Pages

Thursday, 25 July 2024

බාහු සර්....බාහු සහෝදරයා...!! සුබ රාත්‍රියක්.....!!!

 සහෝදරයා කියා ඇමතූ මගේ එකම ගුරුවරයා....

ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න කාලවකවානු තුනකදී මට මුණ ගැසී ඇති අයුරු සිහිපත් වුණා.
පළමුව ආචාර්යවරයෙකු ලෙස පේරාදෙනිය විශ්වවිද්‍යාලයේදී.
දෙවනුව වාර්තා විචිත්‍රාංගයක් සඳහා එතුමන්ගේ සම්මුඛ සාකච්ඡාවක් ලබා ගැනීමට නිවහනට ගිය විට.
තෙවනුව කොළඹ මහවැලි කේන්ද්‍ද්‍ර පැවැති පොතක් එළිදැක්වීමේ අවස්ථාවකදී.

අප විශ්වවිද්‍යාලයට යන විට එතුමන්ගේ වැඩ තහනම් කොට තිබුණා. ඒ එවකට ජනාධිපති ජේ.ආර්. බලහත්කාරයෙන් ජනාධිපති ලෙස පත්වීමට විරුද්ධව විශ්වවිද්‍යාලයේ හා ඉන් පිටත කළු කොඩි දැමීමට මූලික වීම නිසා. ඒත් සති කිහිපයකට තහනම ඉවත් කළ බැවින් අපට එතුමන්ගේ දේශන කීපයකට සහභාගි වෙන්න ලැබුණා. ප්‍රතාපවත්, හැන්ඩ්සම් ගුරුවරයා අපේ සිත් ගත්තා. ඇරත් ඔහු දුෂ්ඨ පාලකයෙකුට අභියෝග කළ වීරයෙක්.
වික්‍රමබාහු කරුණාරත්න පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිය ලබා බ්‍රිතාන්‍යයේ කේම්බ්‍බ්‍රි විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගත් අයෙක්. එතුමන් පූර්ණකාලීන දේශපාලනයේ නොයෙදී විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස සේවය කළේ නම් වඩාත් ඉහළ සේවයක් ඉටු වන්නට තිබුණා නොවේදැයි මා ප්‍රශ්න කළොත්, ඒ ප්‍රශ්නය විවාදසම්පන්න විය හැකියි.
පේරාදෙනිය ඉංජිනේරු පීඨයේ කීර්තිමත් මහාචාර්ය මුණිදාස පී. රණවීර ගුරුතුමා පිළිබඳ 2009 වසරේදී මා අධ්‍යක්ෂණය කළ වාර්තා විචිත්‍රාංගයකට, එතුමන් සමඟ එකට අධ්‍යාපනය හැදෑරූ ආචාර්ය වික්‍්‍රමබාහු කරුණාරත්නගේ සම්මුඛ සාකච්ඡාවක් රූ ගත කිරීමට මා "බාහු" ගේ නිවහනට,"වලව්වට" ගිය අවස්ථාවේදී තමයි මට එතුමන් හා සමීපව බොහෝ දේ කතාබහ කරන්නට ඉඩ ලැබුණේ.
බාහු හරිම නිරහංකාරයි. ඒ වගේම දැඩි මතධාරියෙක්. ඒ එතුමන්ගේ හැටි. බාහුගේ දේශපාලනය හා මගේ එකඟතා, නො එකඟතා වෙතත් එතුමන් වෙත මා තුළ කවදත් ගෞරවයක් තියෙනවා.
අපි එතුමන් හැඳිවූයේ බාහු කියා නිසා මාත් බාහුම කියන්නම්. බාහු අපට සහෝදරයා කියා අමතද්දී සාමාන්‍යයෙන් "සර්" යනුවෙන් අමතන සරසවි ඇදුරාට මාත් සහෝදරයා කිව්වා. ඒ තමයි "සහෝදරයා" වූ මගේ එකම ගුරුතුමා.
මට බාහු අවසන් වරට සම්මුඛ වූයේ දැනට වසර කීපයකට පෙර ජවිපෙ හිටපු ලේකම් ලයනල් බෝපගේ සහෝදරයාගේ පොතක් එළිදක්වන අවස්ථාවේදී.
මේ සමඟ පළවන ලාල්කාන්ත, පුබුදු ජයගොඩ සහෝදරයින් එක්ක බාහු සහෝදරයා පෙනී ඉන්න සේයාරුවත් ඓතිහාසිකයි. ඒ දේශපාලනිකව වෙනස් මඟ යන තුන්දෙනා එකට පෙනී සිටින නිසයි.
වික්‍රමබාහු කරුණාරත්න "සර්..",
බාහු "සහෝදරයා"
ඔබතුමන්ට මගේ ආචාරය...!
මේ වීඩියෝව වාර්තා විචිත්‍රාංගයෙන් උපුටා ගත්තක්.

-සිතන්නා-

Wednesday, 17 July 2024

කොටි ප්‍රහාරවලට මැදිව

 

