Pages

Wednesday, 31 May 2023

“රෙද්දෙන් වැසුණු සිනමාවේ නිරුවත”

 

විචාර සටහන
හෙන්රි වර්ණකුලසූරිය

“රෙද්දෙන් වැසුණු සිනමාවේ නිරුවත”

සුරංග හඳපාන්ගොඩගේ “වලාකුළු අතර කෙටි චිත්‍රපටය නරඹන්න අවස්ථාව ලැබුණා. එය නැරඹීමෙන් පසු ඇතිවූ අදහස් හා මතිමතාන්තර සටහන් කරන්න හිතුවා.එහෙයින් මේ        “වලාකුළු අතර” කෙටි චිත්‍රපටය ගැන කෙරෙන අදහස් දැක්වීමකින් එහා ගිය සිංහල සිනමාවේ අභාග්‍යසම්පන්න අත්දැකීමක් ගැන කතිකාවක් ගොඩ නැගෙන කතාබහකට   මුල පිරීමක්ද වෙනවා.










“වලාකුළු අතර” කෙටි චිත්‍රපටය ගැන මගේ අදහස් මෙයාකාරයි.
සුරංග හඳපාන්ගොඩ නිර්මාණශීලී නවක සිනමාවේදියෙක්. ඔහුගේ පළමු කෙටි චිත්‍රපටයට පාදක කොට ගත්තේ මගේ “නිරුවත් ජීවිත” කෙටිකතා සංග්‍රහයේ                              “එන එනමින්” වූ කෙටිකතාවයි. එය ඔහු මැනැවින් රූපගන්වා තිබුණා.
මා නොහඳුනන එකල සුරංගගේ පළමු උත්සහය ගැන මෙවන් කෙටි සටහනක් තැබුවා මතකයි.
“සුරංග…අවංකවම ඉතා හොඳ production එකක්. Script එක අපූරුවට, කෙටිකතාවේ හරය උකහාගෙන ලියලා තියෙනවා. ආධුනිකයින් වුවත් රඟපෑම් වලින් චරිතවලට සාධාරණයක් ඉටු කරලා. ස්තූතියි.”

හැබැයි සුරංග “වලාකුළු අතර” නිර්මාණය කිරීමේදී විටෙක කිසියම් ආකාරයක සමාජයීය හා මතවාදීමය සීමා පුපුරවා හරිමින්ද යළි වෙනත් සීමා තුළ හිරවෙමින් ඉන්නවා කියලයි මට හිතෙන්නේ.

චිත්‍රපටයේ ගීතා අලහකෝන් හා උමා අසෙනි යන රංගන ශිල්පිනීන් දෙදෙනාගේ රංගනය ඉතා ඉහළ මට්ටමක තියෙනවා. විශේෂයෙන් ගීතාගේ. හැබැයි ගීතා දුම්වැටිය උරන්නේ නුහුරු විදිහටයි. ඇය මේ දර්ශනය රූගත කරන්නට පෙර මීට වඩා දුම්බීමේ පෙරහුරු තියන්න තිබුණා කියලා හිතෙනවා. මට පෙනුණේ ඈ දුම්වැටිය දෙතොල එක් කොට හපන බවයි. විය යුත්තේ ෆිල්ටරය දෙතොලේ සීරුමාරුවට රඳවා ගැනීමයි. හැබැයි ඇය දුම් ආග්‍රාණය කිරීම නිවැරැදි ලෙස කරනවා. මේ වරදේ වගකීම මා පවරන්නේ අධ්‍යක්ෂවරයාටයි. ඔහු එය නිවැරැදි කළ යුතුයි.  (සිංහල සිනමාවේ මා දුටු ස්වභාවිකම සිගරැට් ඉරීම කළේ සංගීතා වීරරත්නයි.)

