ජූලි මාසෙ කිව්ව ගමන් මුලින්ම මගෙ මතකෙට එන්නෙ කළු ජූලිය. 1983 වසරෙ මුළු රටම ගිනිගත් කළු ජූලිය.
සිංහලයා විසින් තමන් සමග සහජීවනයෙන් වෙසෙමින් සිටි දෙමළාව තිරශ්චීන ලෙස අමු අමුවේ මහ මග ඝාතනය කරනු දකින්නට තරම් අපි අවාසනාවන්ත වුණා.
රටට සම්පතක් වූ, නිදහස් අධ්‍යාපනයේ දායාද වූ දෙමළ ජාතික වෘත්තීයවේදීන් හා ප්‍රාමාණිකයින් රැසක් සදහටම මව්බිම හැරදා යන්නට මේ අමන මරිමෝඩ ක්‍ර්‍රියා පිළිවෙවෙත හේතු වුණා.
තමන්ට අසනීපයකට ප්‍රතිකාර කළ, ගමේ ඩිස්පැන්සරියක් දමා ගෙන සිටි දොස්තරමහත්තයා දෙමළ වීම හේතුවෙන් පණ පිටින් පුළුස්සා මරා දමන්නට තරම් ඉහ වහා ගිය ම්ලේච්ඡ ජාතිවාදයක් සිංහලයාගේ මනසේ ජනිත කළේ කවුද....?
මා කෙලින්ම ඇඟිල්ල දිගු කරන්නේ අවස්ථාවාදී, බලලෝභී දේශපාලකයාටයි.
56 බණ්ඩාරනායකගෙ උග්ර ජාතිවාදී සිංහල පමණයි ප්‍රවේශය මගින් දෙමළා සමාජයීය වශයෙන් කොන් කිරීමේ සිට සිරිමා බණ්ඩාරනායකගේ විශ්වවිද්‍යාල ප්‍රමිතිකරණය හේතුවෙන් දෙමළාගේ සම අයිතිය කප්පාදු කිරීම දක්වා ඉතිහාසයකට දිවෙන මේ විරසකය ජේ.ආර්.ගේ ඒකාධිපති වියරුව ඉදිරියේ වඩාත් පුළුල් අන්තයකට ඇදී ගියා.
සිරිල් මැතිව්, ගාමිණී දිසානායක, ගාමිණී ලොකුගේ වැනි ජාතිවාදී ගහලයන් ලවා ආසියාවේ බුද්ධියේ සංකේතයක් වූ යාපනය පුස්තකාලය ගිනි තැබූ ජේ.ආර්. සිංහල මිනිසුන්ගේ මනස් කුරුවල් කරමින් සිය බලය තහවුරු කරගන්නට මග පාදා ගත්තේ රටම ලේ විලක් වන්නට ඉඩ හරිමිනුයි.
83 කළු ජූලිය නිර්මාණය වන්නට ඉඩහරමින්, රටම ගිනි ජාලාවක් වෙමින් දෙමළ සංහාරයක් සිදු වනතුරු කටපුක වසාගෙන උන් ජේ.ආර්. එකී ජාතිවාදී කලබල වලට කිසිසේත්ම සම්බන්ධ නැති ජනතා විමුක්ති පෙරමුණ හා නව සමසමාජ පක්ෂය ඊට වගකිවයුතු යැයි කියා තහනම් කොට, විශේෂයෙන් ජ.වි.පෙ. ගමන අඩාල නොකරන්නට ශ්‍රී ලංකාවේ දේශපාලන භූමිය මීට වඩා බොහෝ සෙයින් සුමට එකක් වන්නට ඉඩ තිබුණා.
මා සදාකාලිකව ජේ.ආර්. ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය හා බද්ධ වෛරයෙන් පසුවන්නේත්, ඔහුට මෙන්ම රට ධවල භීෂණයෙන් විනාශ කළ ඔහුගේ අනුප්‍රාප්තිකයාට පවා මිනි වළටත් හෙන ගහපන් කියා ප්‍රාර්ථනා කරන්නේත් බලලෝභයෙන් මත්වී රටක් විනාශ මුඛයට ඇද දමමින් දකුණේ විසූ දෙමළාත්, සිංහල තරුණ පරපම්පරාවකුත් සංහාරයට ලක් කළ නිසයි.