පිට පළමු පුහුණුව සඳහා යන්නට සිදු වූයේ ත්‍රිකුණාමලය නාවික තටාකාංගනය නුදුරේ පිහිටි කැලෑ දූපතකටයි. දවසක් කැලේ ගත කරන්නට සිදුවන හෙයින් අවශ්‍ය වතුර සහ කෑම අප රැගෙන ගියා. අපිට ලැබුණේ වතුර බෝතලයක් සහ බිස්කට් පැකට් එකක් පමණයි. කැ හමුදා ක්‍රියාන්විතයකට අවශ්‍ය හමුදා ඇඳුම් ඇඟලාගෙන, හැවර්සැක් (haversack) එකේ උණ්ඩ පිරවූ මැගසින් (magazine) රඳවාගෙන, ටී-56 ස්වයංක්‍රිය ගිනි අවියක් කරේ එල්ලා ගෙන තටාකාංගනයේ ජැටියකින් අපි බෝට්ටු වලට නැංගා. කණ්ඩායම් කිහිපයක් ලෙස බෝට්ටු කිහිපයකින් රැගෙන ගිය අපව එම කැලෑ දූපත අද්දර නොගැඹුරු මුහුදේ තැන් තැන් වල අත හරිනු ලැබුවා. මාලිමා යන්ත්‍රය මගින් නිශ්චිත ස්ථානයක් සොයාගෙන පැමිණීම අපගේ ඉලක්කය වුණා. | +++++++++++++++++++++++++++++++ 
අපි සියලු දෙනාම පටවාගත් නාවික හමුදා ට්‍රක් රථ ත්‍රිකුණාමලය හබරණ පාරේ තඹලගමුව ආසන්නයේදී නැවැත්තුවා. කැලෑ පුහුණුවට අවශ්‍ය වන පරිදි බොඩි ආමර් යෙදූ හමුදා ඇඳුම් ඇඟලාගෙන, හැවර්සැක් (haversack) එකේ උණ්ඩ පිරවූ මැගසින් (magazine) දෙක බැගින් රඳවාගෙන, ටී-56 ස්වයංක්‍රිය ගිනි අවිය කරේ එල්ලාගෙන, බිස්කට් වැනි කෑම බීම වතුර බෝතල් රඳවා ගත් පැසක් එල්ලාගෙන තඹලගමුවෙන් උතුරු ප්‍රදේශයේ කැලෑවක් බලා අප පිටත් වුණේ සැබෑ මෙහෙයුමක යෙදෙන සෙබළුන් ආකාරයටයි. මේ ප්‍රදේශයේ විටින් විට කොටි සංවිධානය සහ හමුදාව අතර ගැටුම් ඇති වූ නිසා අපට තරමක් දුරට කල්පනාකාරීව ගමන් ගන්නට සිදු වුණා. ලුතිනන් කොමාන්ඩර් අබේසේන නිතරම අපට පැවසුවේ 
be vigilant කියායි. එකිනෙකා පසුපස එකිනෙකා වන්නට අප කැලෑව මැදින්‍ ගමන් කරද්දී පුහුණු වන සෙබළියන් පසුපසින් ඇදුණා. නියෝගයක් නොමැතිව ටී 56 ස්වයංක්‍රීය අවිය භාවිතා කිරීමට අවසර නැති වුවත්, ඒ වන විට අපට වෙඩි තැබීමේ පුහුණුව ලබාදී අවසන්. මැගසින් (magazine) එක ලෝඩ් කර, ඉලක්කය ගෙන ට්‍රිගරයට ඇඟිල්ල තබා උණ්ඩ වර්ෂාවක් නිකුත් කරන ආකාරය අපට පුහුණු කොට තිබුණා. මේ පුහුණුවේ විශේෂම අංගය වූයේ ප්‍රහාර එල්ල කිරීම නොව කැලෑව හරහා ගමන් කිරීමේදී ඇතිවන දුෂ්කරතා ජය ගනිමින් කෑම්ප් ගැසීමට පුරුදු කිරීමයි. ටෙන්ට් අටවාගෙන, ගිනිමැල ගසා ගෙන, නිදි වර්ජිතව මුර සේවා පවත්වා ගෙන යමින් ආරක්ෂාකාරී වෙමින් රාත්‍රිය ගත කිරීම සඳහා විශේෂ පුහුණුවක් අවශ්‍ය වුණා. ඒ සඳහා රාත්‍රිය වන විට ලුතිනන් කොමාණ්ඩර් බහා(ර්)ද පැමිණ සිටියා. +++++++++++++++++++++++++++++++++++++++ 
වෙඩි වරුසා මැද නිවාඩුවට ගමේ ආ අවස්ථා බොහොමයක් වුණත් එකිනෙකට වෙනස් අවස්ථා තුනක් ගැන පමණක් සඳහන් කරන්න හිතුවා. මුහුදු ආවේක්ෂණ කලාපයේ නැව් වලට අනුයුක්ත වී සිටිද්දී නාවික හමුදා නිලධාරියෙකුට නිවාඩු ලබා ගම රට බලා ඒමේ ක්‍රම කිහිපයක් තිබුණා. නිලධාරියෙකුට කියා මා විශේෂයෙන් සඳහන් කළේ නාවික සෙබළෙකුට නැතහොත් නැවියෙකුට සාමාන්‍යයෙන් නිවාඩු එන්නට සිද්ධ වුණේ ත්‍රිකුණාමලය නාවික තටාකාංගයන බලා එන යාත්‍රාවකින් පැමිණ එහි සිට ගොඩබිමින් කොළඹට එන Convoy එකකින් පැමිණීම මගින් නිසයි. කොන්වෝයි එකක ආයුධ සන්නද්ධ ආරක්ෂක සෙබළුන් රැගත් ට්‍රක් හා ජීප් රථ වලින් සමන්විත බස් රථ කිහිපයක් වූවා. නිලධාරීන් වැඩි වශයෙන් කොළඹ බලා පැමිණියේ ගුවන් මගින්. ඒ පලාලි හෝ ත්‍රිකුණාමලය චයින බේ ගුවන් කඳවුරු වල පිහිටි ගුවන් පථ හරහායි. ගුවන් යානයක ආසනයක් වෙන් කර ගන්නට ඉඩක් නොලැබුණු හදිසි අවශ්‍යතා වලදී නිලධාරීන්ටද කොන්වෝයි එකකින් කොළඹට එන්නට සිදු වුණා. කො‍‍හොමත් අප එවකට කණිෂ්ට නිලධාරීන් වූ බැවින් කල් තබා වෙන් කොටගෙන නොතිබුණේ නම් ගුවන් යානයක ඉඩ ලබා ගැනීම පහසු වුණේ නැහැ. ඊට හේතුව යුධ, නාවික හා ගුවන් හමුදා නිලධාරීන් පෞද්ගලික මෙන්ම රාජකාරි අවශ්‍යතා සඳහා නිරන්තරයෙන් කොළඹ බලා පියාසර කළ නිසයි.

තවත් අත්දැකීම් මෙවර කතා කෝච්චියෙන් අහන්න...


- සිතන්නා

Tuesday, 25 June 2024

සුපිරි හොල්මන් කතාවක්....

නවගමුව රනාල තරුණයන් පිරිසක් විසින් පොසොන් පොහොය නිමිත්තෙන් හොල්මන් මන්දිරයක් ඉදිකර තිබූ අතර එය නැරඹීම සඳහා වයස 21ක කාන්තාවක් ඇයගේ පෙම්වතා සහ තවත් තරුණයන් පිරිසක් සමග පැමිණ ඇත.
එම පිරිස හොල්මන් මන්දිරය නරඹමින් ඒ තුළට යන අවස්ථාවේදී මිනී පෙට්ටියක් මත වැතිර සිටි පුද්ගලයා තම විවාහක සැමියා බව ඇය හඳුනාගෙන ගෙන ඇත. මළ මිනියක් ලෙස සිටි පුද්ගලයාද අදාළ කාන්තාව හඳුනාගෙන ඇති බවත් එම අවස්ථාවේදී මෘත දේහය ලෙස සිටි පුද්ගලයා වහා නැගිට කාන්තාවගේ හිස් කෙටියෙන් අල්ලා පහර දීමට තැත් කිරීම නිසා ගැටුමක් ආරම්භ වී ඇත.
එම කාන්තාවට පහරදීමට තැත් කිරීමත් සමඟ ඇය සමග සිටි අනෙක් තරුණ පිරිස ද හොල්මන් මන්දිරයේ සිටි පුද්ගලයන්ට පහර දීම සමග හොල්මන් මන්දිරයේ හොල්මන් ලෙස සිටි තරුණයන් ද එම පිරිසට පහරදීම ඇත. -සිතන්නා

Friday, 14 June 2024

සුරූපී සරාගී සුපිරි නිළි සනුහරේ


ටීවී පත්තරවල කියපු හැටියට ගණිකා ව්‍යාපාරයේ යෙදුණා කියා අත්තඩංගුවට ගත සුරූපී, සරාගී, සුපිරි නිළිය, සිනමා හා ටෙලිනාට්‍ය නිළියක්.




මාධ්‍ය ඉතිං බලන් ඉන්නෙ නිළියක් කිව්ව ගමන් හොයා නොබලා නිළි සනුහරේටම කෙලවන්න.


අන්තිමේට මේ තනුජා කියන නිළිය(හෝ නිළි වෙස්ගත් නගර ‌සෝභිනිය) අපි අහලත් නෑ..දැකලත් නෑ. එයාගෙ ඇති සුරූපී, සරාගී, සුපිරි කමක් නං පේන්නෙ නෑ.

මොකක් හරි චිත්‍රපටයක රඟපාන්න ආ පමණින් සුරූපී, සරාගී, සුපිරි නිළියක් ලෙස හංවඩු ගැහීම නිළි වෘත්තියේ යෙදෙන්නියන්ට කරන අසාධාරණයක් නොවෙයිද?

නිළියක් දැක්ක ගමන් "බඩුවක්" කියන්න පොළඹවන්නෙ මේ වගේ තුප්පහි ජනමාධ්‍ය වාර්.තා තමයි. නිළියක් නොවේ කවර වෘත්තියක යෛදෙන හෝ නොයෙදෙන කාන්තාවකට තමන්ට කැමැති පුද්ගලයෙක් එක්ක නිදියන්න කාගෙවත් අවසර මොටද? රටේ ලෝකෙ උන්ට කොහෙත්ම සදාචාරාත්මක අයිතියක් නෑ ඒක ප්‍රශ්න කරන්න.

ඒ නිදිවදින්නෙ සල්ලිවලටද, වෙනත් ත්‍යාග ලබාගන්නද කියන එකත් අදාළ ඒ අයටමයි. ජනමාධ්‍ය වලට හොයන්න, පළ කරන්න, ප්‍රචාරය කරන්න කොයි තරම් දේ රටේ තියෙනවද?