 

ප්‍රධාන නළුවාගේ රංගනයෙන් ආලෝකයක් ලැබෙන්නේ නෑ. ඒ තේරීම වැරැදි බව කිව යුතුයු. උමා හා ගීතාගේ සූක්ෂම රංගනය ඉදිරියේ හෙතෙම පසුබසිනවා.
අජිත් කුමාරසිරි සහ නාමිණී පංචලාගේ සංගීතය චිත්‍රපටය එක්ක පෑහෙන්නේ නෑ. ආදරයේදී සමාජයීය සීමා මායිම් බිඳහෙලන මෙහි සංගීතය ගොරහැඩිව වෙනම ඇහෙන්න ගන්නවා.
දිල්ශාන් ලන්ත්‍රාගේ කැමරාකරණය සුවිශේෂයි. විශේෂයෙන් කැමරා කෝණ හා රූප සංරචනය සිනමාත්මක ගුණය තීව්‍ර කරනවා. අජන්ත අලහකෝන්ගේ කලා අධ්‍යක්ෂණය ඊට දායක වී ඇතිවා නිසැකයි.


අජිත් රාමනායකගේ සංස්කරණය අධ්‍යක්ෂවරයාට අවශ්‍ය රිද්මය පවත්වා ගන්නවා. සමහර දර්ශන තවත් සංස්කරණය වියයුතු යැයි කෙනෙකුට සිතෙන්නට ඉඩ ඇතත් ඒ සුරංගට අවශ්‍ය රිද්මය විය යුතුයි. සිද්ධි දාමය හා සංස්කරණය මැනැවින් ගැලපෙනවා.

  

දැන් එළැඹෙන්නේ “වලාකුළු අතර” සමස්ථය බිඳ හෙලන දර්ශනය වෙතයි. මේ මාතෘකාව කතා කළ යුතුමයි.
ඒ චිත්‍රපටයේ අන් කිසිවෙකුත් නොමැති කාමරයක සමලිංගික, (නැතහොත් ලෙස්බියන්) තරුණියන් දෙන්නෙක් ලිංගික සුව විඳින අපූරු දර්ශනයක් තිබුණා. අපූරු කිව්වේ රූප සැකසුම මැනැවින් නිර්මාණය කොට තිබූ නිසයි. ගීතා අලහකෝන් හා උමා අසෙනි යන රංගන ශිල්පිනීන් දෙදෙනාගේ රංගනය ඉතා මැනැවින් ඉදිරිපත් කොට තිබූ නිසයි.

ඒත් මේ රංගනයේදී ඔවුන්ගේ නිරුවත් ලෙස පෙනෙන සිරුරු සුදු පිරුවටයකින් වසා තිබුණා. අපි නිදහස්, වෙනත්  කිසිවෙකුත් නැති කාමරයක ලිංගික සුව විඳින්නේ රෙදි පොරවගෙනද? මා නම් කැමැති නූල් පොටක්වත් නැත්නම් තමයි. “වලාකුළු අතර” කෙටි චිත්‍රපටයේ අධ්‍යක්ෂ හෝ නිළියන් දෙදෙනා යහන්ගත වෙන්නේ එහෙමදැයි මා දන්නේ නෑ. ඒත් ඒ දර්ශනය විකාරයක්. එක්කෝ එවන් දර්ශන ඉවත් කොට වෙනත් ආකාරයකින් ලිංගික ප්‍රහර්ශය දනවන්නට උත්සහ කළ යුතුයි. පෙන්නන්නම ඕනෙ නම් රෙද්ද ගැලවිය යුතුයි.

  

 මේ ගොංපාට් එක විවේචනය කරන්නේ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ “ගාඩි” චිත්‍රපටයත්  ඈඳා ගනිමින්. (ප්‍රසන්න වැනි දැවැන්තයෙක් එඩිතර නොවෙද්දී සුරංග වැනි නවකයෙක් කෙසේ එඩිතර වන්නද? ඒත් චිත්‍රපට කරනවා නම් ඒ එඩිතර බව තිබිය යුතුයි.) ප්‍රසන්න රජකාලේ නිරුවත්වූ ගාඩි කාන්තාවන්ගේ දෙතන “ගාඩි” චිත්‍රපටයේදී වැසූ අයුරු හාස්‍යජනකයි.

