනුගමනය කරමින් සිදුවන බව පෙනේ. ඒවා බොහෝවිට කර්මාන්ත ශාලාවකින් නිකුත් කෙරෙන භාණ්ඩ බවට පත් වී ඇත.
  • එහෙත් සිනමාව යනු ඔබ ‘දේවල්’ දකින ආකාරය පිළිබිඹු කරන්නක් බැව් මගේ පිළිගැනීමයි. කිසියම් චරිතයක් ජීවිතය දකින ආකාරය, ඔහුගේ හෝ ඇයගේ ආත්මීය ගවේෂණය ඒ හරහා ඉස්මතුවීම වඩා වැදගත් වේ. ඕනෑම කලාවක් අරබයා සිදුවිය යුත්තේ ද එවැන්නකි.
  • සිනමාවේ පරම සංඝටකය කාලයයි. කෘතිය හරහා එකී කාලමානය හැසිරවීම සිනමා කලාවේ ආත්මයයිග සිනමා කෘතියක් තුළ ඇතුළත් සියල්ල කිසියම් ආකාරයකට පරිහරණය කිරීමෙන් ආත්මීය ප‍්‍රකාශනයක් ඇති කළ හැක.
  • සිනමා භාෂාව යනු කුමක්ද? සන්නිවේදනයේදී මිනිසා විසින් කථා කිරීමට හා ලිවීමට භාෂාව භාවිත කරයි. එහෙත් සතුන්ට එවැනි භාෂාවක් නැත. එහෙත් සත්තුද සිය වර්ගයා අතර කිසියම් සන්නිවේදනයක් සිදුකරති. සිනමා භාෂාව ළංවන්නේ එයාකාරවූ භාෂාවකට ය. සිනමාව ශ‍්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයකැයි කරන්නාවූ ප‍්‍රකාශය එක්තරා ආකාරයක තාක්‍ෂණික, එමෙන්ම නීරස ප‍්‍රකාශයකි. දැනට සිදුව ඇත්තේ කැමරාව හා පටිගත කිරීමේ උපකරණ කථාවක් කීම උදෙසා භාවිත කරන්නාවූ උපාංග බවට පත්වීමයි. එහිදී සිදුවන්නේ සිනමාව, සාහිත්‍යයෙන් කෙරෙන්නාවූ කටයුත්ත නැවතත් කිරීමට උත්සාහ කිරීමකි. සිනමාව යන්න වඩා ගැඹුරු එයටම අනන්‍යවූ ප‍්‍රකාශන මාධ්‍යයකි.
  • ජීවත්වීම තුළ පවතින ආශ්චර්යය හා ගුප්ත බව ඒ හරහා පිළිබිඹු කිරීමට එම`ගින් අපට හැකියාව ඇතග හොඳ කථාවක් කීමට වඩාත් සුදුසු මාධ්‍යය වන්නේ සාහිත්‍යයයි. කට වචනය පවා කථාවක් කීමට වඩා සුදුසු මාධ්‍යයකි.
  • හොලිවුඞ් හා බොලිවුඞ් සිනමාව තුළ පමණක් නොව සිනමා ලොවෙහි බහුතරයක් දෙනා සුප‍්‍රසිද්ධ නළු නිළියන් පිරිවරාගෙන කරන්නාවූ කටයුත්තට වඩා වැඩි යමක් සිනමාව හරහා ඉටුකළ හැකිය. මා වත්මනෙහි යෙදී සිටින්නේ එවන් උත්සාහයකයි. ජීවිතය පිළිබඳව අප එකිනෙකාගේ දැක්ම අපටම අනන්‍ය වූවකි. එය අපගේ මරණයත් සමඟම වියැකී යයි. ඒ අනුව අප නිර්මාණය කරන චිත‍්‍රපටය අපටම අනන්‍ය එකකි. එය වෙනත් චිත‍්‍රපටයකට සමකළ නොහැකි වන්නේ එනිසායි. කතන්දර සිනමාව තුළ නිරතුරුවම එකම කථාව විවිධ ස්වරූපයෙන් ප‍්‍රකාශ වුවද, මා කියන්නාවූ සිනමාව තුළ එකම කථාවක් නොකියැවෙන්නේ එබැවිනි.