ජනමාධ්‍ය ප්‍රසිද්ධිය සඳහා නිළි රස්සාව විකුණන එකත් එක්තරා ආකාරයකට ගණිකා වෘත්තියේ යෙදවීමක් කියලයි මට හිතෙන්නේ....

-සිතන්නා

Tuesday, 4 June 2024

ජීවිතයක් බේරා ගන්න ලක්ෂ 7 ක හිඟයක්...

                                   


නෙවිල් නාඔටුන්න (එන්.බී. නෙවිල්) කියන්නෙ 80 දශකයේ මුල පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සිටි කොයි කාගේත් ආදරය දිනාගත් ශිෂ්‍ය ක්‍රියාධරයෙක්.
 
පසු කාලීනව විදුලි ඉංජිනේරුවෙක් ලෙස ඔහු විවිධ තනතුරු දැරුවා. ධීවර සංස්ථාවේ සභාපති ලෙසත් වරක් කටයුතු කළා. අවසානයේ තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගත්තා. එය සාර්ථකව කරගෙන ගියා.
 

2010 අප්‍රේල් 04 දා නෙවිල් හදිසියේ අසනීප වී මිය ගියා.

ලොකු දුව කොළඹ වෛද්‍ය පීඨයේ සිව්වන වසරේ.
බාල පුතා මොරටුව ඉංජිනේරු පීඨයේ තුන්වන වසරේ.
 
නෙවිල්ගේ බිරිඳ ක්‍රිෂාන්ති හදිසියේ රෝගාතුර වුණා.
Autoimmune Hepatitis රෝගයෙන් පෙළෙන ඇයට අක්මා බද්ධ(Liver Transplant) නොකළොත් වැඩිකල් ජීවත් වෙන්නට නොහැකි බව වෛද්‍යවරුන් තීන්දු කළා. මුලින් ලබන සැප්තැම්බර් දක්වා ජීවත් වීමේ දින දී තිබුණත් අලුත්ම සෞඛ්‍ය තත්ත්වය මත අඩුම තරමින් ජූනි මාසයේ මැද භාගය වන විට ඇයට ශල්‍යකර්මය කළ යුතුයි.
ඉන්දියාවට ගොස් අක්මා බද්ධ කිරීමට වියදම රුපියල් ලක්ෂ 135 ක්.
දරුවන් මේ මුදල කෙසේ හෝ සොයාගෙන මව ජීවත් කරගැනීම සඳහා මූලිකත්වය ගත්තා. විවිධ අරමුදල් වලට ආධාර එකතු කළා. විශ්වවිද්‍යාලයේ හා සමාජයේ නෙවිල් නාඔටුන්න ගැන දැන සිටි, ඔහුට ආදරය කළ බොහෝ දෙනා උදව් කරන්න පටන් ගත්තා.
 
බාල පුතා තම මව වෙනුවෙන් අක්මාවෙන් කොටසක් පරිත්‍යාග කරනවා.

ඒ සඳහා ක්‍රිෂාන්ති හා පුතා සමඟ තව දෙදෙනෙකු ජූනි 10 වනවිට ඉන්දියාවට යා යුතුයි. මේ ශල්‍යකර්මවලට අනුමැතිය දීම සඳහා ලොකු පුතා ශල්‍යකර්මය කරන දිනය වන විට ඉන්දියාවේ Rela රෝහලේ සිටිය යුතුයි.
ජූනි 10 ට පෙර ලක්ෂ 7 කට ආසන්න මුදලක් සොයා ගත යුතු ඉලක්කයක් අප ඉදිරියේ. තව තියෙන්නේ දින කිහිපයයි.
 
මේ සුළුවෙන් හෝ හැකි පමණින් ඔබේ උදව් අවශ්‍ය මොහොතක්. හැකි පමණින් උදව්වක් කර ක්‍රිෂාන්තිගේ ජීවිතය බේරාගන්න දායක වන්නැයි මෙය කියවන ඔබෙන් ඉල්ලා සිටිනවා.
ගිණුම් විස්තර-
අංක 8200053067 දරණ
කොමර්ෂල් බැංකු නුගේගොඩ ශාඛාවේ ගිණුම.
Swift Code-CCEYLKLX
--------------
A/C No: 8200053067
A/C Name. S M N K Samarathunga
Commercial Bank Nugegoda Branch
Swift Code: CCEYLKLX
 
-සිතන්නා
 

Wednesday, 29 May 2024

සමාජ සත්කාරයට ස්තූතියි.

 ගැහැනු දරුවන් තිදෙනෙකුගේ, හදවත් රෝගී පියා වෙනුවෙන් මෑතදී අපි කාරුණික ඉල්ලීමක් කළා.

ඒ ඔවුන්ගේ සිමෙන්ති නොදැමූ පස් ගෙබිමට කොන්ක්රීට් දමා සිමෙන්ති මැදීමට උදව් කරන ලෙසයි.

ඒ සඳහා ෆේස්බුක් හා බ්ලොග් මිතුරන්ගෙන් එක් ලක්ෂ විසි දහසක මුදල් ආධාර ලැබුණා. වියදම එක් ලක්ෂ පන්දහසයි.
මේ ආධාර ලැබුණේ නමින් පෙනී නොසිටින හිතෛෂීන් 5 දෙනෙකුගෙන්.

ඔවුන්ට බොහොමත්ම ස්තූතියි.



වෙසක් දවස්වල ඇද හැලුණු ධාරානිපාත වැස්සෙන් ගෙතුළ දිය සීරා මතුවන්නට පෙර ගෙබිමේ වැඩ නිමා කළා. මේ සේයාරූ වලින් පෙනෙන්නේ නව ගෙබිම.
අපේ මේ උත්සහය වැඩිවියට පත් වූ දියණියන්ගේ ආරක්ෂාව තර කිරීමටයි.
1. ජනෙල් පියන් නැති ජනේල 5 ට ජනෙල් පියන් තනා සවිකොට දීම
2. ඉටිරෙද්දකට ආවරණය වී සිරුර දොවා ගන්නා ඔවුන්ට ඒ සඳහා ගඩොල් බිත්ති ආවරණයක් තනා දීම.
3. පිටත බිත්ති කෙසේ වෙතත් ගේ ඇතුළේ බිත්ති කපරාරු කිරීම.
උදව් ලැබෙන පරිදි ඒ වැඩ එකින් එක සම්පූර්ණ කොට දෙනවා. අත ඉතිරි පහළොස් දාහට තව මුදල් එකතු වෙන බව අපට විශ්වාසයි.

කෙලින්ම ඔවුන්ගේ බැංකු ගිණුමට හෝ අප හරහා හෝ උදව් කරන්නට කැමැති අයට 0779427650 දුරකථනයට අමතා හෝ WhatsApp පණිවුඩයක් එවා ගිණුම් විස්තර ලබා ගන්න පුළුවන්.

-සිතන්නා...

Tuesday, 21 May 2024

රතු සහෝදරයෙකු දුටු විකාරරූපී සිහිනයක්...

1983 වසරේ දී තිරගත වූ අන්ද්‍රේ  තර්කොවුස්කිගේ "Nostalgia"  චිත්‍රපටයේ අවසන් දර්ශනය මට සිහිපත් වේ. 

NOSTALGHIA (1983) - Final Scene

 එහිදී සිද්ධ වන්නේ විවෘත පරිසරයක ඇවිද යන රංගන ශිල්පියා  අත ඇති දැල්වූ ඉටිපන්දම නිවෙන්න නොදී කිසියම් ඉලක්කයක් කරා ගමන් කිරීමය.  සුළඟට ඉටිපන්දම නිවෙන්නේ නැති වෙන්නට එක අතකින් ආවරණය කරගෙන සූක්ෂමව අඩි තබමින් යන ගමන දෙස අපි දෑස් දල්වා බලා සිටිමු.  කොයි මොහොතේ හෝ ඉටිපන්දම නිවී යාදෝයි යන සැක සංකාව අපේ සිත් තුළ ජනිත වන්නේ එසේ නොවේවා යන ප්‍රාර්ථනයක් සමඟය.  එම දර්ශනය ආරම්භ වී මිනිත්තු 3 තත්පර 40 දී ඉටිපන්දම නිවී යයි.  නළුවාට සිද්ධ වන්නේ එතෙක් තමන් ගමන් කළ දුර ආපසු පැමිණ ඉදිපන්දම දල්වාගෙන යළිත් ඉලක්කය කරා ගමන් කිරීමටය. එවර 9 වන විනාඩියේදී ඉටිපන්දම නිමෙන්නට ඉඩ නොදී රඳවා තබන්නට ඔහු සමත් වෙයි. 