ඇත්තටම ප්‍රසන්නට එලෙස රූගත කරන්න හයියක් නැත්නම් හෝ නිළිය දෙතන පෙන්නන්න සූදානම්

නැත්තං එහෙම ෆිල්ම් හදන්න හොඳ නෑ. ඉන් හෑල්ලු වෙන්නේ අධ්‍යක්ෂවරයා.

සුරංග හඳපාන්ගොඩ තරුණ අධ්‍යක්ෂවරයාටත් කියන්න තියෙන්නේ සැබෑව පෙන්නන්න බැරි නම් මේ තේමාවන් හෝ කතාවලින් ෆිල්ම් හදන්න එපා. නිකං විකාරයක් වෙනවා.
මා එසේ කියන්නේ අපි නිර්මාණකරණයේ යෙදෙන්නේ නම් අප විසින්ම තනා ගන්නා කොටු හා ගුහාවලින් එළියට ආ යුතුයි. කොටු දාන්න වාරණය කරන උන්ට ඉතිරි කොට නිර්.මාණකරුවා චින්තනමය වශයෙන් නිදහස් විය යුතුයි.

https://moviestar.lk/ වෙබ් අඩවියෙන් උපුටා ගැනිණි.

-සිතන්නා...


 -

Thursday, 2 February 2023

පරපීඩක ආශාවන් සන්තර්පනය

සන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත යටතේ සිපිරි ගෙයි ගාල් කළ එක නිහීන තුප්පහි වැඩක්.

මා හැමවිටම සරසවි සිසුවන්ගේ දේශපාලන ක්‍රියාකාරකම් දෙස බලන්නේ කිසියම් ආකාරයක මෘදු කෝණයකින්. ඒකට හේතුව වසර 40 ට එපිට මගේ සරසවි ජීවිතයේ අවසන් කාලයත් පාලකයින්ට එරෙහි අරගලයක් උණුසුමෙන් නිමා වුණ නිසා විය හැකියි. ඒ සටන නිමා වූයේ පරාජයකින් වගේම ඊට සම්බන්ධ යැයි සැක කළ සිසුන් රිමාන්ඩ් බන්ධනාගත කිරීමෙන්.

එකල ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත සරසවි සිසුන් දඩයම් කිරීමට යොදා නොගත් නිසා අත්තඩංගුවට පත් අපට  දිගු කලක් නඩුවලට පෙනීසිටින්නට සිදු වුවත් කෙටි කලකින් ඇප ලැබුණා.

එහෙත් වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත යටතේ අත්තඩංගුවට ගත්තේ දිගු කලක් කූඩු කොට තැබීම සඳහාමයි. වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත යටතේ සිපිරි ගෙයි ගාල් කළ එක නිහීන තුප්පහි වැඩක් කියා මා කියන්නේ ඒ නිසාමයි.

මේ බව අධිකරණය පවා සිය තීන්දුවෙන් නොකියා කියන බවයි මගේ අදහස.

එහි ‌මෙසේ දැක්වෙන බවයි සඳහන් වන්නේ.

"මහෙස්ත්‍රාත්වරයෙකු විසින් විමර්ශකයන්ගේ හෝ නඩු පවරන්නන්ගේ පරපීඩක ආශාවන් සන්තර්පනය උදෙසා නියෝග නිකුත් නොකළ යුතුයි."

අවසානයේ අවනීතිකව දින 150 ට වඩා වැඩි කාලයක් රඳවා තබා ගත් වසන්ත මුදලිගේ සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරනු ලැබුවා.