  • ඇත්ත වශයෙන්ම අප දේවල් දකින ආකාරය, අපගේ සිතුම් පැතුම් යනාදිය අප කටින් කරන්නාවූ ප‍්‍රකාශයන්ට හාත්පසින්ම වෙනස් බවක් පිළිබිඹු කරයි. බොහෝදේ වචනයට පෙරළිය හැකියැයි මම නොසිතමි. එබැවින් මා උත්කර්ෂයට නංවන සිනමාව නිරතුරුවම අලූත් මතයක්, අලූත් අත්දැකීමක් නැතිනම් අලූත් කථාවක් කීමේ හැකියාවකින් යුක්ත වූවකි.
  • මෙය සන්නිවේදන කාර්යයකට වඩා ගැඹුරට යෑමකි. කිසියම් භාව ප‍්‍රකාශනයකි.
  • සිනමාව ඉගෙනීම අනතුරක් නොවූවද, ඇතැම්විට ඔබගේ අධ්‍යාපනය සිනමාවට ප‍්‍රවිෂ්ට වීමේදී ගැටලූ මතුකිරීමට ඉඩ ඇත. මගේ අදහසේ හැටියට හැකිතරම් චිත‍්‍රපට නැරඹීම වඩා සුදුසු ක‍්‍රමවේදයයි. එහෙත් එතරම් චිත‍්‍රපට නොබලන ඇතැම් සිනමාකරුවන් ද ලොව කොතෙකුත් සිටින බව වටහාගත යුතුවේ. 
  • සාම්ප‍්‍රදායික රාමුවෙන් පිට පැනීමට ඔබට ආත්ම ශක්තියක් තිබීම වඩා වැදගත්ය. ලංකාවේ ජීවත්වන ඔබට හොලිවුඞ්, බොලිවුඞ් සිනමාව හෝ රූපවාහිනී ආකෘතියෙන් විනිර්මුක්ත ආකෘතියක් පිළිබඳ සිත යොමු කිරීමට සිදුවනු නොඅනුමානය. මෙවැනි චිත‍්‍රපටවලට හුරුවූ බොහෝ අය මගෙන් නිතර අසන පැනයක් නම් මගේ සිනමාව මෙතරම් මන්දගාමි වී ඇත්තේ ඇයිද යන්නයි. ඇත්ත වශයෙන්ම වේගය යනු සාපේක්‍ෂ ප‍්‍රපංචයකි. සැබෑ ජීවිතයේ පවතින්නාවූ වේගය, හොලිවුඞ්, බොලිවුඞ් සිනමාවට වඩා මන්දගාමී එකක් බැව් මගේ පිළිගැනීමයි. 
  • ලංකාවේදී මා දුටු ඇතැම් ඉන්දියානු චිත‍්‍රපට හා රූපවාහිනියේ විකාශය වන දෙස් විදෙස් ටෙලිනාටක හා වෙළෙඳ දැන්වීම් හොලිවුඞ් චිත‍්‍රපටවලටද වඩා වේගවත් ලයමානයක් සහිතය. එය විස්මයට කරුණකිග හේතුව ඉන්දියාවේ හෝ ලංකාවේ ජන ජීවිතය ඊට වඩා බෙහෙවින්ම මන්දගාමී වීමයි.
  • මම එතරම් චිත‍්‍රපට හෝ රූපවාහිනී වැඩසටහන් නැරඹූ අයෙක් නොවෙමි. මා කුඩා කල අපගේ නිවසේ රූපවාහිනී යන්ත‍්‍රයක් නොවීය. අනතුරුව මම මිතුරන් කිහිප දෙනෙකු සමඟ සුපර්මෑන් වර්ගයේ බටහිර චිත‍්‍රපට කිහිපයක් නැරඹීමි. පසු කලෙක මගේ පියා රූපවාහිනී යන්ත‍්‍රයක් හා පටි ධාවන යන්ත‍්‍රයක් සමග චිත‍්‍රපට 2000ක් පමණ නිවසට රැගෙන ආවේය. ඒ් චිත‍්‍රපට බොහෝමයක් මැක්සිකානු රජය විසින් වාරණයට හසුකරනු ලැබූ, කොටස් කප්පාදු කළ චිත‍්‍රපට විය. එකල මගේ වයස අවුරුදු 16 කි. ඉන් අනතුරුවම මම චිත‍්‍රපට නරඹන්නට පුරුදු වුණෙමි. 