අපි එවිට සැනසුම් සුසුමක් හෙලන්නෙමු.


"My Red Comrade" චිත්‍රපටයේ දැල්වූ ඉටිපන්දම් අතින් ගෙන මුහුණට ළං කරගෙන ඒවා රඳවනයක හෝ මේසය මත තබන්නේ නැතිව රඟපාන නළුවෙකු හා නිළියක දැකීමෙන් මට මෙම ජවනිකාව සිහිපත් විය. 

 මිනිත්තු නමයක් පුරා දිවෙන තනි පුද්ගලයෙකුගේ මන්දගාමී චලනයක් සහිත "Nostalgia" හි ජවනිකාව අයාසකර නොවූ එහෙත් කිසියම් ආතතියක් ඇති කිරීමට සමත් වූ ජවනිකාවක් වන අතර "My Red Comrade" හි ඉටිපන්දම මුහුණට ළංකොට අතේ තබා සිටින ජවනිකා ව්‍යාජය. නැරඹීමට වෙහෙසකරය. මට නිතර සිතුණේ රැවුලට ළං කොට ඉටිපන්දම අල්ලන්නේ නැතිව මේසෙ මත තියන්නට බැරි ඇයි කියාය.


මා "My Red Comrade" චිත්‍රපටය පිළිබඳ මගේ කියැවීම එසේ ආරම්භ කරන්නේ චිත්‍රපටයේ ධනාත්මක ගුණාංග මෙන්ම ආඛ්‍යානය බිඳ වැටෙන අවස්ථා ගැන ද සාකච්ඡාවක් ඇරඹීම සඳහාය.

 මා කියවන්නේ දෙවරක් මා ඉදිරියේ සිනමා තිරයක දිග හැරුණු රූපාවලිය හා ඊට සමගාමී හඬපටය වෙත පමණක් අවධානයට යොමු කරමිනි. 


"My Red Comrade"  කතා කළ යුතු සංවාදයට බඳුන් විය යුතු ශෛලියකින් යුතු චිත්‍රපටයකි. එය 88-89 දේශපාලන යුගය හා එහි නියෝජිතයකුගේ චර්යා රටා පාදක කරගන්නා බව සඳහන් වේ.  මේ චිත්‍රපටය එකී යුගයට අදාළ බව අප දැනගන්නේ එවන් දෙබස් කණ්ඩයකින් විනා කිසිදු රූප රාමුවකින් නොවේ.


 87-90 (ඒ මගේ හැඳින්වීමයි.)  ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල පාදක කරගන්නා විට කිසියම් නිර්මාණකරුවකු වෙත  නිතැතින්ම දැඩි වගකීමක් පැන වේ.  අපේ ජීවිත කාලයේදී අත්දුටු සංසිද්ධියක් නැවත  ප්‍රතිනිර්මාණය කරනවා යනු වගකීම් සහිත කටයුත්තකි.


  මා ඉන් අදහස් කරන්නේ නිර්මාණකරුවාට රිසි පරිදි එය අර්ථ දක්වන්නට හෝ එය විශ්ලේෂණය කරන්නට හෝ අයිතියක් නැති බව නොවේ. එහෙත්  සජීවී ලෙස අත්දුටු සංසිද්ධියකට ව්‍යාජ අර්ථකථන දීම නුසුදුසුය.


"My Red Comrade"  චිත්‍රපටයේ එන කැරලිකරුවාගේ  චරිතය තනිකරම මනෝමූලික ව්‍යාජ චරිතයකි.  87-90 දී ජවිපෙ දේශපාලනය කළ,  ධනපති ආණ්ඩුව ත්‍රස්තවාදීන් ලෙස ලේබල් කළ තරුණයකුට අවුරුදු 25කට පමණ පසු වියපත් පුද්ගලයකු ලෙස  බිම් ගතවීමේ අවශ්‍යතාවක් ඇත්තේම නැත. එසේ වන්නේ නම් ටිල්වින් සිල්වා,  ප්‍රේමකුමාර් ගුණරත්නම් වැනි කැරැල්ලට ඍජු ලෙස දායක වූ, ඝාතනය නොවී බේරුණු ජවිපෙ කාඩර වර්තමාන සමාජයේ මෙලෙස නිදහසේ හැසිරෙන්නේ කෙසේද?


 මේ වන විට නොව කිසිදු අවස්ථාවක පොත්පත් රාක්ක මැද බිම් ගතව  දිවි ගෙවූ 87-90 කැරැල්ලේ ජවිපෙ කාඩර අපට හමුවී නැත. 71 කැරැල්ලට සම්බන්ධ එවන් හුදෙකලා චරිත සිටින්නට ඉඩ ඇතත් 87-90 කැරැල්ලේ එවන් චරිත නොවීය.  තිර පිටපත ලියූ හෝ ඊට උපදෙස් ලබා දුන් කිසිවෙකුටත් 87-90  කැරැල්ල පිළිබඳ සජීවී අත්දැකීම් නොතිබූ බව කැට තබා කියන්නට පුළුවන.


 චිත්‍රපටය අවසානයේ "ඇය" නමින් වන ප්‍රධාන චරිතය රඟන තරින්දි ප්‍රනාන්දු "ඔන්න මං එක්කෙනෙක් බේරගත්තා. ඔයාලත් අනෙක් අය බේරගන්න" වැනි අදහසක් ඇති ඉල්ලීමක් ප්‍රේක්ෂකයාගෙන් කරයි. ඇය බිම් ගත ජීවිතයක් ගෙවන පුද්ගලයා බේරා ගත්තා කියන්නේ  කාගෙන්ද?  බේරා ගත යුතු අන් අය කවුරුන්ද?


87-90 ජනතා විමුක්ති පෙරමුණේ හෝ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ දේශපාලනයට සම්බන්ධව සිට මේ වන විට බිම් ගතව සැඟවී සිටින කිසිවෙකුත් නැත. අද ජවිපෙ කාඩරය එහෙම පිටින්ම වෙනස්  පුද්ගල සමූහයක් ලෙස සමාජයේ නිරුපද්‍රිතව විවෘතව ජීවත් වනු දකින්නට හැකිය.


"My Red Comrade" චිත්‍රපටයේ පෙළ බිඳවැටෙන්නේ ආරම්භයේදීමය. 

 මුළු චිත්‍රපටයම රඳා පවතින්නේ බිම්ගත ජීවිතයක් ගෙවන තනිකඩයෙකුගේ කාමරයක් තුළය. ඔහු බිම්ගත ජීවිතයක් ගෙවන්නේ පාලකයින්ගේ ආරක්ෂක අංශ දැති රෝදයට බියෙන්ය. චිත්‍රපටය අවසානයේ පොලිසිය  ඔහු ඉන්නා ඉසව්ව ගැන ඔත්තුවක් ලැබ මේ පුද්ගලයා සොයා එයි. එනයින් බලන කල ඔහු උපක්‍රමශීලීව සැඟව සිටිය යුතු පුද්ගලයෙකි.


 එවැන්නෙකුගේ රහසිගත කාමරයකට මැදියම් රැයේ තරුණියකට ඇතුළු වන්නට දොරක් විවර කර තැබීම අමනෝඥ  ක්‍රියාවකි. 87-90 කැරලිකරුවා එතරම් අමනෝඥ නොවන බව මගේ විශ්වාසයයි. 