ඒ කියන්නේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත යොදා ගන්නේ විරුද්ධවාදීන් මර්ධනයටයි.

නැත්නම් මුදලිගේ කළ ත්‍රස්තවාදී ක්‍රියාව කුමක්ද?

සාධාරණය වෙනුවෙන් මහමගට බැසීම ත්‍රස්තවාදී ක්‍රියාවක් වෙන්නේ කෙසේද?

සැබෑ ත්‍රස්තවාදීන් කවරහුද?

-සිතන්නා...

Thursday, 26 January 2023

අමානුෂික බදු





උපයන වීට බදු ගෙවීම ලෝකයේ සෑම රටකම පාහේ සිදු වෙන්නක්. 
රජය ආදායම් ලබා ගන්නා ප්‍රධානතම ක්‍රමවේදයක් වන්නේ බදු අය කර ගැනීමයි. එහෙත් මේ බදු අය කරගැනීම කිසියම් ආකාරයක සාධාරණ හා මානුෂික ස්වරූපයකින් සිදු විය යුතුයි.

ලෝකයේ බොහෝ රටවල බදු අනුපාතය ඉතා ඉහළ බවට සමහරු තර්ක කරනවා මෙන්ම ඒ බව උපුටා දක්වනවා. ඒත් මේ අය අමතක කරන කාරණය වන්නේ ඔවුන් මෙලෙස බදු අය කරන්නේ ගෙවන ඉහළ වැටුපට අනුකූලව බවයි. වැටුපෙන් 30%, 40% යනාදී වශයෙන් බදු ගෙවන ඔවුන්ට වැටුපෙන් තමන්ගේ මාසික අවශ්‍යතා  ඉතිරි කරගන්න පුළුවන්. අනෙක අය කරගන්න බදු වලින් තමන්ගේ විශ්‍රාම දිවිය යහතින් ගත කරන්න අවශ්‍ය පහසුකම් ලැබෙන බව ඔවුන් දන්නවා. 

ලංකාව දැඩි ආර්ථික අර්බුදයක ගිලී සිටින මේ අවස්ථාවේ නව බදු ප්‍රතිපත්ති හඳුන්වා දීම අවශ්‍යයි තමයි. ඒත් මාසික වැටුපෙන් බදු අඩු කළ විට අතට ලැබෙන මුදලින් අඩුම ගානෙ කාර් ලීසිං එක, හවුසිං ලෝන් එක ගෙවලා දරුවන්ගෙ ඉන්ටර්නැෂනල් ස්කූල් ෆීස්, ටියුෂන් ෆීස් , ප්‍රයිවේට් යුනිවර්සිටි ෆීස් ගෙවලා, පෙට්රල් ගහලා, ලයිට් බිල ගෙවාගන්න බැරි වෙන තරමට වැටුපට බදු ගහන එක අමානුෂිකයි.
අනෙක් අතට මේ බදු මුදල් යොදවන්නේ ඉහවහා ගොස් තිබෙන දූෂණය හිලව් කරන්නටයි. එසේම බදු වංචා කරන ධන කුවේරයින් නීතිය ඉදිරියට ගෙනැවිත් ඔවුන්ගේ බදු අය කරගන්න නිසි ක්‍රියාපටිපාටියක් නෑ.

සමහරු වෙනත් රටවල බදු ප්‍රතිශත උලුප්පා දක්වන්නේ
අනවබෝධයෙන් ද ?
නැත්නම් බදු ගෙවන්න වැටුපක් ගන්න අය ගැන සියුම් ඊර්ෂ්‍යාවකින්ද ? 

 


-සිතන්නා...








Monday, 23 January 2023

සමහරු යළි නොලියන එකමයි හොඳ

 


දැන් පොත් ලියන අය සහ කර්.තෘවරුන්ට සහයෝගය පළ කරන පිරිස එකතු වෙලා PDF ලෙස කෘතීන් හොර රහසේ සමාජ මාධ්ය හරහා බෙදා හැරීමට විරෝධය පළ කරලා යළි නොලියමි කියලා # Tag විරෝධතාවයක් පවත්වනවා.