උතුරේ බිම් බෝම්බයකට හසු වූ හමුදා භටයින් 13 දෙනෙකුගේ මළ සිරුරු බොරැල්ලේ කනත්තේ ආදාහනය කිරීමට පියවර ගැනීමත් සමග මුදා හළ දෙමළාට අයත් දේපොළ මංකොල්ල කෑමේත්, දෙමළා අමු අමුවේ පන පිටින් ගිනි තබා මරා දැමීමේත් අන්ත තිරිසන් සිංහල ජාතිවාදී ම්ලේච්ඡත්වය ගැන බොහෝ කතා කොට ඇති නි
මම තාමත් හිතන දෙයක් තමයි 83 කළු ජූලියට පෙර මැයි මාසෙදී පේරාදෙනිය සරසවිය තුළ දෙමළ සිසු විරෝධී නැගිටීමක් සිද්ධ වුණේ කොහොමද කියන එක. ඒක හුදු අහම්බයක් වුණත් ඒ පසුපස තියෙන්නෙ දේශපාලකයන් වැපිරූ අස්වැන්නම තමයි.
පේරාදෙනියෙ, විශේෂයෙන්ම අපි උගෙනගත් ඉංජිනේරු පීඨයෙ එකට එකක් ප්‍රමාණයක් වන්නට දෙමළ සිසුන් සිටියෙ කටුබැද්දට යන්න ඔවුන් උනන්දු වුණේ නැති නිසයි. කොළඹට වඩා පේරාදෙනියෙ සුන්දර පරිසරය වගේම ආරක්ෂාවත් ඊට හේතු වෙන්න ඇති .
කෙමෙන් කෙමෙන් කටකතා පැතිරෙද්දි ඇරඹි මේ විරෝධයට පාදක වූ කාරණා මට මතක නැතත් එක් රාත්රියක දෙමළුන් පළවා හැරීමේ කුමන්ත්‍ත්‍රය ආරම්භ වූ බව නම් මතකයි.
සරසවියේ වූ දෙමළ සිසුන්ගෙන් වැඩි දෙනෙකු නේවාසිකව සිටියේද අක්බාර්-නෙල් නේවාසිකාගාරයේයි.
ඒ කුරිරු රාත්‍රියේ සරසවි බිම දෙමළ සිසුන් වෙත ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත් ජාතිවාදයේ උන්මාදයෙන් පෙළුණු පිරිසක් ගල්, මුගුරු රැගෙන මහවැලි ගඟ මතින් වැටී ඇති පාලම තරණය කොට පැමිණෙමින් සිටින බව දැනගත් මොහොතේ සහෝදර දෙමළ සිසුන්ව දිවි හිමියෙන් ආරක්ෂා කරන්නට අප තීරණය කළා.
උණ්ඩෙට උණ්ඩෙ, කඩුවට කඩුව, පොල්ලට පොල්ල, ගල් ගෙඩියට ගල්ගෙඩිය යන න්යායට අනුව අපි අතට අහුවුණ ලී, යකඩ පොලු, ගල් ගෙඩි අතට ගෙන සූදානම් වුණේ ප්‍රහාරය දියත් කරන මැර සිසුවන්ව පළවා හරින්නටයි.
අපේ සූදානම ගැන අභ්‍යන්තරයෙන්ම කරුණු දැනගත් ප්‍රහාරකයන් මගදිම පල්ලං බැස ගොස් තිබුණේ දෙමළුන්ට පුක දෙන සිංහල හැතිකරේට හොම්බෙන් යන්න වැඩක් දෙන්න පසුව එන බව සපථ කරමින්.
එළිවන තුරු මර බියෙන් ගැහෙමින් සිටි දෙමළ සගයින් ආරක්ෂා කළ අප, අතේ වියදමට අවශ්‍ය මුදල් සම්මාදම් කොට දී කුරුණෑගල දක්වා ආරක්ෂාව සලසමින් දෙමළ සිසු සිසුවියන්ව යාල් දේවී දුම් රියෙන් ගම් බිම් කරා පිටත් කොට යැව්වා.