එහෙයින් කාමරයට ඇතුළු වන්නට හැකිවන සේ ඒ මොහොතේ පමණක් දොරගුළු දමා නොතිබුණේ චිත්‍රපටියේ අධ්‍යක්ෂවරයාගේ හා කලා අධ්‍යක්ෂවරයාගේ උවමනාවට මිස සැබෑ ලෝකයේ අවශ්‍යතාවට නොවේ. මන්ද ඉන්පසු ඔහු සොයා පොලිසිය එද්දී දොර හොඳින් අගුළු දා තිබූ බැවිනි. 


 එතැනින් බිඳ වැටෙන විශ්වසනීයභාවය චිත්‍රපට පුරා විටින් විට පිටපත දුර්වල කරයි. 

 එවන් දුර්වල තැන් කිහිපයක් මෙසේ ලියා තබමි.

 හරි......! අහම්බෙන් අමතක වී දොරගුල හැර තැබුවා කියා සිතමු. 

 මහ වැස්සේ තෙත බරිත වී පිරිමියෙක් තනිවම සිටින කාමරයකට ඇතුළු වන සමාජ ක්‍රියාකාරිණිය "මට නැතිවෙන්න දෙයක් නෑ" කියා නිරුවත් වන්නේ ඇයි? ඒ අවස්ථාවේ ඇඳුම් ඉවත් කළා කියා චිත්‍රපටය ලැබෙන කිසිදු ආලෝකයක් නැත. තරින්දි ප්‍රනාන්දුගේ නිරුවත් සිරුර ප්‍රේක්ෂකයා ඒ මොහොතේ ඉල්ලා සිටින්නේ නැත. ඇය ගණිකාවක් නොව වීදි නාට්‍ය රඟන, සමාජ ක්‍රියාකාරිණියක බව ප්‍රේක්ෂකයා දැනගත් පසු ඇගේ ක්‍රියාව ජනිත කරන්නේ ජුගුප්සාවකි.  

නාඳුනන පිරිමියෙකු ඉදිරියේ එලෙස නිරුවත් වන්නට සාධාරණ හේතුවක් තිබිය යුතුය. අධ්‍යක්ෂවරයාට උවමනා වූ පමණින් හෝ රංගන ශිල්පිනිය එකඟ වූ පමණින්  නිරුවත් දර්ශනයක් චිත්‍රපටයේ ඇතුළත් කිරීමට තර්කානුකූල හේතු තිබිය යුතුය. 


 චිත්‍රපටය වැඩිහිටියන්ට පමණයි ලෙස ලේබල් කෙරී ඇත්තේ මේ නිරුවත් ජවනිකාව නිසා බව පැහැදිලිය.  මේ නම් නිරපරාදේ ඉල්ලං කෑමකි. තරින්දිගේ නිරුවත නොපෙන්නුවා කියා චිත්‍රපටයේ සන්දර්භයට කිසිදු හානියක් සිදුවන්නේ නැත. හානිය සිදුව ඇත්තේ අනවශ්‍ය තැනක නිරුවත් දර්ශනයක් බලෙන් එබ්බවීම නිසාය.


අනෙක් අතට තරින්දි රාක්කයේ පොත් ගන්නට ඉස්සෙන විට කොට ගවුම ඉස්සී පා යුග්ම නිරාවරණය වනු මෙවන් චිත්‍රපටයක පෙන්වන්නට අවශ්‍යම නැත. "My Red Comrade" නරඹන්නට එන ප්‍රේක්ෂකයා නිළියගේ නිරුවත් පාද දකින්නට බලාපොරොත්තු වෙන්නේ නැත. ඇගේ දෙපා සුන්දර, වටකුරු බව සැබෑය. ඒත් සීරියස් කතාබහක් අතර ඇගේ දෙපා අසුවන්නට රූගත කරන්නටවත් අවශ්‍ය නැත. ඒවා වෙන චිත්‍රපට වලට යොදා ගත්තාට අපට කම් නැත.


 කුඩා අවධියේදී තම පියා මරා දැමූ බව පවසන තරුණිය පියාට කටපාඩම්  දුන්නාය කියා මැක්සිම් ගෝර්කිගේ "අම්මා" පොතේ පිටු සහ පිටු අංක කටපාඩමින් පැවසීම එහෙම පිටිම අභව්‍යය.  ප්‍රේක්ෂකයාට වෙහෙසකාරීය.  එසේ පිටු කියැවූ පසු පියා තමන්ව බදා වැළඳ ගත් බව පවසන ඇය ආගන්තුකයාවද වැළඳ ගනියි.


 සිය පියා මරා දැමුවේ මන්දැයි එකල තේරුම් නොගත් තරුණියට පියා ඉදිරියේ කියැවූ පොතක පිටු පදාස පිටින්, පිටු අංක සමඟ කටපාඩම්ව තිබීම  තිර පිටපතේ සකස් විය යුතුව තිබුණු දුර්වලතාවකි.  අනවශ්‍ය තරම් දිග්ගැසුණු ඇයගේ නැටුම් කිසිදු අර්ථයක් උපද්දවන්නේ නැත. ඒවා බොරු රොමැන්ටික් සැරසිලි විදිහට නම් හොඳය.


 අවසානයේ කැරලිකරුවා සොයා පොලිසිය එද්දී දොර හරින්නේ තනපට රෙද්දක් හැඳි "ඇය"යි. තරුණියක තනියම සිටින බව තේරුම් ගැනීමෙන් හා ඇතුළත තිසර පටයක් හා ජංගි‍යක්  එල්ලා තිබෙනු දැකීමෙන් කාමරය පරීක්ෂා නොකොට ආපසු යන පොලිසියක් තිබුණා නම් මරා දැමූ හැට දහසක තරුණ තරුණියන්ගෙන් කොපමණ දෙනෙකුට බේරෙන්න තිබුණාද ?

 ආසිරි ඇල්ලගේ නම් වූ නවක නළුවා ඔහේ ඉන්නවා මිස කරන රංගනයක් නැත. රඟනොපා සිටීමේ රංගනය ඔහුට ආගන්තුකය.  87- 90 කැරලිකරුවා  ආතක් පාතක් නැති රූකඩයක් බවට රංගනයෙන් ප්‍රකාශ වීම අධ්‍යක්ෂකවරයාගේ අවශ්‍යතාවදැයි නොදනිමි.


 චිත්‍රපටයේ සාධනීය ලක්ෂණ වන්නේ ව්‍යාජ තිරපිටපතක් වුවද සූක්ෂ්ම ලෙස අධ්‍යක්ෂණය කොට තිබීමයි. සුදත් මහදිවුල්වැව අධ්‍යක්ෂණයේ රුසියෙකු බවට තර්කයක් නොමැත.  රුවන් කොස්තා ඉතා අසීරු කැමරාකරණයක හා ආලෝකකරණයක නියුක්තව ඇත. විශේෂයෙන් අතපය දිග හරින්න ඉඩ කඩ නැති කාමරයක් ලෙස සකස් වූ සෙට් එකක මේ කාරියේ ඇති දුෂ්කර බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. අජිත් රාමනායකගේ සංස්කරණය තවත් සූක්ෂම වූවා නම් මැනවි. එහෙත් පැය එකහමාරකට ඇදගෙන යන්නට ප්‍රමාණවත් සිද්ධි නොමැති, ඇදී යන දෙබස් ඇති  චිත්‍රපටයක් සංස්කරණය කිරීමේ අසීරුතා ඔහු අත්විඳින්නට ඇත. නදීක ගුරුගේ සංගීතය හා ගායනය මගින් සුපුරුදු සමත්කම් දක්වා ඇත.


එසේම "ඇය" ලෙස රඟන තරින්දි ප්‍රනාන්දු තමන් සිංහල සිනමාවේ ඉතා විශිෂ්ට රංගන ශිල්පිනියක බව මනාව ප්‍රකට කර ඇත. ඇගේ ගමන, බිමන, බැල්ම, මුහුණේ හැඟීම්,  දෙබස් උච්චාරණය ඉහළ මට්ටමක පවතී. අධ්‍යක්ෂවරයා ඇගේ සියලු කුසලතා උදුරාගෙන මුදා හැර ඇත.