ඒ අව්වස්සෙ කවුදෝ ‌FB යේ ලියලා තිබුණා නොලියන එකමයි හොඳ කියලා.

මේකෙන් වෙන්නෙ පොත් කර්මාන්තය බිඳ වැටීමලු. ලේඛකයා ආදායමක් නැතිව පාරට වැටීමලු.

හැබැයි මේ හාදයො හාදියොම තමයි අර ලංකාවෙ සිංහල ෆොන්ට් නිර්මාණය කරන පුෂ්පෙගෙ ෆොන්ට් හොරෙන් අරං, හොරෙන් ගත්තු මෘදුකාංග වලින් ටයිප් කරලා පිටු හදලා කවරය ඩිසයින් කරලා පොත් ගහන්නේ...

අනේ කාලේ... වනේ වාසේ...කිව්වලු.

-සිතන්නා...

Wednesday, 18 January 2023

ඉපදුණාම මරණ සහතිකයක්

 

සිරි ලංකාවේ පමණයි.

ඉපදුණාම උප්පැන්න  සහතිකය මරණ සහතිකයේ ලියන්න තරමට බංකොලොත් වෙච්චි රටක්.

උප්පැන්න සහතික අයැදුම්පත් අවසන් වී ඇති බැවින් මරණ සහතික අයැදුම්පතෙහි උප්පැන්න බව සඳහන් කොට අවශ්‍ය තොරතුරු පුරවන්න යැයි දන්වමින් තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිවේදනයක් ප්‍රදර්ශනය කර තිබේ.



දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම මෙම කඩදාසි ගැටලුව හටගෙන ඇති බවත් ඒ සඳහා විසඳුමක් ලෙස අතිරික්ත අයැදුම්පත්‍රයක් සංශෝධනය කරමින් භාවිත කරන බවත් සඳහන් වෙනවා.

-සිතන්නා...

Wednesday, 5 August 2020

මැදපෙරදිග ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ඛේදවාචකය




ඩුබායි වල හිරවුන ලාංකිකයෝ..

මේ ගැන රජයේ සහ රජයට කඩේ යන අයගෙ කතා පරස්පර නිසා අද මමම ගියා ඩුබායි කන්සියුලේට් එකට.

1. උදේ 4 ඉඳල ගිනි රස්නයෙ ( සමර් එකට මෙහෙ ඉර පායන්නෙ 4 ට විතර ) අධික ලෙස දහඩිය දමමින්  ( ආර්ද්‍රතාව මේ කාලෙ 80% වැඩියි , ඉතින් හිටගෙන හිටියත් දාඩියෙන් පෙඟෙනව ) පෝළිමේ ඉන්න ඕන ඇතුලට යන්න අංක ගන්න. උදේ 5.30 විතර පෝළිමට එකතු වෙච්චි අපේ අංක 61 සහ 62. 

2. උදේ 8.00 කන්සියුලේට් එක ඇරියම එතන තියෙන දහම්පාසලට පාවිච්චි කල ශාලාවෙ ඉන්න පුලුවන් .

3. උදේ 5.30 ට අංක 61 ගත්ත අපිට ඇතුලට යන්න ලැබුනෙ දවල් 12.30.