  • මා නැරඹූ එක් චිත‍්‍රපටයක් නම් අන්ද්‍රේ තර්කොව්ස්කිගේ Nostalgia යි. මා එම චිත‍්‍රපටය හෝ එහි නිර්මාතෘ පිළිබඳව හෝ කිසිවක් දැන සිටියේ නැත. ඔහුගේ නම පවා මා දැනගත්තේ එදිනයි. එම චිත‍්‍රපටය මා විස්මයට පත් කළේය. සිනමාව හරහා එවන් දෙයක් කළ හැකියැයි එයට පෙර මා දැන සිටියේ නැත. එහි සෑම කුඩා කොටසක්ම එයටම අනන්‍ය වූ අරුත් සම්භාරයකින් යුත් බවක් මට හැඟී ගියේය.
  • ඉතා දක්‍ෂ සිනමාකරුවකු වන ඇල්ෆ‍්‍රඞ් හිච්කොක්ගේ චිත‍්‍රපටයකදී නම් එවැනි තනි කොටසක් කිසිදු අරුතක් දනවන්නේ නැත. එවැනි චිත‍්‍රපටයක් ඉතා සැලසුම් සහගතව මනා ලෙස නිර්මාණය කර තිබුණද චිත‍්‍රපටයේ මැදින් කිසියම් කොටසක් පමණක් ඉවත් කොට නැරඹීමේ හැකියාවක් නැත. තර්කොව්ස්කිගේ චිත‍්‍රපටය කථාවක් කීමට වඩා ඔබ්බෙන් ගිය නිර්මාණයකි.
  • රොසෙලිනීගේ චිත‍්‍රපටයකදී, සැබෑ පරිශ‍්‍රමයක් තුළ කිසියම් කථාවක් ගොඩනැඟීමට ඔහු උත්සාහ ගනී. එසේම ඉන්දියානු සිනමාකරු රිට්වික් ඝටක් වැන්නකුගේ චිත‍්‍රපට නැරඹූ මට, භාවාතිශය නාටකයක් ආධ්‍යාත්මිකව ස්පර්ශ කළ හැකි ආකාරයෙන් ඉදිරිපත් කොට තිබූ විලාසය දැකගත හැකි විය. මේ සියල්ල තුළින් මා කිසියම් දැනුවත් බවක් හා ඥානයක් උකහා ගත්තායැයි හැඟේ.
  • එහෙත් සිනමාකරුවකු වීමට තාක්‍ෂණික වශයෙන් බොහෝ දේ ඉගෙනීමට ඔබට සිදුවේයැයි මට නොසිතේ. සංගීතඥයෙකු වීමට ඔබ බොහෝ කලක් පුරුදු පුහුණුවී අධ්‍යාපනයක් ලැබිය යුතු වුවද මෙහිදී එය එසේ නොවීම විශේෂත්වයකිග චිත‍්‍රපට තැනීමට, නළු නිළියන් හැසිරවීමට හෝ වෙනත් දේ කිරීම සඳහා සරල සූත‍්‍රයක් හෝ ක‍්‍රමවේදයක් නොවීම එයට හේතුවයි. වඩා වැදගත් වන්නේ සිනමාවට ඔබ සිත තුළ ඇති ලාලසාවයි.
  • සිනමා පාසල් වැදගත් වන්නේ චිත‍්‍රපට බැලීමට, සාකව්ඡුා කිරීමට හා සිනමාකරුවන් හමුවීම සදහා එහිදී කිසියම් වේදිකාවක් සකස් කෙරෙන නිසායි.