තරින්දිගේ රංගන පරාසය නොවන්නට "My Red Comrade"  ඕලාරික චිත්‍රපටයක් වීමට බොහෝ ඉඩකඩ තිබිණි. ප්‍රේක්ෂකයා ඇගේ රංගන දෙස බලා සිටින්නේ භාවනාවකට සම වැදුණු ආකාරයටය.

 මෙසේ විචාරයක් ලියන්නට උත්සුක වන්නේ  සුදත් මහදිවුල්වැවගේ "My Red Comrade"  කතා කළ යුතු චිත්‍රපටයක් හෙයිනි. එසේ නොවෙන බඩකඩෙත්තු එසැනින් අතහැර දීමට අප පැකිළෙන්නේ නැත. 

මේ අදහස් දැක්වීම සංවාදගත වන්නට නම් සිංහල සිනමා ලැදි හැමෝම  "My Red Comrade" චිත්‍රපටය නැරඹිය යුතුය. සුදත් මහදිවුල්වැව යනු සිංහල සිනමාවට රැක  ගත යුතු අධ්‍යක්ෂවරයෙකි.

පසුව ලියමි.

"My Red Comrade" චිත්‍රපට විචාරය ලියන්නට පෙර 2023 වසරේ තිරයට ආ "You'll Never Find Me" චිත්‍රපටය නරඹන්නැයි සිනමාලෝලීන් කීපදෙනෙක් මට ලින්කුව එවා තිබිණි.
මා හිතාමතාම විචාරය ලිව්වේ මේ විදෙස් චිත්‍රපටය නොබලාය.
ජොසියා ඇලන් හා ඉන්ඩියානා බෙල් අධ්‍යක්ෂණ්‍ය කළ "You'll Never Find Me" නමැති ඔ්ස්ට්‍රේලියානු චිත්‍රපටයට තේමා වන්නේ හුදෙකලා කාමරයක තනිවන වයස්ගත පුද්ගලයෙකු හා මහ වැස්සේ දොරට තට්ටු කොට පැමිණෙන තරුණ කාන්තාවක් පිළිබඳය.
මුළු චිත්‍රපටයම රූගත කර ඇත්තේ කාමරයක් තුළ රැඳුණු චරිත දෙකක් ලෙසිනි.

සුදත් මහදිවුල්වැවගේ "My Red Comrade" චිත්‍රපටයට පාදක වන්නේද හුදෙකලා කාමරයක තනිවන වයස්ගත පුද්ගලයෙකු හා මහ වැස්සේ දොරට තට්ටු කොට පැමිණෙන තරුණ කාන්තාවක් පිළිබඳය. වෙනස ඇත්තේ "You'll Never Find Me" චිත්‍රපටයේ තරුණිය එන්නේ දොරට තට්ටු කොට දොර ඇරවාගෙනය. "My Red Comrade" චිත්‍රපටයේ තරුණියට එන්නට අධ්‍යක්ෂවරයා දොර හැර තිබිණ. "You'll Never Find Me" චිත්‍රපටයේ තරුණිය ප්‍රේක්ෂකයාට පේන්නට නිරුවත් වන්නේ නැත. "My Red Comrade" චිත්‍රපටයේ එසේ නිරුවත් වෙයි.

එල්ලෙන පහන, ගුවන්විදුලි යන්ත්‍රය වැනි සංකේතාත්මක සමානතා තිබුණද "You'll Never Find Me" චිත්‍රපටයේ විශාල පොත් රාක්ක නැත. වියපත් වී සැඟවුණ දේශපාලන සටන්කකරුවෙක් නැත.
ආරම්භයේ යම් සමානකම් තිබුණද මේ චිත්‍රපට දෙකේ සිද්ධි දාමය එකිනෙකට හාත්පසින්ම වෙනස්ය. "You'll Never Find Me" යනු Horror චිත්‍රපටයකි. චිත්‍රපටය අවසානයේ ඉතා දරුණු සිදුවීම් වලින් ගහණය.

"You'll Never Find Me" චිත්‍රපටයෙන් මහදිවුල්වැව inspire වූවාදැයි නොදනිමි. එසේ වූවද ඉන් ගම්‍ය වන වරදක් නැත.
"විදෙස් චිත්‍රපට වලින් ආභාෂය ලැබූ හෝ ඉන්ස්පයර් වූ "හුස්ම"
"ප්‍රවේගය", "විය සිදුරු" අගය කළ මා හට චිත්‍රපටයක් ආභාෂය ලැබීම දඬුකඳේ ගසන්නට කාරණයක් නොවේ.

"You'll Never Find Me" ට්‍රේලරයේ හා චිත්‍රපටයේ ලින්කු පහතින්.







Tuesday, 7 May 2024

සමාජ සත්කාරයකට ආරාධනා..!

  පස් ගෙබිමට සිමෙන්ති පොළොවක්....



අපේ හිතවතෙක් අධ්යාපන ශිෂ්යත්ව වැඩසටහනකට දරුවන් හඳුන්වා දෙන්නැයි ඉල්ලා සිටියා. ඒ අනුව ඉගෙනීමේ දක්ෂ, ඉතා දුගී පවුලක දරුවන් තෝරාගත්තා. 
 
ඒ පවුලේ පියා හෘද රෝගියෙක්. රැකියාවක් නොකරන්නැයි වෛද්යවරුන් නිර්දේශ කොට ඇතත් සුළු වශයෙන් මහන්සි වී බ්ලොක් ගල් හදනවා. මව දවස් කුළී රස්සාවක් කරනවා.
 
මේ පවුලේ දියණියන් තිදෙනයි. ඉගෙනගන්නේ 5, 9 හා 10 වසරවල. 
ඔවුන් ගැන දැන සිටියේ අමාරුවෙන් දරුවන්ට උගන්නන්නට මහන්සි වන දෙමාපියන් ලෙස පමණයි.
 
දරුවන්ට අධ්‍යාපනය සඳහා මාසික ආධාර දීමට යාමේදී තමයි දැන ගත්තේ ඔවුනට වැසිකිළියක් නැති බව. ඔවුන් පාවිච්චි කරන්නේ තරමක් එහායින් වූ ඥාතියෙකුගේ වැසිකිළියක්.
 
ඒ බව කලින් කී හිතවතාට පැවසූ විට තැනීම ආරම්භ කොට අතරමග නැවතුණු වැසිකිළිය නිමවා ගැනීමට අවශ්ය ප්රතිපාදන සැපයීමත් බාර ගත්තා.
 
මේ සමඟ පළ කරන්නේ නිවසේ ඡායාරූප කීපයක්. ගැහැණු දරුවන් තිදෙනෙකු සිටින (දෙදෙනෙකු වැඩිවියට පත් වූ) පවුලේ පස් දෙනා දිවි ගෙවන්නේ බිත්ති බැඳ, වහලයක් ඇති, බිමට සිමෙන්ති නොදැමූ, පස් ගෙබිමෙන් යුතු නිවසකයි. 
 
ඔව්...දූවිල්ල පිරි පස් ගෙබිමක්.....
 
නිවසක් නොතිබුණු, ඥාති නිවසක කාමරයක දිවි ගෙවමින් සිටි ඔවුන්ට, තමන්ට කියා ගෙපැළක් හදා ගන්නට රජයෙන් ලද ආධාර මුදලක් ලැබුණා.  ඊට මදි පාඩුවට බැංකු දෙකකින් ගත් ණය මුදලට මාසික වාරික ලෙස 
රු. 18000/= ක් මාසිකව ගෙවනවා. ඒ අතර තමයි ගෙහිමියාට හෘද රෝගය සැදී ඇත්තේ.

මාසිකව රු. 18000/= ක් ගෙවනවා කියන්නේ ලේසිපාසු කටයුත්තක් නොවන බව පැහැදිලියි. සෙල්ලම් බඩු හදන නිවසක කුළී රැකියාවක් කරමින්  දවසකට රු. 1000/= බැගින් දරුවන්ගේ මව උපයන මුදලින් තමයි මේ ණය ගෙවන්නේ. 