4. පරිත්‍යාගශීලින් විසින් ඇවිත් ඉන්න අයට දවල් කෑම දෙනව ( ඒව තමා කන්සියුලේට් එකේ සේවය කරන සමහර නිළධාරීනුත් පෙට්ටි පිටින් ගෙනිහින්  කන්නෙ ) 

5. එලියෙ ගහල තියෙන එම්බසියෙ කිසිම දුරකථන අංකයක් ආන්සර් කරන්නෙ නෑ ( පින්තූරයෙ ඇති අංක වලට ඔබට උත්සාහ කරන්න පුලුවන් )

6. රටින් පිටවෙන්න බලාපොරොත්තුව පහුගිය අප්‍රේල් මාසෙ මුල ලියාපදිංචි වෙච්චි අංක එකොලොස්දහස් ගනන් හිමි අය වගෙම මේ ජූනි වල ලියාපදිංචි වෙච්චි අංක තිස් දහස් ගණන් ඇති අයත් හමු උනා.

7. මේ වෙනකොට ගුවන් යානා 6ක් පිට වෙලා තිබ්බත් ඒ සේරගෙම එකතුව 1500ක් ගියත්, ලියාපදිංචි අංක 1200 විතරක් නෙමෙයි 150 ගණං තිබ්බ අයත් තාම යන්න ලැබිල නෑ ( ඒ කියන්නෙ ඒ අය වෙනුවට හිතවත්තු ගිහින් වගේ ).

8. පැය 7ක් කට්ට කාල ඇතුලට ගියත් අන්තිමට අහන්න ලැබෙන්නෙ එකම උත්තරය  " අපි මොකද කරන්නෙ, අපි දන්නෙ නෑ කවද්ද ෆ්ලයිට් පටංගන්නෙ කියල , අපිට යන දවසක් තාම කියන්න බෑ "

9. වීසා කල් ඉකුත්වීම නිසා දඩ ගෙවන්න වීම ගැන ඒ අය කියන්නෙ " අපි ඒ ගැන රජයට කියල තියෙන්නෙ ලංකාවේ , තාම එහෙන් කිසිම පිළිතුරක් නෑ , ලැබුනම කියන්නං"

10.අද මට ගැබිනි මවුන් දෙන්නෙක්, කාන්තාවන් සහ පවුල් කිහිපයක් ඇවිත් ඉන්නව දකින්න ලැබුන.

11. විදේශ සේවා නියුක්ති කාර්‍ය්ංශය කියන ආයතනය කිසිම සේවාවක්, උපකාරයක් රස්සාව නැතුව ඉන්න හිටින්න තැනක් නැතුව අසරණ වෙච්චි අයට කරන්නෙ නෑ .

12. සමහර මිනිස්සු සියදිවි නසාගන්න තරමට කලකිරිල.. ඒ අයට දඩ විතරක් ගෙවන්න ඕන රුපියල්  ලක්ෂයක් විතර , තව ගුවන් ටිකට්. මේ සේරම කොහොමද මාස හතරක් රස්සාව නැතුව ඉන්න මිනිස්සු ගෙවන්නෙ ?

13. එන්න බලා ඉන්න සම්පූර්ණ විදේශගත පිරිස සේරම 40,000 කිව්වට ඩුබායි වලින් විතරක් ඒ ගාන ඉන්න බව තමයි අද මම නිරීක්ෂණය කරේ.. මොකද අනුක්‍රමික අංක තිස් හයදාස් ගණං ලැබිල තිබ්බෙ ජූනි මාසෙ ලියාපදිංචි අයට . හැමදාම අලුතෙන් පණහක් හැටක් මේ ගොඩට එකතු වෙනව..

14. රජයට හෝ විදේශ කටයුතු අමාත්‍යාංශයට මේ අය ආපහු ගේන්න කිසිම වැඩපිලිවෙලක් නෑ .

15. වීස නැති නිසා සෞඛ්‍ය රක්ෂණ නැති මේ දාස් ගානක් මිනිස්සු යම් විදියට අසරණ වෙලා රෝහල් ගතවුනොත් මැරෙනව ඇර විකල්පයක් නෑ . 

