අතට සැර යටියයි
උරයට දවුල් බෙරයයි
තද මහළු වයසයි
වරෙන් ගුරුනේ රාජ පනතයි
උරයට දවුල් බෙරයයි
තද මහළු වයසයි
වරෙන් ගුරුනේ රාජ පනතයි
ඔය කිව්වෙ කෝලං නැටිල්ලෙදී කාරියකරවන රාළ ඇතුළු ගායක කණ්ඩායම කෝලං උපතේ කවි ගායනා කොලාට
පස්සේ මුලින්ම අණබෙර කෝලං සබයට එන්නට කලියෙං ගායනා කොරන පොත් කවියක්.
වේශධාරී රංගනය නැත්නම් කෝලං
නැටීම අති පුරාණයේ පටන් පැවත එන කලාවක් නෙ ආයිබං.
ඔය බයිස්කෝප්, රූපපෙට්ටි වගේ
විච්චූරණ එන්නට කලියෙං ජනීජනයාට කලා රසය වගේම විනෝද ආශ්වාදය ලබා දෙන්නටත් මේ කෝලං
නැටීම් උදව් වුණා.
ඒ වගේම සිරිලංකාව පරදේශක්කාරයන්ගේ
යටත් විජිතයක් වෙලා තිබුණු සංදියේ පාලකයන්ගේ නොමනා කිරියාවන් විවේචනය කොරන්ඩ
අඬබෙරකරු, හේවායන්, මුදලි, ආරච්චි, පොලිස්, ලියන අප්පු, ජසයා වගේම
ලෙන්චිනා වගේ චරිත ගෙනහැර පෑවේ වෙස්මුහුණු යොදා ගෙන නොවැ.
ඉතිං ඔය වෙස්මූණූකාරයො අදත්
හැම තැනම.
වාලුකා කාන්තාරෙ මුතු දූපත කියල වෙනසක් නෑ බොලල්ලා.
වාලුකා කාන්තාරෙ මුතු දූපත කියල වෙනසක් නෑ බොලල්ලා.
කෝලංකාරයො බොහොමයි. වෙස්මූණූකාරයොත්
අහුමුලුවල.
මෙහෙ කෝලංකාරයො එක එක ආකාරෙ කෝලං
නටාගෙන ඉන්න අව්අස්සේ මෙන්න බොලං දැං අවුරුදු දෙකකට විතර කලිං කඩංපාත් වුණේ නැතෑ
තානාපති කෝලම.
තානාපති කෝලම විතරක් නං මදෑ.
ඇඹේනිගෙ කෝලමත් නටන්න ගත්තෙ නැතෑ.
කෝලම නටන්න පටන් ගත්තෙ
දූපත්වාසීන් හැමට සෙත සදනවය කියල තමයි. හැබැයි ඔය කොයි මුදලිත්, ආරච්චිලත් සබේට එන්නෙ ඔහොම බයිල
කියාගෙන නොවෙන්නං.
හැබැයි ඉතිං පහුපහු වෙනකොට
කොහු කොහු වෙනව කියන්නැහේ වටේ ඉන්න ලියන අප්පුල, ජසයල වගේම
ලෙන්චිනාලත් වෙස් මූණු දාගෙන මේ තානාපති ඇත්තන්ව අල්ලෙ නටවන්න ගත්තෙ නැතෑ.
ඔන්න පටන් ගත්ත තානාපති කෝලම.
ඔය ටයි කෝට් ගහ ගත්තු ලෝකෙටම ඉර පායන්නෙ තමන් හින්දයි කියල හිතන් ඉන්න සමිති, සමාගම්,
සමාජ, සංවිධානවල සට්ටම්ඹියොත් තානාපති කෝලම
පස්සෙන් වැටිල එතනම
ලැගගෙන හිටියලු.
කෝලමේ ඇටයො වෙලා උන්නලු.
කෝලමට උපදෙසුත් දුන්නලු.
එක එකාව කෙටෙව්වලු.
එක එකාට චරිත සහතික දුන්නලු.
කෝලමත් ඒවා ගෙඩි පිටින් ගිල්ලලු.
කෝලමට ගිල්ලන්න බැරි ගුලි ඇඹේනියන්ට ගිල්ලුවලු.
එතකොට ඇඹේනියොත් තානාපති කෝලම අල්ලෙ නටවල එක එක කෝලං නැටුවලු.
බොහෝමයක් ඔටු රටවල අහිංසක, අසරණ, අගතියට පත්
ඇත්තියන්ට මේ කෝලං වලින් විතරක් නොවෙයි අන්තේවාසිකයන්ගෙන් පවා ලැබෙන පිළිසරණක්
නෑලු.
කාරියාලයට මුණ ගැහෙන්න ආවමත් කරදරකාරයෝ කියල පන්න ගන්නවලු. පරුෂ
වචනයෙන් බනිනවලු.
මෙහෙට ඇවිත් මෙච්චර කල් මිනිස්සු කීයක් එක්ක බුදිය ගත්තද කියල අහනවලු.
අපහාස කොරල රස්තියාදු කොරල පන්න ගන්නවලු.
“කොකාගෙ
සුද පෙනෙන්නෙ ඉගිලෙන විටයි“ කිව්වලු.
නැත්තං “හැංගි හැංගි වෙස් බැන්ඳත් නටන්න වෙන්නෙ එළිපිට“ කිව්වලු.
එහෙමත් නැත්තං “පුහුල්
හොරා කරෙන් දැනේ“ කිව්වලු.
ඒ මදිවට මෙහෙමත් ආප්තෝපදේශයක් තියෙනවලුනේ.“කුම්බලා මාලු කෑව නම් විඳෝපං
බළලෝ“ කියල.
ඔන්න
විඳවල විඳවල කට්ටිය බේද බින්න කොරල තානාපති කෝලම යන්න යනවලු.
පැදුරටත්
නොකියාම යන්න යනවලු.
මේව
මුතු දූපතේ විතරක් නොවෙයි කොයි කොයි දීපංකරේ රස්සාවල් කොරන ඇත්තන්ටත් පාඩමට ගන්න පුළුවනි.
හැබැයි ඉතිං ඕනැකොමක් තියේ නං විතරයි බොලල්ලා.
දැං
ඉතිං මේ ගොට්ට අල්ලපු, කෝලමටත් වඩා කෝලමක් වෙච්චි උන්දැල දතකට මදිනව නැතෑ ඊළඟ
කෝලමත් නටන්න.
අලුතෙන්
එන තානාපතිත් කෝලං නටයිද කෝලංකාරයොයි, වෙස් මූණුකාරයොයි අල්ලෙ නටවයිද කියලයි ආයිබං
සෙරන්ඩිබ් ඔටුව ඇහැ කන ඇරගෙන බලං ඉන්නෙ.
නටපු
නාඩගමකුත් නැතෝ......
බෙරේ පළුවක් නොවෙයි බෙරේමත් නැතෝ....
-සෙස්ස පස්සට ෴
මේ අලුත්ම කෝලමක් නේද? බලං යනකොට තානාපති කෝලමත් නරකම නෑ.
ReplyDeleteනරකම නෑ....හෙහ්..හෙහ්..හෙහ්....
Deleteනියම කෝලමක්............ කෝලම් තාලය නියමෙට තියෙන විදිහට පද ටික ගැටගහලා.......... නියමයි
ReplyDeleteමේව දැක්කම ගැට නොගැහෙන ඒවත් ගැටගැහෙනවනෙ ආයිබං....
Delete