හරියට කුසට අහරක් නැතිව මේ පවුල ගත කරන්නේ ඉතා දුෂ්කර දිවියක්.
 
අපේ හිතවතුන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ නිවසේ ගෙබිමට සිමෙන්ති දමා,  දරුවන්ට ආරක්ෂිතව ස්නානය කිරීමේ ආවරණය වූ නාන කාමරයක් තනා දීමට උදව් කරන ලෙසයි. නළ ළිඳ වටා ඉටිරෙදි වලින් ආවරණය කරගෙන තමයි ගැහැනු දරුවන් නාන්නේ.
 
නිවස කපරාරු කිරීම, ජනෙල් සවි කොට දීම වැනි අවශ්‍ය හැමදේම කරන්න අපට කරන්න බැරි වෙයි. ඒත් අවම අවශ්‍යතා සපුරා දීමට උත්සහයක් ගන්නයි අපේ අරමුණ.

දැනට මූලික අවශ්යතා සපුරා දෙමු. මුදල් නිසි ලෙස යෙදවීම හා වැඩකටයුතු අධීක්ෂණය පිළිබඳ වගකීම අපි බාර ගන්නවා. 
 
ලැබෙන මුදල් පාරදෘශ්ය බවින් යුතුව කළමනාකරණය කිරීම අපේ වගකීමක්.
මොවුන්ගේ ජීවන මට්ටම මඳකින් හෝ ඉහළ දැමීම සඳහා සුළුවෙන් හෝ හැකි පමණින් ඔබේ කාරුණික උදව්ව ඇවැසි මොහොතක්.
 

(අප කළ හා කරමින් ඉන්නා සමාජ සත්කාර දෙකක් ගැන මේ මොහොතේ සඳහන් කරන්න කැමතියි.
වසරකට පමණ පෙර වැසිකිළියක් තනාදී වැහිවතුරෙන් යට වෙන පැල්පත වෙනුවට බාගෙට ඉදිකොට තිබූ නිවස නිමා කොට දුන්නා.
* පියා ගහකින් වැටී මියගිය පවුලේ දරුවන් තිදෙනාගේ අධ්‍යාපනයටත්, මාසික ආහාර පාන ලබා දීමටත් උදව් කරනවා.)
 
කෙලින්ම ඔවුන්ගේ බැංකු ගිණුමට හෝ අප හරහා හෝ උදව් කරන්නට කැමැති අයට 0779427650 දුරකථනයට අමතා හෝ WhatsApp පණිවුඩයක් එවා ගිණුම් විස්තර ලබා ගන්න පුළුවන්. 

-සිතන්නා...

Wednesday, 24 April 2024

තෙවරක්පෙරුණු තෙවරප්පෙරුම


දැන් දැන් පාලිත තෙවරප්පෙරුම මිය ගිය ආකාරය ගැන අලුත් විස්තර එනවා.
ඔහු මිය ගිහින් තියෙන්නෙ නීති විරෝධිව, ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන රැහැන් වලින් විදුලිය අරන්.
සරලවම මේක ජාතික ධනය හොරකමක්. පොදු දේපළ පනත යටතේ ඇප නොදිය හැකි අපරාධමය වරදක්.
ඔහු හොරාට විදුලිය අරන් තියෙන්නේ වල් ඌරන් ඝාතනය ඉලක්ක කරලා.
එතන දඩමස් ජාවාරමකුත් තියෙනවා.
ඒකත් නීති විරෝධි වගේම සදාචාරාත්මක විරෝධි වැඩක්.
පස් පවෙන් එකක් කැඩෙනවා.
වල් ඌරො ඉලක්ක කළාට මිනිහෙක් වුණත් මිය යෑමේ අවදානමක් එතන තියෙනවා.
පොල් ගෙඩියක් ඇහිදගන්න එන මිනිහෙක් වුණත් උගුලට අසු විය හැකියි.
පාලිත තෙවරප්පෙරුමට වුණෙණෙ ඒක.
හොඳම වැඩේ ඒක නෙවෙයි.
මේ ඉඩම පාලිත තෙවරපේරුමට අයිති ඉඩමක් නෙවෙයි.
විදෙස්ගත වෛද්‍යවරයෙකුට අයිති ඉඩමක්.
පාලිත තෙවරප්පෙරුම ඒක අල්ලගෙන තියෙන්නෙ බලහත්කාරයෙන්.
දේශපාලන බලය සහ චන්ඩිකම පාවිච්චි කරලා.
ඉඩම අයිතිකාරයාට අරන් දෙන්න ආපු රාජ්ය සේවකයන්ට පවා පහර දීලා එලවගෙන.

නිතීවිරෝධි වගේම දැඩි සමාජ විරෝධි වැඩක්.
හැබැයි මේ දේවල් එලිවෙමින් තියෙද්දි, මහ සමාජය මේ තොරතුරු රිජෙක්ට් කරනවා.
ඒ දේවල් එලි කරන මිනිස්සුන්ට බනිනවා.
මේ දේවල් වැරදි බව දැන දැනත්, ඒක හිතාමතාම හංගනවා.
ඒකට හේතුව තමයි පාලිත තෙවරප්පෙරුම මහ සමාජයට ප්‍රොජෙක්ට් කරපු ඉමේජ් එක.
පාලිත ප්‍රොජෙක්ට් කළේ සමාජයට අභියෝග නොකරන, දුර්වලයෙකුගේ ප්‍රතිරූපයක්.
අර සාමාන්‍ය මිනිස්සු ඉල්ලනවා වගේ සරමක් ඇඳන්, ගස් උඩ නැගලා ඉන්න රූපයක්.
එහෙම මිනිස්සුන්ට සාමාන්‍ය මිනිස්සු කැමතියි.
තමන්ට වඩා උඩින් ඉන්න මිනිස්සුන්ට සාමාන්‍ය මිනිස්සු අකමැතියි. එහෙම මිනිස්සුන්ට ගහලා බිමට දාන පුරුද්දක් මහා සමාජයට තියෙනවා.
හැබැයි තමන්ට වඩා යට ඉන්න (බව පෙන්වන) මිනිස්සුන්ට සමාජය ආදරෙයි.
මෙතන මිනිස්සුන්ට වැදගත් පාලිත ප්‍රොජෙක්ට් කරපු බිම නිදාගන්න, අව්වේ සෙරෙප්පු නැතුව ඇවිදින, සරමක් ඇඳන් ඉන්න චරිතය මිසක් එතන පිටිපස්සෙ ඉඳන් පාලිත කරපු දේවල් නෙවෙයි.
ඒවා මිනිස්සුන්ට අදාළ නැහැ.
මිනිස්සුන්ට අභියෝගයක් නොවී, මිනිසුන්ගේ ඊර්ෂ්‍යාවට ලක් නොවී, අනුකම්පාවට ලක් වූ නිසා ඔවුන් පාලිතට ආදරෙයි.
හැබැයි පාලිත කරපු සමාජ විරෝධි වැඩ කිසිවක් නොකර, හොඳට ඇඳලා, ලස්සනට මිනිහෙක් හිටියා නම් සමාජය ඔහුට වෛර කරනවා.
තමන්ට වඩා ඉහළින් ඉන්න, තමන්ට අභියෝගයක් වෙන මිනිස්සුන්ට සමාජය පහර දෙනවා.
පාලිත කරපු පව් මිනිසුන් විසින්ම වසා දමනවා.
ඔහු ඉතාම හොඳ, ගුණ යහපත් මිනිසෙක් විදියට බෞතිස්ම කරනවා.
පාලිත එහෙම නැති බව සමහර විට ඔවුනුත් හිත යටින් දන්නවා.
හැබැයි ඇමතිවරුන්ගේ විදුලි බිල් ගැන කතා කරපු මිනිස්සුම, ලක්ෂ ගාණක පාලිත හොරකම් කරපු විදුලිය නොසලකා හරිනවා.
පස් පව් ගැන කතා කරන මිනිස්සු, පාලිතගේ ඌරන් ඝාතනය නොසලකා හරිනවා.
වෛද්‍යවරයෙකුගේ ඉඩම මංකොල්ල කෑම නොසලකා හරිනවා.
ඒ සියල්ල පාලිත මහා සමාජයට එලිපිට අභියෝගයක් නොවී, ඔවුන්ගේ ඊර්ෂ්‍යාවට පාත්‍ර නොවී, ඔවුන්ගේ ජීවිතයට වඩා සැපපහසු ජීවිතයක් ගත නොකරන බව පෙන්වීම නිසයි....