මීට අමතරව තවත් ඉතාම කණගාටු සහ අනුවේදනීය කතා කිහිපයක් අහන්න ලැබුන. අලුත උපන් බිළිඳුන්ගෙ මරණ, ලංකාවේ පවුල් වල ඇතිවෙලා තියෙන ගැටළු වගේ දේවල්.. සමස්ථය විදියට ගත්තාම, ඉතාම අකාර්යක්ෂම සහ අකාරුණික රජයක් මේ මිනිස්සු මැරෙන්න දාල උංගෙ වැඩක් බලාගෙන ඉන්න බව තමයි පැහැදිලි උනේ..



වාලුකා කාන්තාරයේ සාජා නුවර වෙසෙන ඉන්දික කොඩිතුවක්කුගේ සටහනක්..



Thursday, 14 November 2019

සිංහලයා පරදවන්නට සජිත්ට ඡන්දය

සිංහලයා පැරදවිය හැක්කේ සජිත්ට ඡන්දය දීමෙන් පමණයි.



ඒ මදිවට ඒකීය රාජ්‍යය ප්‍රතික්ෂේප කරනවා.



මේවනෙ ජාතිවාදී ප්‍රකාශ


දෙමළ ‌අවස්ථාවාදය පරදන්න ‌ගෝඨා ට ඡන්දය ‌දෙන්න කිව්ව නං බලන්න තිබුණා.
තොපි අමු  ජාතිවාදියෝ කියයි. 
දැන් සුමන්තිරන්ලා ‌මොක්කුද ?




සජිත් වටා ‌‌රොක්  වන දෙමළ අවස්ථාවාදය පරදන්න 
ගෝඨා ට ඡන්දය ‌දෙමු.

ඇමරිකානු පුරවැසිභාවය අවලංගු කෙරුණා...







යම් පුද්ගලයකුට ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කිරීමේ සහතිකය ලැබුණු පසු එම පුද්ගලයා ඇමෙරිකානු පුරවැසිභාවය සම්පූර්ණයෙන් ඉවත් කෙරුණු පුද්ගලයකු ලෙස සැලකෙන බව
- ඇමරිකානු තානාපති කාර්යාලයේ නිල ප්‍රකාශිකා නැන්සි වැන්ගොන් කියයි.









ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නම මෙතෙක් ෆෙඩරල් ලේඛනයේ පළ වී නොමැතිවීමට අදාළව පසුගිය දිනවල යළිත් ආන්දෝලනයක් ඇතිවිය. කෙසේ නමුත් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇමෙරිකානු පුරවැසිභාවය අහෝසි කළ බවට අදාළ සියලූ ලේඛන මාධ්‍යයට ඉදිරිපත් කර තිබේ.




Wednesday, 13 November 2019

ෆෙඩරල් ලේඛනයේ නම පළවීමට මාස ගාණක් යනවා

ෆෙඩරල් ලේඛනයේ නම පළවීමට මාස ගාණක් යනවා
 - කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය 


ඇමෙරිකානු පුරවැසිභාවය අහෝසි කිරීමට අදාළව ෆෙඩරල් ලේඛනයේ නම පළවීමට මාස ගණනක් කල් යා හැකි බව කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ප‍්‍රකාශකයකු විසින් සඳහන් කර ඇත.

 එසේම යම් අයකුගේ පුරවැසිභාවය ඉවත් කිරීමට අදාළ තොරතුරු ලබාදීමට කොළඹ ඇමෙරිකානු තානාපති කාාර්යාලයට සදාචාරාත්මක අයිතියක් නැති බවත් එම ප‍්‍රකාශනයේ සඳහන් කර ඇත.

 ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නම මෙතෙක් ෆෙඩරල් ලේඛනයේ පළ වී නොමැතිවීමට අදාළව පසුගිය දිනවල යළිත් ආන්දෝලනයක් ඇතිවිය. කෙසේ නමුත් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇමෙරිකානු පුරවැසිභාවය අහෝසි කළ බවට අදාළ සියලූ ලේඛන මාධ්‍යයට ඉදිරිපත් කර තිබේ.