ගඟෙන් අනෙක් පැත්තේ විද්‍යා, කලා, වෛද්‍ය සිසුන් සමහරෙකු ජාතිය දෙමළ වීම නිසාම ශාරීරික ප්‍රහාර වලට ලක් වී තිබුණා.
==================================
1983 ජූලි 23 හෝ 24 දා මා බදුල්ලේ සිට මහනුවර නවාතැන බලා එමින් සිටියා. ඒ වන විට සංහාරය ආරම්භ වී තිබුණා.
මිනිසුන් කොතරම් අන්තනෝමතික ලෙස මංකොල්ල කෑවේද යත් නිවසේ හරිහමන් වැසිකිළියක් හෝ නොමැතිවුන් කොමඩ් පවා කර තබාගෙන ගෙවල් වල ගෙන ගියා.
නගරයේ සිට මදක් දුර වුණත් අනිවත්තට යන්න සිද්ධ වුණේ පා ගමනින්මයි. බස් ධාවනය නොවුණා පමණක් නොව ඒ සන්ධ්යා යාමයේ පාරේ වාහනයක් පවා ගියේ ඉඳහිට.
අනිවත්තේ නවාතැනට යද්දී එතන ලොකු ප්‍රශ්නයක්. අපි නැවතී උන්නේ කොළඹට කුරුඳුවත්ත වැනි මහනුවර තදාසන්නයේ පිහිටි යමක් කමක් තියෙන පිරිස් ජීවත් වූ අනිවත්තේයි. .
මේ නිවස පිටුපස සිටියේ නගරයේ ව්‍යාපාර පවත්වා ගෙන යන ධනවත් දෙමළ පවුලක්. ඔවුන් සිය නිවසට ප්‍රහාරයක් එල්ල වෙතැයි බියට පත්වී සිටියා.
එදින රාත්‍රිය පරෙස්සමින් ගෙවා දමා පසුදා පාන්දරින්ම මේ පවුලේ අය මුල්ගම්පොළ පිහිටි ඔවුන්ගේ ඥාතීන් වෙසෙන වඩාත් ආරක්ෂිත තැනකට රැගෙන යන්න අපි එකඟ වුණා.
ඒ අනුව පසුදා ඔවුන්ගේ වාහනයේ ඉදිරිපසත්, පසුපස ආසනවල දෙපසත් සිංහල අපි වාඩි වී ඔවුන් මැදි කොට ගෙන යන්නට තීරණය කළේ විශාල අවදානමක් බාර ගනිමින්. අප එසේ රැකවල් ලාගෙන යන්නට තීරණය කළේ ජාත්‍යාලකාරයින් වාහන නවතා "බාල්දිය" කියන්නැයි අණ කොට "වාල්දිය" කියූ පමණින් මුගුරු ප්‍රහාර දෙන්නට මග දෙපස රැඳී ඉන්නා බව අප දැන සිටි නිසයි.
එය එලෙසම සිද්ධ වුණා.
අප ගිය කාරය කඩු, පොලු ගත් කණ්ඩායමක් නවැත්තුවා. වීදුරු පහත් කොට අපි සිංහලෙන් කතා කළා. "බාල්දිය" කියන්න ඕනෙදැයි අපි ඇහුවා. "නැහැ. අපි හොයන්නෙ දෙමළු....ඕකුන්ව කම්බස් කරන්න ඕනැ" තග් නායකයා කිව්වා.
"ඔව්....අයියා...ඕකුන් කම්බස් කරල කෑලිවලට කපන්න ඕනෑ..." අපිත් එකඟ වුණා. "හරි...මල්ලිල යන්න. අපි රැකල අල්ල ගන්නම්..."
වාහනේ පිටත් වුණා. අප අතර මැදි වී සිටි උඩහ ගෙදර දෙමළ ජාතික රූමත් නෝනා දියෙන් ගොඩ දාපු මාළුවෙක් වගේ ගැහෙනවා.
"ඔව්....අයියා...ඕකුන් කම්බස් කරල කෑලිවලට කපන්න ඕනෑ..." කියල අපි කිව්ව එක ඇය කොහොම තේරුම් ගන්න ඇද්ද.....
-හෙන්රි වර්ණකුලසූරිය