උපුටාගැනීමකි.

 මේ විතරක්ද ?

මඟුල් ගෙදරක ගිහිං කාන්තාවක් ඩාන්ස් කිරීම ප්‍රතික්ෂේප කළා කියලා T 56 අරගෙන ට්‍රැක්ටරයකින් ඇවිත් අහසට වෙඩි තියලා එතන ගිනි විච්ඡුම්බරයක් කළ බව මගේ මිතුරු මාධ්‍යවේදියෙකු කිව්වා.
ප්‍රමෝෂන් වැඩ වලට කැමරා අරං ගියාට මේවට නං ගෙනියන්නෙ නෑ..
එහෙම පජාත වැඩ තව ඇති.
හැබැයි මහා සමාජය ඒවා වහනවා.

-සිතන්නා...

Thursday, 18 April 2024

කුලය හා සර්වෝදයේ “විප්පලය”- නන්දන වීරරත්න

රැඩිකල් කියන පත්තර වල පළ  ෙනාවන  ෙතාරතුරු ඩිජිටල් මාධ්‍ය හරහා එළියට එන කාලයක්...

                                                                    ඒ. ටී. ආරියරත්න
1958 කුරුනෑගල දිස්ත්‍රි්‍රියේ ‘කනතොලුව' [රෝඩි] ගම්මාන් පටන් ගත් සර්වෝදයේ ග්‍රාම සංංවර්ධනය, ගම් 15000 ට පැතුරුණු බව රාජ්‍ය ගෞරව සහිතව ආදාහනය කිරීමට නියමිත ආචාර්ය ඒ. ටී. ආරියරත්න වෙනුවෙන් ලියවෙන පුරසාරම්වල තියෙනව. මම ලංකාවේ සෙසු කුල ගම්මානවල ඇවිදි ගියේ 1970 ගණන්වල අග ඉඳලයි. ඒ කියන්නේ සර්වෝදය සිය ග්‍රාමෝදය “විප්පලය” ආරම්භ කර අවුරුදු 20ට පසුවයි. ඒ ගම්මානවලට ‘කනතොලුව’ ඇතුළත්. මම ‘කනතොලුවට' ගියේ 1992 විතර. වෙලා තිබුණු එකම වෙනස බොහෝ ගාඩි ගම්මානවල වගේම එහිත් එකල සිටි රජයේ නිලධාරීන් මැදිහත් වූ කසාද බැදීම් හා ඔවුන්ට ගොවි කුලයට අයත් වාසගම් සහිත නව උප්පැන්න ලබා දීම පමණයි.
කුලවාදයට විරුද්ධධවතීරණාත්මක විරෝධතා ව්‍යාපාරයක් තිබුණේ සමසමාජ ව්‍යාපාරය තුළ පමණයි. සර්වෝදය හා අනෙකුත් ආගමික සංවිධාන කළේ කුල බෙදිම් ’හිඟන්නාගේ තුවාලය’ කර ගනීම විතරයි. සමසමාජ ව්‍යාපාරය දුර්වල වෙද්දි ගම්වල ඒ තැන ගන්න සර්වෝදය හා වෙනත් රාජ්‍ය නොවන සංවිධාන [NGO] කුල ගම්මානවලට ගියත් ඒවා එන්.ජී. ඕ රැඟුම් හැටියට අවසන් වුණා. එයට හොඳම උදාහරණ ආරියරත්නගේ සර්වෝදයෙන් මෙන්ම ඔහුගේ සොහොයුරියගේ පුතා හර්ෂ කුමාර නවරත්නගේ ‘සේවා ලංකා ආයතනයෙන්' ගන්න පුළුවනි. ඒ සංවිධාන දෙකම පවුල් සමාගම්. එවායේ ප්‍රධාන නායකයෝ වගේ මුල්‍ය පාලකයෝත් පවුලේ සමීප ඥාතීන්. ඉතින් වරිග සභා හැටියට පවතින සංවිධාන කොහොමද සමාජයට සමානාත්මතාව දෙසා බාන්නේ...?

මේ රාජ්‍ය නොවන සංවිධාන නායකයන් ගැනැත් යමක් ලියන්න ඕන. සර්වෝදයට මම වැඩ නොකළත් මම ‘රාවයට’ ලියන්න යන කොට එහි සර්වෝදයේ පෙකෙණි වැල යන්තමට තිබුණ. එක දවසක් මම රාවය කන්තෝරුවේ ඉන්න වෙලාවක තරුණ හමුදා සෙබෙළෙක් කර් මණ්ඩලය අසලට ඇවිත් කතාවක් කීව. එයාට වෙන අසාධාරණයක් ගැන.
එයා මෙහෙම කීව.

"මම විවාහවෙල ඉන්නේ සර්වොදයේ නායක ආරියරත්න දරුකමට හදා ගත්තු දුවත් එක්ක. මම අවුරුද්දේ වැඩිහරියක් ඉන්නේ උතුරු පැත්තේ යුධ බිම්වල. මම ගෙදර නැති අතරේ මගේ බිරිඳ එක්ක අයථා සම්බන්ධයක් ආරියරත්න පවත්වාගෙන යනව. මට මේකට විසඳුමක් නෑ. මේ කතාව පත්තරේට දාන්න."

‘රාවය’ ඔහුට කන් දුන්න. ඒත් ඒ ැන කිසිම දෙයක් ලිව්වේ නෑ. සෙබළා ඔහුගේ දුක කියා පිටත් වුණාම, එවකට නියොජ්‍ය කතෘ උපාලි කොළඹගේ මෙහෙම කීව.
“ඩොක්ටර් ආරියරත්න, කිසිම ස්ත්‍රියකට බලහත්කාරකම් කරන්නේ නෑ. ඕනෑම දෙයක් කරන්නේ කැමැත්ත ඇතිව. ඩොක්ටර් ලඟ ඒක පරීක්ෂා කරන විදිහක් තියෙනව. ඒ පරීක්ෂාවෙදි ස්ත්‍රියක් රැව්වත් එයා එතනින් එහාට යන්නේ නෑ”

සමහරවිට උපාලි ඒ කතාව කියන්නේ ඇත්තේ මේව අලුත් දේවල් නොවෙයි කියන්නයි. රාජ්‍ය නොවන සංවිධානවල නායකයෝ, බෞද්ධද, ක්‍රිස්තියානිද, කතෝලිකද කියල වෙනසක් නෑ. ඔවුන් ස්වකීය පුද්ගලික වුවමනාවන් සපුරා ගන්න ඒවායේ අරමුදල් හා සේවකයන් යොදා ගන්නව.

                                    හර්ෂ කුමාර නවරත්න

සර්වෝදයේ සිටි එක් නායකයෙක් චිත්‍රපට නිෂ්පාදකයෙක් වුණා. එහි එක් ප්‍රධාන අරමුණක් වුයේ ඔහු වඩාත්ම අසා කරන නිළිය වසඟයට ගැනිමට. එයා ඒ වෙනුවෙන් චිත්‍රපටි 2 – 3 හැදුව, ආසාව ඉටු කර ගන්න.

(හර්ෂ කුමාර නවරත්න අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයි, රඟපාපු නිළියයි හොයා ගත්තොත් comment එකක් දාන්න.- -සිතන්නා...)
- ප්‍රවීණ මාධ්‍යවේදී නන්දන වීරරත්න ලියූ සටහනක්

-සිතන්නා...