  • සිනමා පාසල්වල ඉගෙනුම ලැබූ ඇතැම් අය, චිත‍්‍රපට තැනීමට බියක් දක්වන බව පෙනීයයි. එනිසාම ඔවුනගේ චිත‍්‍රපට අසාර්ථක වන අවස්ථාද ඇත. එයට හේතුව ලොව විශිෂ්ට සිනමාකරුවන් දේවත්වයෙන් ඇදහීමට, අනුකරණය කිරීමට ඔවුන් පෙළඹීම විය හැකියි. සිනමා පාසල් තුළදී බොහෝවිට පරමාදර්ශී චරිත, පරමාදර්ශී චිත‍්‍රපට පිළිබඳ සංකල්පය උත්කර්ෂයට නැංවේ. සිනමා නිර්මාණයක් ඔරලෝසුවක් මෙන් පරමාදර්ශී විය නොහැක. ඔරලෝසුවක තත්පරයක් පවා ඉතා නිවැරදිව සටහන් කළ හැකිය. එහෙත් සිනමා කෘතියකදී එවැන්නක් සිදුවිය නොහැක. ඔබගේ සිතිවිලි, ඔබගේ ප‍්‍රකාශනය, ඔබගේ දැක්ම එයාකාරවූ පරමාදර්ශී එකක් විය හැක්කේ කෙසේද?
  • චිත‍්‍රපටයක් තුළ ප‍්‍රථම විනාඩි 10 තුළදී චරිත හඳුන්වා දිය යුතු බවත්, අහවල් විනාඩියේදී ගැටුමක් ඇතිකළ යුතු බවත් යනාදී වශයෙන් ගොඩනැ`ගී ඇති සූත‍්‍රය පිළිබඳව සැලකිලිමත් විය යුතු නැත. මෙවැනි දේ ඉගෙනගන්නා සිනමා පාසල් ශිෂ්‍යයා චිත‍්‍රපට තැනීම දුෂ්කරක‍්‍රියාවක් ලෙස සලකා බියට පත්වේ. තමාගේ කෘතිය අසාර්ථක වේදෝයි බියෙන් නිරතුරුවම පෙළේ.
  • චිත‍්‍රපටයක් නිර්මාණය කරන ඔබ එහි එන ප‍්‍රකාශනය, රූපරාමු සැකැස්ම හා කාලමානය හරහා පේ‍්‍රක්‍ෂකයා වෙත කිසියම් ආධ්‍යාත්මික ප‍්‍රකම්පනයක් ඇති කිරීමට කටයුතු කරයි. පේ‍්‍රක්‍ෂකයා එය අවශෝෂණය කරන්නේ ඔහුටම අනන්‍යවූ ආකාරයටයි.
  • ඔබ භූමි දර්ශනයක් මිත‍්‍රයෙකුට පෙන්වූ විටෙක ඔහු තමනට අවශ්‍ය වේලාවක් එදෙස බලා සිටීමට පෙළඹේ. ඒ සඳහා එතරම් වේලාවක් ඔහුට නොදී තත්පර කිහිපයකින් මිතුරා එතැනින් ඉවත් කිරීමට උත්සාහ ගන්නේ නම් ඔහු බෙහෙවින්ම කෝප වනු නොඅනුමානය. චිත‍්‍ර ප‍්‍රදර්ශනයකදී, හැකි වේලාවක් චිත‍්‍රයක් දෙස බලා සිටීමට අවස්ථාව ඇත.
  • එහෙත් බොහෝවිට සිදුවන්නේ සිනමාකරුවා, පේ‍්‍රක්‍ෂකයා යමක් දකින ආකාරය පාලනය කිරීමට යෑමයි. හොලිවුඞ් සිනමාව තුළ එවැනි නිදහසක් පේ‍්‍රක්‍ෂකයාට නොලැබේ.
(උපුටා ගැනීම - රාවය)


-සෙස්ස පස්සට ෴

- සෙරන්ඩිබ් ඔටුවා



2 comments:

  1. බොහොම වැදගත් අදහස් ගොන්නක්..රෙගඩාස් ෆ්ලැට් අදහස් කාරයෙක් කියලා චින්තන ධර්මදාස කියාල තිබුන කතාව බොරුවක්ය කියලා මට හිතුනා.

    ReplyDelete
    Replies
    1. සෙරන්ඩිබ් ඔටුවා කිසිදු මත පළකිරීමකින් තොරව මේ ලිපිය “වාලුකා සිතුවිලි“ වලට දැම්මේ වටිනා අදහස් ගොන්නක් බෙදා හදාගන්න හිතුව නිසාම නොවෙන්නං ආයිබං......

      Delete